පහන් කණුව ධර්ම දේශනා දෙවන වෙළුම (සිව්වන මුද්‍රණය) කටුකුරුන්දේ ඤාණානන්ද භික්ෂු පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසනය ‘පහන් කණුව’ කන්දේගෙදර, දේවාලේගම ප්‍රකාශනය ධර්ම ග්‍රන්ථ මුද්‍රණ භාරය මහාභාරකාර දෙපාර්තමේන්තුව 2002 දානයකි මුදලට විකිණීම සපුරා තහනම් වේ. ප්‍රථම මුද්‍රණය - 1999 පෙබරවාරි දෙවන මුද්‍රණය - 2000 ජනවාරි තෙවන මුද්‍රණය - 2001 අප්‍රේල් සිව්වන මුද්‍රණය - 2002 ඔක්තෝබර් පොත ලබාගත හැකි ස්ථාන පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසනය ‘පහන් කණුව’ කන්දේගෙදර, දේවාලේගම. ජී.ටී. බණ්ඩාර මහතා රෝයල් ඉන්ස්ටිටියුට්, 191, හැව්ලොක් පාර, කොළඹ 5. ටී.ටී. වේරගල මහතා 422, වැලිපාර, තලවකැලේ (දු.ක. 01-867221) ‘පියමෙත් සිල් සෙවන’ විලේකුඹුර, මීපිටිගල මහාභාරකාර දෙපාර්තමේන්තුව 2, බුලර්ස් පටුමග, කොළඹ 07. මුද්‍රණය කොලිටි ප්‍රින්ටර්ස් 17/2, පැඟිරිවත්ත පාර, ගංගොඩවිල, නුගේගොඩ. දුරකථනය: 074-302312 සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධානසාසනං බුද්ධවග්ග, ධම්මපද හැම පවින් වැළැකුම, කුසල් වෙතටම එළැඹුම, සිත පිරිසිද්ධ කැරැම, සස්න මෙයමැයි හැම බුදුන්ගෙම පටුන හැඳින්වීම ප්‍රකාශක නිවේදනය ධර්ම ග්‍රන්ථ මුද්‍රණ භාරය අමා ගඟ 6. ‘අනුපුබ්බෙන මේධාවී’ 7. ‘චක්ඛුමා විසමානීව’ 8. ‘එතදානං එපලං චිත්තං’ 9. ‘අත්තනාව කතං පාපං’ 10. ‘වාචානුරක්ඛී මනසා සුසංවුතො’ හැඳින්වීම දහම් දත හැම දන්ම පරදයි දහම් රස හැම රසම පරදයි දම් ඇළුම හැම ඇළුම් පරදයි නිවන් සුව හැම දුක්ම පරදයි අනුත්තර ධම්රාජයාණන් වහන්සේගේ ධර්ම විජයට අරමුණුවූයේ දෙවි මිනිසුන්ගේ චිත්ත සන්තානයයි. අනාදිමත් කාලයක් තුළ මෝහයෙන් මුලාවී සසර දුක් ගින්නෙන් දැවෙමින් සිටින ලෝ සතුන්ගේ සිත් සතන් දහම් අමා දහරින් සිසිල් කර අමා මහ නිවනින් නිවා සුවපත් කිරීම ඒ මහා කාරුණිකයාණන් වහන්සේගේ ධර්ම විජය පරමාර්ථය විය. දුක් ගිනි වඩන දිග්විජය වෙනුවට දුක් ගිනි නිවන ධම්විජයක් බුදුපියාණන් වහන්සේ ලෝකයාට හඳුන්වා දුන්හ. ධර්මදානය අන් හැම දානයකටම වඩා උතුම් වන්නේ සිතකට වැටෙන දහම් පදයකින් පූර්ණ ජීවිත පරිවර්තනයක් පවා සිදුවිය හැකි බැවිනි. බාහිර වස්තු දානයෙන් සැලසෙන තාවකාලික සහනය මෙන් නොව, එය සනාතන සැනසුමකට මඟ හෙළිකරයි. මොහොතකට දිවගට දැනී-නොදැනී යන ආමිස රසය මෙන් නොව, නිරාමිස දහම් රසය අසහනය දුරුකොට සිත් සනහන ගැඹුරු අපූරු රසයකි. සසර වඩන ගේහසිත ඇලුම් මෙන් නොව, ලොවතුරු දහමට ඇති ඇල්ම සසර ගමන කෙටිකරයි. තණ්හා පිපාසය සන්සිඳුවන අමා මහ නිවන සියලු සසර දුක් නිවාරණය කරයි. ‘නිවනේ නිවීම’ පොත් පෙළෙන් අප දියත් කළ ධර්මදාන වැඩ පිළිවෙළෙහි දෙවැනි අදියර වශයෙන් මේ ‘පහන් කණුව ධර්ම දේශනා’ පොත් පෙළ එළිදැක්වීමට හැකිවීම මහත් වාසනාවක් ලෙස සලකමු. මීතිරිගල නිස්සරණ වන සේනාසනයෙහි යෝගාවචර සඟපිරිස හමුවේ අප විසින් දේශනා කරන්නට යෙදුන දෙසුම් 33ක් රැගත් යටකී පොත් පෙළට වඩා සරල අන්දමින් ජන ජීවිතයේ එදිනෙදා ගැටළුවලට එල්ල කොට දෙසන ලද බැවින් මෙම ධම්දේශනා මාලාව බොහෝ දෙනෙකුට වැඩදායක වනු ඇතැයි සිතමු. සසරදුක් ලියලවන විවිධ විෂම දෘෂ්ටිවාදයන්ගෙන් ගැවසීගත් පොත්පත් සඟරා සහරාවක අතරමං ව සිටින වර්තමාන පාඨක සමාජයට මේ තුළින් ලොවුතුරු මඟට යම් ‘තරු සලකුණක්’ හෝ ලැබෙතොත් අප දැරූ උත්සාහය සඵල වූ ලෙස සලකමු. ‘ආනුපුබ්බී කථා’ නම් වූ අනුපිළිවෙළ කථාමාර්ගයක් අනුගමනය කරමින් දහම් දෙසූ බුදු පියාණෝ එවැනිම ‘අනුපිළිවෙළ කථාවක්’ ධර්මදේශකයින්ට අනුදැන වදාළහ. දාන කථාව, සීල කථාව, සග්ග කථාව, කාමයන්ගේ ආදීනව හා නෛෂ්කම්මයෙහි ආනිසංස ඒ අනුපිළිවෙළ කථාවට අයත්වේ. ඒ සියල්ල තුළින් සකස් වූ, මෘදු, පුබුදු, පහන්වූ සිතට චතුරාර්ය සත්‍ය දේශනාව මැනවින් විෂය වේ. දේශනා විලාස වශයෙන් සලකන කල, බුද්ධ දේශනාවෙහි ඉස්මතුව පෙනෙන ආදර්ශවත් අංග සතරක්ද ඇත. එනම්, උපමා, නිදර්ශන, ආදියෙන් ධර්ම කරුණු සන්දර්ශනය කිරීම (‘සන්දස්සේති’), සිත් කාවදින අන්දමින් එත්තු ගන්වාලීම (සමාදපේති), ඒවා ප්‍රතිපත්තියට නැංවීමෙහිලා උත්සාහවත් කිරීම (සමුත්තේජේති) සහ අසන්නන්ගේ සිත්සතන් ප්‍රසාදයට පත්කිරීමයි (සම්පහංසේති). ධර්මපදයෙන් තෝරාගත් ගාථා මාතෘකා කොටගෙන පැවැත්වෙන මෙම දෙසුම් පෙළෙහිදීද හැකිතාක් දුරට ඉහත සඳහන් මූලධම් අනුගමනය කිරීමට තැත් දැරුවෙමු. බුද්ධෝත්පාද කාලයක ලැබිය හැකි අග්‍රඵලය වන අර්හත්ඵලයෙන්ම දේශනාවක් කූළගැන්වීමට උනන්දු වීමු. වෙනත් සුලභ ලෞකික පරමාර්ථ තුළ අසන්නන් සිරකොට නොතබා, බුදුපියාණන් වහන්සේ වදාළ අප්‍රමාද පදය සිහිගන්වමින් සංසාර විමුක්තිය දෙසටම ඔවුන් යොමු කරවීම අපගේ පරම අධ්‍යාශය විය. ‘පහන් කණුවෙන්’ විහිදෙන මෙම ධර්මවලෝකයෙන් ලෝකයාට නිවන් මඟ හෙළි පෙහෙළි වේවා! මෙම ‘පහන් කණුව ධර්මදේශනා’ පොත් පෙළද, ‘නිවනේ නිවීම’ දෙසුම් පෙළ එළිදැක්වීම උදෙසා කොළඹ හැව්ලොක් පාරේ ‘රෝයල් ඉන්ස්ටිටියුට්’ පින්වත් ජී.ටී. බණ්ඩාර මහතා විසින් මහාභාරකාර දෙපාර්තමේන්තුවේ පිහිටුවන ලද ‘ධර්ම ග්‍රන්ථ මුද්‍රණහාරය’ මගින් මුද්‍රණය කිරීමට මහාභාරකාර තැන්පත් යූ.මාපා මහතා තීරණය කිරීම අපට මහත් ධෛර්යයක් විය. අමිලවූ ධම්ය මිල කිරීමකින් නොපිරිහෙළා පාඨකයින් අතට පත්කිරීමේ අප ප්‍රතිපත්තියට දිරිදෙන ඒ පින්වත් මහතුන් දෙපොළටත්, මේ සත්කාර්යයට සහාය දීමට මෙතෙක් ඉදිරිපත්වූ පරිත්‍යාගශීලී හැම පින්වතුන්ටත් පටිගත කළ ‘පහන් කණුව’ දෙසුම් පිටපත් කරදීමේ කාර්යට සහාය වූ පින්වත් ඒ.එස්.වයි. අබේවර්ධන මහතාට සහ අනුලා හේනගොඩ, එම්. නාගහවත්ත, ජයන්ති රණවීර යන මහත්මීන්ටත්, දෙන දේ පිරිසිදු දීමට ශෝභන ලෙස මුද්‍රණ කටයුතු නිම කරන, සීමාසහිත කරුණාරත්න සහ පුත්‍ර සමාගමේ අධ්‍යක්ෂක මහතුන්ට හා කාර්ය මණ්ඩලයටත් අපගේ පුණ්‍යානුමෝදනාව හිමිවේ. ඒ හැම දෙනාටම මෙම ධර්මදානමය කුශලය පරම ශාන්ත නිර්වාණාවබෝධය පිණිස හේතුවාසනා වේවායි පතමු. ‘චිරං තිට‍්ඨතු ලෝකස‍්මිං - සම‍්මාසම‍්බුද‍්ධ සාසනං’ මෙයට, සසුන් ලැදි, කටුකුරුන්දේ ඤාණානන්ද භික්ෂු පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසනය ‘පහන් කණුව’ කන්දේගෙදර දේවාලේගම (2542) 1999 පෙබරවාරි 12 ප්‍රකාශක නිවේදනය අති පූජ්‍ය කටුකුරුන්දේ ඤාණානන්ද ස්වාමීන්වහන්සේගේ “නිවනේ නිවීම” දේශනා මුද්‍රණය කොට, ඒ පිළිබඳව උනන්දුවක් දක්වන බැතිමත් බෞද්ධ සැදැහැවතුන් අතට පත්කිරීමේ මූලික අදහස අපතුළ ඇතිවීමුත්, එම මුද්‍රණය සඳහා වැයවන මුදල් උපයා ගැනීම ප්‍රශ්නයක් විය. මෙය විසඳීම පිණිස, අප කිහිපදෙනෙක් යෝජනා කොට සිටියේ ඒ සඳහා වැයවන මුද්‍රණ වියදම පමණක් අයකර ගැනීම පිණිස පොතක් සඳහා කිසියම් අනුපාතික විකුණුම් මිලක් නියම කිරීමයි. අපගේ මෙම යෝජනාව ගරු ඤාණානන්ද ස්වාමීන්වහන්සේගේ එකහෙලා ප්‍රතික්ෂේප කළහ. “ධර්මය මිල කරන්න බැහැ. එය අවශ්‍ය අයහට නොමිලයේ ලබාගැනීමට හැකි විය යුතුයි….” යනුවෙන් උන්වහන්සේ මෙම වටිනා ධර්ම පොත “විකිණීම” කෙරෙහි අප අදෛර්යවත් කළහ. එබැවින්, උන්වහන්සේගේ අදහස් කළ පරිදි “නිවනේ නිවීම” දේශනා මාලාව මුද්‍රණය කොට නොමිලයේ බෙදාදීමේ ක්‍රියා පිළිවෙළෙහි ආරම්භයක් වශයෙන් ජී.ටී. බණ්ඩාර මහතා විසින් මහාභාරකාර දෙපාර්තමේන්තුවේ ‘ධර්ම ග්‍රන්ථ මුද්‍රණ භාරය’ නමින් අරමුදලක් ආරම්භ කරනු ලැබීය. “නිවනේ නිවීම” පළමුවන වෙළුම සඳහා මුද්‍රණ වියදම තනිවම ඒ මහතා විසින් දරණ ලදී. එතැන් පටන්, මේ වන විට මුද්‍රණයෙන් එළිදක්වා ඇති 2, 3, 4, 5, 6, 7 කාණ්ඩ මුද්‍රණය කිරීම සඳහා බලාපොරොත්තුවූවාටත් වඩා ලත් අනුග්‍රහය ධර්ම ප්‍රාතිහාර්යයක් ලෙස සැලකිය හැකිය. එසේ ආරම්භ කරන ලද “ධර්ම ග්‍රන්ථ මුද්‍රණ භාර අරමුදල” මගින්ම “පහන් කණුව ධර්ම දේශනා” මාලාවද මුද්‍රණය කොට නොමිලයේ බෙදා දෙමින් සිදු කෙරෙන ශාසනික මෙහෙවරට අපහට නිල වශයෙන් හෝ දායකවීමට හැකිවීම ඉමහත් කුසලයකි. මෙම උතුම් ධම්දාන ක්‍රියාවලියට දායකවීමට කැමති භවතුන්හට තම පුණ්‍යාධාර “ශ්‍රී ලංකාවේ මහා භාරකාර තැන” නමින් චෙක්පත් හෝ මුදල් ඇණවුම් (මුදල් ඇණවුම් නම් ටොරින්ටන් චතුරශ්‍රය උප තැපැල් කාර්යාලයෙන් මාරුකරගත හැකි පරිදි) මගින් ධර්ම ග්‍රන්ථ මුද්‍රණ භාර අරමුදලට බැර කිරීම පිණිස පහත සඳහන් ලිපිනයට එවිය හැකි බැව් කරුණාවෙන් දන්වා සිටිනු කැමැත්තෙමි. යූ.මාපා ශ්‍රී ලංකාවේ මහා භාරකාර තැන ජී.ටී. බණ්ඩාර මහතා ස්ථාපක ධර්ම ග්‍රන්ථ මුද්‍රණ භාරය, රෝයල් ඉන්ස්ටිටියුට්, 191, හැව්ලොක් පාර, කොළඹ 5. මහා භාරකාර දෙපාර්තමේන්තුව තැ.පෙ. 548, 2, බුලර්ස් පටුමග. කොළඹ 07. 1999 පෙබරවාරි 12 ධම් ග්‍රන්ථ මුද්‍රණ භාරය ධම් ග්‍රන්ථ මුද්‍රණ භාරය මගින් පළ කරනු ලබන “නිවනේ නිවීම” පොත් පෙළෙහි සයවැනි වෙළුම දක්වා මුද්‍රණය කිරීමේ සම්බන්ධීකරණය මෑතක් වනතුරු කරන ලද්දේ ශ්‍රී ලංකාවේ මහාභාරකාර තනතුර දැරූ යූ.මාපා මහතා විසිනි. ඉතා ගැඹුරු ධම් කරුණු සහිත එම වටිනා දහම් පොත් පෙළ එළි දැක්වීමට හැකිවූයේ ඒ මහතාගේ අප්‍රතිහත ධෛර්යය නිසාමය. මෙම පොත් පෙළෙහි හත්වැනි වෙළුම මුද්‍රණයට සකස් වෙමින් තිබෙන අවස්ථාවේදී මාපා මහතාට ශ්‍රී ලංකා ජනරජයේ තානාපති ලෙස මියන්මාර් (බුරුමය) දේශයට යෑමට සිදුවිය. ථේරවාදී බුදු දහම නිර්මලව පවතින එවැනි දේශයකට පත් වී යෑම හුදෙක් ඒ මහතාගේ ශාසනික සේවයේ තවත් පියවරක් ලෙස දකිමු. මාපා මහතා විසින් එසේ නික්ම යාමට පෙර, “නිවනේ නිවීම” සෙසු කාණ්ඩ මුද්‍රණය කිරීමේ කටයුතු කිසිදු බාධාවකින් තොරව කරගෙන යාම පිණිස, අති පූජ්‍ය කටුකුරුන්දේ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ මෙම දේශනාවල අගය දන්නා අප කීපදෙනෙක් මහාභාරකාර කාර්යාලය වෙත කැඳවා, ඒ පිළිබඳව වැඩ පිළිවෙළක් සකස් කරන ලදී. එම ක්‍රියා පිළිවෙළ අනුව “නිවනේ නිවීම” දේශනා මාලාව සහ ධම් ග්‍රන්ථ මුද්‍රණ භාරය මගින් පළකරනු ලබන “පහන් කණුව ධම් දේශනා” ග්‍රන්ථ එපරිද්දෙන්ම ඉදිරියේදී පළකෙරෙනු ඇත. මෙම උතුම් ශාසනික සේවය ඉටු කිරීමට මාහට එම භාරයේ ස්ථාපක වශයෙන් මෙතැන් සිට වගකීම පැවරී තිබේ. එම මහඟු කාර්යය ඉෂ්ට කරගැනීම පිණිස ඒ පිළිබඳව උනන්දුවක් දක්වන සියලුම බැතිමත් දායක දායිකාවන්ගේ අනුග්‍රහය අපි බලාපොරොත්තු වෙමු. මෙම ධම් ග්‍රන්ථ මුද්‍රණ භාරයට එවනු ලබන ආධාර ශ්‍රී ලංකාවේ මහා භාරකාරතැන නමින් පහත සඳහන් ලිපිනයට එවිය හැක. ජි.ටී. බණ්ඩාර, ස්ථාපක, ධම් ග්‍රන්ථ මුද්‍රණ භාරය 1999 ඔක්තෝබර් 25 වැනි දින. රෝයල් ඉන්ස්ටිටියුට්, 191, හැව්ලොක් පාර, කොළඹ 5. අමා ගහ මහවැලි ගඟ උතුරට හැරවීමෙන් පසු එතෙක් නිසරු මුඩු බිම් ලෙස පැවති ප්‍රදේශවල සිදුවූයේ ඉමහත් වෙනසෙකි. පිපාසයට පැන්බිඳක් නොලබා සිටි ගොවීහු පෙදෙස පුරා නිහඬව ගලා යන සිසිල් දිය දහරින් පිනා ගියහ. මැලවුණු ගොයම් සරුව නිල්වන්ව කරලිත් බර විය. මල් පලින් ගැවසීගත් තුරු-ලිය බලා සැනසෙන ප්‍රදේශ වැසියෝ තුටු කඳුළු වගුළහ. දහම් අමා ගඟ “උතුරට” හැරවීමේ වැඩ පිළිවෙළක් මෙයට තෙවසරකට පෙර ඇරඹුණි. දහම් පත-පොත තබා “එදා-වේල” සඳහා වත් විය පැහැදම් කිරීමට වත්-කමක් නැත්තෝ, නිහඬව නොමිලයේ ගලායන අමිල දහම් අමා දිය දහරින් සදහම් පිපාසය සන්සිඳුවා ගත්හ. අරිටු මිසදිටු හැර, සැදැහැයෙන් සරුව, ගුණ නුවණින් බරව පිළිවෙත් මඟට නැමී ගත්හ. ලෞකික - ලෝකෝත්තර මල් පල නෙළා ගනිමින් හද පුරා පිරි බැතියෙන් නන් අයුරින් සොම්නස පළකළහ. “ධර්ම ග්‍රන්ථ මුද්‍රණ භාරය” නමින් දියත් කළ මෙම ධම්දාන වැඩපිළිවෙළ සඳහා අපගෙන් වැයවුනේ පිරිසිදු ධම්දාන සංකල්පය පමණි. අමාගඟ “උතුරට” හැරවූවෝ සසුන් ගුණ හඳුනන පරිත්‍යාගශීලී සැදැහැවත්හුමය. “නිවනේ නිවීම” පොත් පෙළ එළි දැක්වීමෙන් නොනැවතී “පහන් කණුව ධම්දේශනා” පොත් පෙළෙහි “බර පැන” දැරීමටත්, දෙස් - විදෙස්වල දහම් පිපාසිතයින් උදෙසා අප අතින් ලියැවෙන අනිකුත් පොත - පත ඒ අයුරින්ම එළි දැක්වීමටත් ඔවුහු උත්සුක වූහ. “දෙන දේ පිරිසිදුවම දීමේ” අදහසින් අමිල වූ දහම් ඊට නිසි ශෝභන මුද්‍රණයකින්ම ධම්කාමීන අතට පත් කිරීමට පියවර ගත්හ. මුද්‍රිත පිටපත් සංඛ්‍යාව අවසන්වනු හා සමඟම “නැවත මුද්‍රණ” පළකිරීමෙන් දහම් අමා ගඟ වියළී යාම නොවීමට දැඩි අදිටනකින් ඇප කැපවුහ. “පොත් අලෙවිය” පිළිබඳව මෙකල බහුලව දක්නට ලැබෙන වාණිජ සංකල්පයට පිටුපා, තහංච්වලින් තොරව, තමන් අතට නොමියේම පත් කැරෙන “දහම් පඩුර” තුළින් ධම්දාන සංකල්පයෙහි අගය වටහා ගත් බොහෝ පාඨක පින්වත්හු තමන් ලද රස අහරක්, නෑ-හිතවතුන් සමග බෙදා-හදා ගන්නාක් මෙන් නොමසුරුව අන් දහම් ලැදියනටද දී ධර්ම දානයට සහභාගී වූහ. ඉනුදු නොනැවතී, ශක්ති පමණින් “ධර්ම ග්‍රන්ථ මුද්‍රණාලයට” උරදීමටද ඉදිරිපන්වූහ, ඇතැමෙක් ලොකු කුඩා දහම් පොත් මුද්‍රණය කරවීමේ හා නැවත-නැවත මුද්‍රණය කරවීමේ බරපැන ඉසිලීමට පවා පසුබට නොවූහ. සම්බුදු සසුන මේ ලක් පොළොවෙහි පවතින තාක් මේ දහම් අමා ගඟ ලෝ සතුන් සිත් සනහමින් නොසිඳී ගලා යේවා යනු අපගේ පැතුමයි. “සබ්බදානං ධම්මදානං ජිනාති” මෙයට, සසුන් ලැදි කටුකුරුන්දේ ඤාණානන්ද භික්ෂු පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසනය ‘පහන් කණුව’ කන්දේගෙදර, දේවාලේගම 2000 ජූනි 05 (2544 පොසොන්) 6 වන දේශනය නමෝ තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස අනුපුබ්බෙන මේධාවී ථොක ථොකං ඛණේ ඛණේ කම්මාරෝ රජතස්සේව නිද්ධමේ මලමත්තනෝ - මලවග්ග, ධම්මපද සැදැහැවත් පින්වතුනි, අද වෙසක් පුර පසළොස්වක දවසයි. මහා කාරුණික වූ සම්මා සම්බුද්ධ පියාණන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වයට පත්වීම, පිරිනිවන්පෑම යන කාරණා තුනම අද වැනි වෙසක් පොහොය දිනක සිද්ධවීම නිසා වෙසක් පොහොය දිනය බෞද්ධ ලෝකයාට අතිශයින්ම උතුම් වූ දවසක්. ඇත්ත වශයෙන්ම බෞද්ධයින්ගේ අලුත් අවුරුද්ද තමයි වෙසක් දවස. බුද්ධ වර්ෂයක් ඇරඹෙන ඒ වෙසක් දවස. ලෝකයේ ඒ ඒ අයට නොයෙකුත් අළුත් අවුරුදු පිළිබඳ සංකල්ප තිබෙනවා. බටහිර ලෝකයේ ඒ ජනවාරි මාසයේ මුලදී අවුරුද්දක් පිළිබඳව හැඟීමක් ඇති කරගෙන තිබෙනවා. ග්‍රහලෝකෙයේ ඒ විදියටම අවුරුද්දක් පිළිබඳ හැඟීමක් ඇති කරගෙන තියෙනවා. ඒ වගේම බෞද්ධ ලෝකයේ අපි බුදුරාජාණන් වහන්සේ සිහිපත් කරගෙන මේ වෙසක් පුර පසළොස්වක දවසයි අළුත් අවුරුද්ද හැටියට සළකන්නේ. එතකොට ඒ කාරණය හොඳට තේරුම් අරගෙන, බුද්ධගුණ සිහියට අරගෙන උදෑසන නැගිටින ඒ බෞද්ධ පින්වතාට අද දවස සුන්දර දවසක්. අද දවස ශාන්ත දවසක්. අද දවස පිවිතුරු දවසක්. කල්ප කෝටි ගණනින් වත් ප්‍රමාණ කරන්නට බැරි තරම් අති දීර්ඝ කාලයක්, අති දුෂ්කර වූ පාරමී ධර්ම පුරලා, ඇස්, ඉස්, මස්, ලේ දන් දීලා ඒ බුද්ධත්වයට පැමිණ වදාළ මහා කාරුණිකයාණන් වහන්සේට ගෞරව උපහාර වශයෙන් නොයෙකුත් විදියේ විසිතුරු සැරසිලි, පුද පූජා ආදිය පවත්වන්නේ බෞද්ධයින් තමන්ට සසර දුක්ගිනි නිවා ගන්නා නිවන් මාර්ගය බුදුපියාණන් වහන්සේ දක්වා වදාළ නිසයි. ඒ ගෞරව උපහාර දැක්වීමට සැරසිලි කිරීමේදී ඇත්ත වශයෙන් අපි කල්පනා කරලා බලන්න ඕන සැරසිලි දෙවර්ගයක් තිබෙනවා, බුදු රජාණන් වහන්සේට ගරු බුහුමන් වශයෙන් කරන්නට පුළුවන්. බාහිර සැරසිල්ලයි, අභ්‍යන්තර සැරසිල්ලයි. බාහිර සැරසිල්ල කියලා කියන්නේ ඔය පිටතින් පිටස්තරව දකින්ට පුළුවන් වෙන වෙසක් දවසේ කොඩිවැල්, වෙසක් කූඩු, තොරණ ආදී වශයෙන් කරන ඒ සැරසිල්ලයි. අභ්‍යන්තර සැරසිල්ල කියලා කියන්නේ බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ ඒ ගුණධර්ම තමන්ගේ චිත්ත සන්තානයේ ඇති කරගෙන සිල් සමාදන්වීමෙන්, බණ ඇසීමෙන්, භාවනා කිරීමෙන්, මේ දවස ගෙවීම් වශයෙන් ඒ සිත් සතන් සරසා ගැනීම. එතකොට ඒක ඇතුළත සරසා ගැනීම. ඒ වගේම පුද පූජා ගැන කල්පනා කරන කොටත් දෙවර්ගයක පුද පූජා වලින් බුදුරජාණන් වහන්සේට ගරු බුහුමන් දක්වන්න පුළුවන් බව බුදුපියාණන්ම දක්වා වදාළා. ආමිස පූජා, ප්‍රතිපත්ති පූජා කියලා. ආමිස පූජා කියලා කියන්නේ, තෙල්, මල්, පහන්, සුවඳ දුම්, ආහාර පාන, ගිලන්පස ආදිය, බුදුරජාණන් වහන්සේට පූජා කිරීමයි. ප්‍රතිපත්ති පූජාව කියලා කියන්නේ බුදුපියාණන් වහන්සේ දක්වා වදාළ නීර්වාණගාමී ප්‍රතිපදාව වන ශීල, සමාධි, ප්‍රඥා කියල කියන ඒ ගුණධර්ම පුරුදු පුහුණු කිරීමයි. මේ පූජා දෙවර්ගය අතරින් වඩා උතුම් පූජාව හැටියට බුදුපියාණන් වහන්සේ ප්‍රශංසා කොට වදාළේ ප්‍රතිපත්ති පූජාවයි. එතකොට ශ්‍රද්ධාවන්ත බෞද්ධ පින්වතා බාහිර සැරසිල්ලෙන් ආරම්භ කරන වැඩපිළිවෙල අභ්‍යන්තර සැරසිල්ල දිසාවට යොමු කරගන්නවා ක්‍රමක්‍රමයෙන්. ඒ වගේම ආමිස පූජාවෙන් කරන ආරම්භය ක්‍රමක්‍රමයෙන් ප්‍රතිපත්ති පූජාව දෙසට නැඹුරු කරගන්නවා. බුදු පියාණන් වහන්සේ අපට නිතරම අවවාද කළෙත්, අපට උපදෙස් දුන්නෙත්, ඇත්තවශයෙන්ම ඒ විදියේ ක්‍රමානුකූලව අප තුළ දියුණුවක් ඇති කරගැනීමටයි, ඒ සැරසිලි පිළිබඳවත්, පුද පූජා පිළිබඳවත්. මේ කාරණය අපට හොඳට පැහැදිලි වෙන කථාන්තරයක්, පොඩි සරල කථා පුවතක් තමයි මේ අපි මතක් කළ ගාථා ධර්මයට නිදාන වශයෙන් ඒ බණ පොත්වල දක්වන්නේ. එක දවසක් එක්තරා බ්‍රාහ්මණයෙක්, ශ්‍රද්ධාවන්ත බ්‍රාහ්මණයෙක් - තරමක් හෝ සංඝයා වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවක් ඇති කෙනෙක් වෙන්නට ඕන - සංඝයා වහන්සේලා පිඬු සිඟා වැඩීම සඳහා, උදෑසන ගමට පිඬුසිඟා වැඩීම සඳහා, රැස් වෙලා සිවුරු පොරවන ස්ථානයට ඇවිල්ලා නිකමට වගේ බලාගෙන හිටියා. එතන ඒ ස්ථානයේ හුඟාක් උඩට තණකොළ වැවිලා, උදෑසන පිණිබිඳු තිබුන නිසා සංඝයා වහන්සේලා සිවුරු පොරවන කොට සිවුරු කොන් පිණිබිඳු වලින් තෙමෙනවා අර බ්‍රාහ්මණයාට දකින්ට ලැබුණා. එහෙම දැකලා මේ උපාසක උන්නැහේ කල්පනා කරනවා, මම මෙතන සුද්ද කරන්න ඕන ටිකක් කියල, සංඝයා වහන්සේලා වැඩියාට පස්සේ උදැල්ලක් ගෙනැල්ලා, අතන අර තණකොළ ඇහැලා පොඩි කමතක් වගේ රවුමට ස්ථානයක් සකස් කළා. දෙවෙනි දවසේත් මේ තැනැත්තා ඇවිල්ලා බලාගෙන සිටිනවා සංඝයා වහන්සේලා ගමට පිඬුසිඟා වඩින අවස්ථාවේදී, තමන් කල වැඩේ පොඩි අඩුවක් එහෙම තියෙනවාද කියලා බලන්ට වෙන්න ඕන. එහෙම බලාගෙන ඉන්නකොට පෙනී ගියා, අතන තණකොළ ඉවත් කළ නිසා දැන් දූවිලි තියෙනවා. දූවිලි මතුවෙලා සංඝයා වහන්සේලා සිවුරු පොරවන කොට සිවුරු කොන් වල දූවිලි තැවරෙනු දැකලා, සංඝයාවහන්සේලා වැඩියට පස්සේ මේ උපාසක උන්නැහේ සුදු වැලි ගෙනැල්ලා අතුරලා ඒ දූවිලි නැති කළා. ඊළඟ දවසෙත් එතනට ඇවිල්ලා මේ විදියටම බලාගෙන ඉන්නවා. එදා තදට ඉර පායනවා උදෑසනම. හිරු රශ්මිය නිසා සංඝයා වහන්සේලාට දහඩිය වැටෙනවා දැකලා කල්පනා කළා, මම මෙතන පොඩි ආවරණයක් කරන්න ඕන කියලා, සංඝයාවහන්සේලා වැඩියට පස්සේ එතන පිළියෙල කළා පොඩි මඩුවක්, ආවරණයක්. නැවතත් දවසක් ඇවිල්ලා එතන බලාගෙන සිටිනවා, එදා තදට වහිනවා, වැහි කුණාටුව නිසා සංඝයා වහන්සේලාට පීඩා වෙනවා දැකලා කල්පනා කළා, මම මෙතන පොඩි ශාලාවක් හදන්න ඕන කියලා. ඉතින් ඒ විදියට එතන පොඩි ශාලාවක් හදලා, සංඝයා වහන්සේලාට පිණ්ඩපාතේ යාමේදී රැස් වෙන්න පොඩි ශාලාවක් හදලා, ඊළඟට කල්පනා කළා, දැන් මේ ශාලාව මම බුද්ධප්‍රමුඛ සංඝයා වහන්සේලාට පූජා කරන්ට ඕන කියලා හිතලා, බුදු පියාණන් වහන්සේටත් සංඝයා වහන්සේලාටත් ආරාධනා කරලා - එතන ලොකු තැනක් තොවෙයි, - ඒ ශාලාව වටෙත් සංඝයා වහන්සේලා වඩම්මවලා දානයක් පූජා කරලා, අනුමෝදනාවට කලින් ඒ පින්වතා බුදුපියාණන් වහන්සේට ප්‍රකාශ කරනවා, ‘ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මම මේ විදියටයි මේ ලොකු පිංකම ආරම්භ කළේ බොහොම සුළුවෙන්. කලින් අර විදියට තණකොළ ඇහැලා, පොඩි කමතක් වගේ තැනක් සුද්ද කළා. ඊළඟට එතනට මේ වැලි ටිකක් ඉස්සා. ඊළඟට එතන පොඩි මඩුවක් හැදුවා. ඊළඟට පොඩි ශාලාවක් මේ විදියට හදලා, දැන් දානමය පිංකමකුත් කළා’ කියලා. ඒ අවස්ථාවේදී බුදුපියාණන් වහන්සේ ප්‍රශංසා කරමින් ඒ බ්‍රාහ්මණයාට ප්‍රකාශ කරනවා, ‘එහෙම තමයි බ්‍රාහ්මණය, නුවණැති පුද්ගලයා මොහොතින් මොහොත, ටිකෙන් ටික, කුසල් කරමින් තමන්ගේ චිත්ත සන්තානයේ තියෙන සියලුම කෙලෙස් මලකඩ ඉවත් කරගන්නවා’ කියලා ප්‍රකාශ කරමින් අර අපි කලින් සඳහන් කළ ගාථා ධර්මය වදාළා. ඇත්ත වශයෙන්ම ඒ ගාථාව ඉතාම සරල ගාථාවක්. ඒ වගේම ඕනෑම කෙනෙකුට තමන්ගේ ජීවිතයට ආදර්ශ පාඨයක් කරගන්නට තරම් වටින, කටපාඩම් කරගෙන ආදර්ශ පාඨයක් හැටියට පාවිච්චි කරන්න පුළුවන් තරම් වටින ගාථා ධර්මයක්. ධම්ම පදයේ මලවග්ගයේ සඳහන් වන ගාථාවක් මේක. අනුපුබ්බෙන මේධාවී ථොක ථොකං ඛණේ ඛණේ කම්මාරෝ රජතස්සේව නිද්ධමේ මලමත්තනෝ මේකේ සාමාන්‍ය අදහස, ‘මේධාවී’ කියලා කියන්නේ ඥානවන්ත පුද්ගලයා, ප්‍රඥාවන්ත පුද්ගලයා. අනුපුබ්බෙන කියන්නේ, අනුක්‍රමයෙන්, ක්‍රමක්‍රමයෙන් කියන එකයි. ථොක ථොකං කියලා කියන්නේ ටිකෙන් ටික. ඛණේ ඛණේ කියන්නේ, මොහොතින් මොහොත. කම්මාරෝ රජතස්සේව. ‘කම්මාරෝ’ කියන්නේ කම්මල්කරුවා. මෙතන කියන්නේ රන් , රිදී වැඩ කරන තැනැත්තා. ‘රජතස්සේව’ කියන්නේ රිදියෙහි, රිදිය පිළිබඳව කරන්නාක් මෙන්, ‘අත්තනො මලං නිද්ධමේ’ තමන්ගේ චිත්ත සන්තානයේ තිබෙන මලකඩ, ඒ කියන්නේ රිදියෙහි මලකඩ ඉවත් කරන්නාක් මෙන්, කම්මල්කරුවා රිදියෙහි මලකඩ ඉවත් කරන්නාක් මෙන්, අර ‘මේධාවී’ කියලා කියාපු, කලින් කියාපු අර ඥානවන්ත පුද්ගලයා, ප්‍රඥාවන්ත පුද්ගලයා, තමන්ගේ චිත්ත සන්තානයෙහි තියෙන කෙලේස් මලකඩ ඉවත් කරන්නේය කියන එකයි ඒ ගාථාවේ අදහස. බුදුපියාණන් වහන්සේ යම් ගාථාවක් ප්‍රකාශ කළා නම්, සකල පද ගාථාවක් වුනත්, ඒ එක් එක් පදයක් පවා ඉතාමත්ම ගැඹුරු අර්ථයක් දනවන, ඒ වගේම හොඳට ගැලපිලා එන, එක වචනයක් වත් ඉවත් කරන්නට බැරි තරමට පුදුම විදියේ සංවිධානයකින් යුක්ත ගාථාවක්. ඒ වගේම ඒ හැම ගාථාවක්ම තුළින් කෙනෙකුට නිවන් අවබෝධ කරගන්න පුළුවන් තරමේ ධර්ම ශක්තියක් තිබෙනවා. ඒ තරම් වටිනා විමුක්ති රසයක් ඒ හැම ගාථාවකම තිබෙනවා. දැන් මේ ගාථාවේ අපි සඳහන් කළ පදත් ටිකක් ගැඹුරින් කල්පනා කරලා බැලුවොත්, ‘මේධාවී’ කියලා කියන්නේ උත්පත්තියෙන්ම හොඳ ස්ථානෝචිත ප්‍රඥාව කියලා කියන තැනට ඔබින නුවණක් එහෙම ඇති, ඒ වගේම සංසාරික වශයෙන් බුද්ධිය මුහුකුරා ගිය පුද්ගලයින්ට ‘මේධාවී’ කියලා යොදලා තියෙනවා. - ඒ හොඳ ප්‍රඥාවට, නුවණට ශක්තිය ඇති - උගත්කමක් වැඩිය නැතත්. ඒ වගේ ‘මේධාවී’ කියන පුද්ගලයා. ‘අනුපුබ්බෙන’ කියන වචනයක් ඉතාමත්ම වටිනා වචනයක් - ‘අනුපිළිවෙළින්’. එතන අර ක්‍රමානුකූලත්වයයි පෙන්නුම් කරන්නේ. මේ ධර්මයේ විශේෂ ලක්ෂණයක් තමයි ක්‍රමානුකූලත්වය. පුදුමාකාර ක්‍රමානුකූලත්වයක් මේ ධර්මයේ තිබෙනවා. බුදුපියාණන් වහන්සේ යම් ධර්ම කොට්ඨාශයක් පෙන්නුම් කළා නම්, ඒක එකිනෙකට හොඳට ගැලපිලා එනවා දම්වැලක පුරුක් වගේ. ඒ වගේම බුදුපියාණන් වහන්සේ එක් අවස්ථාවක ප්‍රකාශ කළා පහාරාද කියන අසුරේන්ද්‍රයට ‘සෙයාථාපි පහාරාද’ මහා සමුද්‍රේ අනුපුබ්බි නිතෙනා, අනුපුබ්බි පොහො, අනුපුබ්බි පබ්භාරො, න ආයතකෙනෙව පපාතො, එවමේව බො පහාරාද, ඉමස්මිං ධම්මවිනයේ, අනුපුබ්බි සික්ඛා, අනුපුබ්බි කිරියා, අනුපුබ්බි පටිපදා, න ආයතකෙනෙව අඤ්ඤාපටිවේධො’ කියලා. පහාරාදය, යම්සේ මහා සමුද්‍රයෙහි, අනුක්‍රමයෙන්, ඒ කියන්නේ ක්‍රමානුකුල වූ බැස්මක් ඇද්ද, ක්‍රමානුකූල නැම්මක් ඇද්ද, ක්‍රමානුකූල නැඹුරුවක් ඇද්ද, එක පාරටම ප්‍රපාතයක් නැද්ද, අන්න එමෙන්ම, ඒ ආකාරයෙන්ම මේ ධර්ම විනයෙහි, මේ සාසනයෙහි, අනුපිළිවෙළින් යන, ඒ කියන්නේ ක්‍රමානුකූල වූ හික්මීමක් ඇත, ක්‍රමානුකූල වූ වැඩපිළිවෙලක් ඇත. ක්‍රමානුකූල වූ ප්‍රතිපත්ති මාර්ගයක් ඇත, එක පාරටම රහත්වීමක් මෙතන නැත කියලා ඒ විදියට බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කළා, මේ මුළු මහත් සාසනයේ ඒ ධර්මය, ඒ ධර්ම ප්‍රතිපත්ති මාර්ගය මහා සමුද්‍රයට උපමා කරලා. මහා සමුද්‍රය - මේ පින්වතුන් දන්නවා, - මුහුදු වෙරළ කුඩා දරුවෙකුට සිප්පි කටු ඇහිඳින්න පුළුවන් තරම් ඉතාමත්ම සුන්දර තැනක්. ඊළඟට ඊට ටිකෙන් ටික ඇතුළට යන කොට රළ පාගන්න පුළුවන්. ටිකෙන් ටික ගැඹුරු වේගෙන යනවා. තවත් ඇතුළට යනකොට ඉතාමත්ම ගැඹුරුයි. අන්න ඒ විදියට මේ සාසනයේත් තිබෙන ප්‍රතිපත්ති මාර්ගයේ ඕනෑම කෙනෙකුට තමන්ගේ මට්ටමින් කිට්ටුවෙලා ආරම්භයක් කරන්න පුළුවන්. අන්න ඒ විදියේ ක්‍රමානුකූලව ධර්මයම ඇදගෙන යන ස්වභාවයක් තිබෙනවා; එකින් එකට. එතකොට ගැඹුරු දේවල් ගැන කියන කොට මේ මුළු මහත් සාසනය, එහෙම නැතිනම් ධර්ම මාර්ගය, ප්‍රතිපත්ති මාර්ගය, මහා සමුද්‍රයට උපමා කරලා තියෙනවා, ගැඹුර ගැන සළකලා. තවත් සමහර අවස්ථාවල මේ ධර්මය ටිකෙන් ටික ඉහළට යන එකක්, උසස් දේවල් කරා යන එකක් හැටියට දක්වන තැන් වල, උපමාව දක්වලා තියෙන්නේ පඩිපෙළ, තරප්පු පෙළ. තරප්පු පෙළක් නගින්නා වගේ මේ ධර්මය එකින් එකට ටිකෙන් ටික ඉහළට ගෙන යනවා කියලා. එතකොට මහා සමුද්‍රයේ උපමාවෙන් අර ගැඹුර දක්වනවා. ටිකෙන් ටික ගැඹුරට යනවා. ඒ වගේම අර පඩි පෙළකින්, යම්කිසි ප්‍රාසාදයකට නැගින පඩි පෙළක් වගේ දෙයක් නම් එතන ටිකෙන් ටික නැගලයි එතනට ගොඩ වෙන්නේ. අන්න ඒ වගේ මේ ධර්මයේ පුදුම ලක්ෂණයයි, මේ ‘අනුපුබ්බ’ කියන වචනයෙන් දක්වන්නේ. අනුපිළිවෙළ. එකිනෙකට එකින් එක අරගෙන යනවා, ක්‍රමානුකූලත්වයක් කියනවා, එකිනෙකට සම්බන්ධ වෙලා. ඊළඟට ‘ථොක ථොකං ඛණේ ඛණේ’. මේ වචන ටිකත් බොහොම ගැඹුරක් ඇති වචන ටිකක්. බැලුවහම බොහොම පහසුයි, සරලයි, තේරුම් ගන්න. නමුත් මේක යට තිබෙන අදහස ඉතාම වටිනවා. ‘ථොක ථොකං’ කියන්නේ ටිකෙන් ටික. ‘ඛණේ ඛණේ’ කියන්නේ මොහොතින් මොහොත. මේ වචන ටිකේ අදහස ටිකක් විමසා බලනවා නම්: ටිකෙන් ටික. එහෙම නැත්නම් ක්‍රමානුකූලත්වය. ටිකක් වෙතරක් කියලා කිව්වා නම්, එතන ක්‍රමානුකූලත්වයක් නෑ. ටිකෙන් ටික කියන කොට ඉඳීම ක්‍රමානුකූලත්වයක් හැඟෙනවා. මොහොතක් විතරක් කියලා කිව්වා නම්, ඒකේ ක්‍රමානුකූලත්වයක් නැහැ. මොහොතින් මොහොත කියන කොට එතන ක්‍රමානුකූලත්වයක් තිබෙනවා. අත්ත ඒ වගේ මෙතනින් පෙන්නුම් කරන්නේ, මෙතනින් මේ ලෝකයාට ලබා දෙන්නේ, යම්කිසි ‘හැකි සංඥාවක්’. ‘හැකි සංඥාව’ කියලා කියන්නේ, යමක් කරන්න පුළුවන් කියන හැඟීම. මේක බොහෝ දෙනා තුළ නැහැ. දැන් අපි හිතමු බණ, භාවනා ගැන හෝ වෙනත් කටයුතු, මේ ධර්ම කටයුතු, ධර්මය පිළිබඳව විශේෂයෙන්ම, යම්කිසි කෙනෙකුට කිව්වොත්, මේ දවසේ, මේ කාලයේ අනන්න ලැබෙන්නේ ‘කොහේද ඕවාට වෙලාවක්’, අපට මේ කොතෙකුත් වැඩ කියනවා. මේවා කරන්න කොහෙන්ද වෙලාවක් සොයාගන්නේ, හුස්ම ගන්න වත් වෙලාවක් නැහැ. ඔය විදියේ නොයෙකුත් මැසිවිලි කියනවා. මෙන්න මේ අයට හොඳ බෙහෙත තමයි මෙතන මේ බුදු පියාණන් වහන්සේ දක්වා තිබෙන්නේ. ‘ථොක ථොකං ඛණේ ඛණේ’ ටිකෙන් ටික මොහොතින් මොහොත. මේ කියන ප්‍රතිපත්තිය, එහෙම නැතිනම් මෙන්න මේ කියන න්‍යායය, මූලධර්මය, මේක ලෝකයේ නොයෙකුත් ආකාරයෙන්, නොයෙකුත් ලෞකික දේවල්වලටත් යොදවා ගන්නවා. දැන් මේ පින්වතුන් දන්නවා, ‘ඉතිරි කිරීමේ ව්‍යාපාරය’ කියලා තිබෙනවා. කාටවත් විසිකරන්න මුදල් නැහැ, මීළඟ මුදල් නැහැ, නමුත් මේ හැම දෙනෙක්ම තම තමන්ගේ දූ දරුවන් ගැන හිතලා, තමන්ගේ අනාගත ආපදා ගැන හිතලා, ටිකෙන් ටික ඉඩ ලැබෙන ලැබෙන හැටියට ඉතුරු කරනවා. සුළු ආරම්භයකින් ලොකු වැඩක්. ඒ වගේ මේ ධර්ම මාර්ගයෙත් තිබෙන්නේ. මේකට කාලය නැත, අපට කොතෙකුත් වැඩ තිබෙනවා, කියලා කාලය අපතේ හරින්නේ නැතිව මේ කුසල් ධර්ම පිළිබඳව ටිකෙන් ටික යම්කිසි ආරම්භයක් කරලා, ක්‍රමානුකූලව දියුණුව කරගෙන යන්නට පුළුවන් කියන අදහසයි බුදුපියාණන් වහන්සේ මෙතන දෙන්නේ. ලෝකයාට හැකි සංඥාවක් ලබා දෙනවා, මේ වචන කිහිපයකින්. ‘ථොක ථොකං ඛණේ ඛණේ’. ඒක වරදවා තේරුම් අරගෙන, ටිකක් විතරක් කරලා, ඒ ඇති කියලා හිතන්න නරකයි. ටිකෙන් ටික. ටිකක් කරන්න පුළුවන් කෙනාට ඒ ටික තුළින් පුළුවන් හුඟාක් ළං කරගන්න. කොහෙත්ම කරගන්න බැරි වෙතවා ටිකක්වත් ඒ සඳහා යෙදෙන්නේ නැත්තම්. ඒ වගේම එක මොහොතක් හරියට යෙදුවොත් ඒ තැනැත්තාට පුළුවන්, මොහොතින් මොහොත ඒ දිගට ගෙන යන්න. දැන් අපි දන්නවා මේ මහා ගංගාවක් කියලා කියන, මේ මුහුදට මහා සද්ද නගාගෙන යන මහා ගංගාවක් සමහර විට ආරම්භ වෙන්නේ මේ වහළකින් වැටෙන දිය බින්දු කිහිපයක් එකතු වෙලා. ඒ විදියට මේ හැම දෙයක්ම එකතු වෙලා ගිහිල්ලයි විශාල දෙයක් බවට පත්වෙන්නේ. බුදුපියාණන් වහන්සේ මෙබඳු තවත් තැනක, ධම්මපදයේම තවත් උපමාවක් දක්වලා තියෙනවා ඉතාමත්ම හිත ගන්නා විදියේ. ඒත් පිං දහම් ගැන කථා කරන අවස්ථාවකයි. මාවමඤ‍්ඤෙථ පුඤ‍්ඤස‍්ස - න මන්‍දං ආගමිස‍්සති උදබින්‍දු නිපාතෙන - උදකුම‍්භොපි පූරති පූරති ධීරො පුඤ‍්ඤස‍්ස - ථොකං ථොකම‍්පි ආචිනං ‘මේ සුළු පින මා කරා, - මේ සුළු පිනේ ආනිසංසයන් මා කරා - එන්නේ කොහොමද කියලා පිනට නිග්‍රහ කරන්න එපාය, සුළු කොට සිතන්න එපාය, අවමන් කරන්නට එපාය, කියනවා. ඊළඟට දෙන උපමාව: ’උදබින්දු නිපාතේන - උදකුම්භෝපි පූරති.’ වහින අවස්ථාවේ ඔය වතුර ටික ටික වහළෙන් වැක්කෙරෙන කොට කළයක් ඔතන තිබිබොත් ටික වේලාවක් යනකොට කළය පිරෙනවා. ‘උදබින්දු නිපාතේන..’ වතුර බිංදු වැටීම නිසා ‘උදකුම්භෝපි පූරති’ කලයක්, දිය කළයක් පවා පිරෙනවා. අන්න ඒ අනුව, ඒ අනුසාරයෙන්ම, හිතා ගන්න පුළුවන් ‘පූරති ධීරෝ පුඤ්ඤස්ස - ථොක ථොකම්පි ආචිනං’ ධීර කියන්නේ ඥානවන්ත පුද්ගලයා. ඒ ඥානවන්ත පුද්ගලයා, ප්‍රඥාවන්ත පුද්ගලයා ‘ථොක ථොකම්පි ආචිනං’ - ‘ථොක ථොකං’ කියන වචනය යෙදෙනවා. ‘ටික ටික’. ටික ටික නමුත් එකතු කරමින් ‘පූරති පුඤ්ඤස්ස’ පිනෙන් පිරෙනවා කියලා ඒ විදියටත් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කොට වදාළා. අන්න ඒ ආශ්‍රයෙන් අපට හිතාගන්නට පුළුවන් මෙන්න මේ ‘ථොක ථොකං ඛණේ ඛණේ’ කියන වචන කිහිපය බොහොම වටිනා වචන කිහිපයක්. ඊළඟට දෙන උපමාව ගැනත් කල්පනා කරලා බලමු. ‘කම්මාරෝ රජතස්සේව’ අපි කිව්වා ‘කම්මාර’ කියලා මෙතන යොදන්නේ, කම්මල් කරුවා කියන්නේ, යකඩ තලන පුද්ගලයා නොවෙයි, රත් රිදී වැඩ කරන තැනැත්තා පිළිබඳවයි. අපි සාමාන්‍යයෙන් කියන්නේ රන්කරුවා කියලා. නමුත් මෙතන දීලා කියෙන්නේ උපමාවට රිදීයයි . එකත් යම්කිසි අර්ථයක් ඇතුවයි බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙන්නේ. රිදී කියන ද්‍රව්‍යය මේ පින්වතුන් දන්නවා, හොඳ සුදු පාට දීප්තියක් ඇති දෙයක්. සුදුපාට දෙයක්. නමුත් සුදු පාට දෙය පිළිබඳව තියෙන තත්ත්වය තමයි මෙතන කියන්නේ: ‘කම්මාරෝ රජතස්සේව නිද්ධමේ මල මත්තනො’ නමුත් මේ රිදියෙහි මලකඩ බැඳිලා තිබෙනවා. මලකඩ බැඳිච්ච රිදී කැබැල්ලක් රන් කරුවකුට හමු වුනාම මේක ක්‍රමක්‍රමයෙන් අර කියාපු න්‍යාය අනුව, එක පාරටම ඒකේ කුණු ටික අහක් කරන්න බැහැ, රන් රිදී වැඩ කරන කට්ටිය දන්නවා, ටිටින් ටිට මේක රත් කරලා, සිසිල් කරලා ටික වේලාවක් තිබෙන්නට ඇරලා, ඔය විදියේ ක්‍රමානුකූලත්වයකිනුයි රන් රිදී වල වැඩ කටයුතු කරන්නේ. ඒ විදියටම රන්කරුවා රිදියෙහි මලකඩ ඉවත් කරන්නාක් මෙන් ක්‍රමානුකූලව, ටිකෙන් ටික, මොහොතින් මොහොත, අන්න ඒ විදියටම ‘අත්තනො මලං නිද්ධමේ’ තමන්ගේ චිත්ත සන්තානයෙහි දීර්ඝ කාලයක් සංසාරයේ එකතු වෙලා තිබෙන කෙලෙස් මලකඩ ඉවත් කරන්නේය කියන එකයි බුදු පියාණන් වහන්සේ ඒ ගාථාවෙන් දක්වලා වදාළේ. එතකොට මේ තුළින් හැකි සංඥාව වගේම තවත් ගැඹුරු අදහසක් මතු කරනවා. මේ අපේ චිත්ත සන්තානයේ මලකඩ බැඳිලා තිබෙන බව නම් අමුතුවෙන් කියන්ට දෙයක් නැහැ, බුදු කෙනෙකුන් අවශ්‍ය නැති තරමට අපි දන්නවා මලකඩ බැඳිලයි තිබෙන්නේ. එයින් පීඩා විඳිනවා. සමහර විට ඒ මලකඩවල තත්ත්වය - කොයි තරම් බලගතු විදියට මලකඩ බැඳිලද කියන එකයි සාමාන්‍ය පුද්ගලයා නොදන්නේ. ඒකයි බුදු පියාණන් වහන්සේ මතු කරලා දෙන්නේ. නමුත් ඊට වඩා වටිනා කාරණය තමයි ඒ මලකඩය යටින් තිබෙනවා යම්කිසි දීප්තියක්. ඒක ලෝකයාට ලොකු උද්යෝගයක් , ධෛර්යයක් ඇතිවන කාරණයක්. බුදු පියාණන් වහන්සේ ඒ කාරණය ඉතාමත්ම පුදුම අන්දමින් කිසිම ශාස්තෘවරයෙකු ප්‍රකාශ නොකළ අන්දමින් ප්‍රකාශ කරලා තිබෙනවා එක අවස්ථාවක - මේ සිතේ ස්වභාවය. සිතේ ස්වාභාවික වශයෙන් යම්කිසි දීප්තියක් තිබෙනවාය, ඒක මේ කෙලෙස් මලකඩ නිසා ආවරණය වෙලා තිබෙනවාය කියන එක ප්‍රකාශ කළා. ‘පභස්සරමිදං භික්ඛවෙ චිත්තං, තඤ්ච ඛො ආගන්තුකෙහි උපක්කිලෙසෙහි උපක්කිලිට්ඨං. තං අස්සුතවා පුථුජ්ජනො යථාභූතං නප්පජානාති, තස්මා අස්සුතවතො පුථුජ්ජනස්ස චිත්තභාවනා නත්ථීති වදාමි’ මහණෙනි, මේ සිත ප්‍රභාස්වරයි. ආලෝකවත්. දීප්තිමත්. නමුත් ‘තඤ්ච ඛො ආගන්තුකෙහි උපක්කිලෙසෙහි උපක්කිලිට්ඨං’ නමුත් මේ සිත ආගන්තුක, බාහිරෙන් ආ, බැහැරින් ආ, මලකඩ වලින්, ආගන්තුක උපක්ලේශ ධර්ම වලින්, කිලිටි වෙලයි තිබෙන්නේ. ‘තං අස්සුතවා පුථුජ්ජනො යථාභූතං නප්පජානාති’, ධර්මඥානය නැති සාමාන්‍ය පුහුදුන් පුද්ගලයා මෙන්න මේ කාරණය තත්ත්වූ පරිදි, ඇති තතු, දන්නේ නැත. ‘තස්මා අස්සුතවතො පුථුජ්ජනස්ස චිත්තභාවනා නත්ථීති වදාමි.’ අන්න එම නිසා ඒ ධර්මඥානය නැති සාමාන්‍ය පුහුදුන් පුද්ගලයා චිත්ත භාවනාව පිළිබඳව, බණ භාවනාව පිළිබඳව උනන්දුවක් දක්වන්නේ නැත. ඊළඟට අනික් පැත්ත දක්වනවා, ‘පභස්සරමිදං භික්ඛවෙ චිත්තං, තඤ්ච ඛො ආගන්තුකෙහි උපක්කිලෙසෙහි විප්පමුත්තං. තං සුතවා අරියසාවකො යථාභූතං පජානාති, තස්මා සුතවතො අරියසාවකස්ස චිත්තභාවනා අත්ථීති වදාමි’ මහණෙනි, මේ සිත ප්‍රභාස්වරයි. එය බාහිර උපක්ලේශ ධර්ම වලින් විමුක්ත වන එයින් මිදෙන, අවස්ථාවකුත් තිබෙනවා. මෙන්න මේ කාරණය, ඒ ධර්මඥානය ඇති ආර්ය ශ්‍රාවකයා ඇති තතු පරිදි දන්නවා. අන්න ඒක නිසා එබඳු ඒ ධර්මඥානය ඇති ආර්ය ශ්‍රාවකයාට චිත්ත භාවනාවක් තිබෙනවා. ඒ තැනැත්තා භාවනාවේ යෙදෙනවා කියලා බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කොට වදාළා. අන්න ඒ අනුව හිතාගන්න පුළුවන් එතකොට මෙයින්, ලෝකයාට විශාල ධෛර්යයක් ලබා දෙන කාරණයක් තමයි මේ අපේ චිත්ත සන්තානයේ ස්වාභාවික, නෛසර්ගික යම්කිසි දීප්තියක් තිබෙනවාය, ප්‍රභාවක් තිබෙනවාය, ඒ ප්‍රභාව මතු කරගන්නටත් පුළුවන් කමක් තිබෙනවාය, මේ මලකඩ ක්‍රමානුකූලව, ටිකෙන් ටික, මොහොතින් මොහොත ඉවත් කරන්නට පටන් ගත්තොත් යම්කිසි දවසක ඒ සංසාරයේ තමන් දිගින් දිගටම කරගෙන තිබෙන ශක්තිය අනුවත්, වර්තමාන උත්සාහය අනුවත්, කෙනෙකුට ඒ ලෝකෝත්තර තත්ත්ව, සාමාන්‍ය කෙනෙකුට හිතන්ට බැරි තරම් ඒ ගැඹුරු ඉතාමත්ම පිරිසුදු තත්ත්ව පවා ඇති කරගන්න පුළුවන් වෙනවාය, චිත්ත පාරිශුද්ධිය ලබාගන්න පුළුවන් වෙනවාය කියන එකයි අපට මේ ගාථාවෙන් මතු කරලා දෙන්නේ. ඊළඟට මෙන්න මේකට කියන ක්‍රියා මාර්ගයත් බුදු පියාණන් වහන්සේ නොයෙකුත් අවස්ථාවල නොයෙකුත් විදියට පෙන්නුම් කරලා දීලා තියෙනවා. විශේෂයෙන්ම, එකක් මේ සරල උපමාවක්. කුඩා දරුවෙකුට පවා තේරෙන තේරුම් ගන්න පුළුවන් විදියේ, උපමාවකින් බුදු පියාණන් වහන්සේ දක්වපු තැනක් තමයි, අර කුඩා රාහුල ස්වාමීන් වහන්සේට බුදුපියාණන් වහන්සේ මේ සිත පිරිසිදු කරගන්නා ආකාරය පිළිබඳව දක්වා වදාළ උපමාවත් ඒ අනුව කරන ලද ඒ අනුසාසනයත් . එක් අවස්ථාවක බුදු පියාණන් වහන්සේ රාහුල සාමණේරයාණන් වහන්සේගෙන් අහනවා, ‘කිං මඤ්ඤසි රාහුල කිම්පටියෝගෝ ආදාසො’; මොකක්ද රාහුල මේ ගැන හිතන්නේ. මේ කණ්ණාඩිය කියන එක මොකටද? කණ්ණාඩිය මොකටද කියලා අහනවා, අර පොඩි දරුවෙකුගෙන් අහන්නා වගේ. එතකොට රාහුල හාමුදුරුවෝ පිළිතුරු දෙනවා, ‘පච්චවෙක්ඛණත්ථො භන්තෙ’ ස්වාමීනි, ඒ දෙස හොඳට සැළකිල්ලෙන් බැලීමටයි.’ කණ්ණාඩිය කියලා කියන එක සැළකිල්ලෙන් ඒ දෙස බලන්න යි තියන්නේ. ඊළඟට අන්න එතකොට බුදු පියාණන් වහන්සේ උපමාව ආශ්‍රයෙන් ප්‍රකාශ කරනවා ‘එවමේව රාහුල, - මේ අර කියාපු ’පච්චවෙක්ඛිත්වා’ කියන වචනයයි එකනට දැම්මේ. ‘පච්චවෙක්ඛිත්වා’ කියලා කියන්නේ ආපසු හැරිලා බලනවා සැළකිල්ලෙන්, නුවණින් සලකා බැලීම කියන අදහස තියෙනවා. - අන්න ඒ විදියටම රාහුල නුවණින් සලකා බලමින්, ‘පව්ව වෙක්ඛිත්වා පව්ව වෙක්ඛිත්වා’ - නැවත නැවතත් සළකා බලමින්, කයින් කටයුතු කළයුතුයි. කයින් කරන කටයුතු නුවණින් සලකා බලමින්, නැවත නැවත නුවණින් සලකා බලමින්, කළයුතුය. ඒ වගේම වචනයෙන් කරන කටයුතුත්, මනසින් කරන කටයුතුත් පිළිබඳවත් කියලා කියන මෙන්න මේ විදියට ඒ සිත පිරිසිදු කරගැනීමේ ක්‍රමය ප්‍රකාශ කොට වදාළා. ඊළඟට තවත් සවිස්තරව දක්වනවා, රාහුල දැන් නුඹට යම්කිසි වැඩක් කරන්න සිද්ද වෙලා තිබෙනවා නම් කයින්, ඒක කරන්නට කලින් කල්පනා කරලා බලන්න, ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න. - අර පව්ව වෙක්ඛිත්වා කියන වචනය යොදනවා. - හරියට අර කණ්ණාඩිය දිහා බලන්නා වගේ ඒ වැඩේ දිහා බලන්න, බලන්නේ නුවණින්. නුවණින් සලකා බලන්න. මේ මා කරන්නට යන වැඩය මෙය මගේ හිංසාව පිණිස හේතු වෙනවාද, අනුන්ගේ හිංසාව පිණිස හේතු වෙනවාද, අපි දෙගොල්ලෝගෙම හිංසාව පිණිස හේතු වෙනවාද, කියලා එහෙම කලින්ම කල්පනා කරලා බලන්න. එහෙම කල්පනා කරලා බලනකොට යම්කිසි විදියකින් ඔබට වැටහුනොත් මේ වැඩේ කළොත් මෙන්න මෙහෙම විපාක කිබෙනවා, මේක මට නරකට හිටිනවා, අනුන්ට නරකට හිටිනවා, අපි දෙපැත්තටම නරකට හිටිනවා කියලා තේරුනොත් ඒ වැඩේ නොකර හරින්න. ඒක කරන්නට පෙර, ඒවාගේම කරන අතරේ, යම්කිසි විදියකින් මුල් අවස්ථාවේදී එහෙම වැටහුනේ නැහැ, ඒක කරගෙන යනවා. නමුත්, කරගෙන යන අවස්ථාවේදීත් - ඊළඟට බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කර වදාරණවා, - කරන අතරෙත් අර විදියටම ප්‍රත්‍යවේක්ෂා කරන්න. කණ්ණාඩියක් දිහා බලන්නා වගේ අර වැඩේ දිහා නුවණින් සලකලා බලන්න, මේ කරන වැඩේ මේ විදියට කරගෙන ගියොත් ඒක මට හිංසාවක් වෙනවාද, මගේ පිරිහානිය පිණිස හේතු වෙනවාද, අනුන්ට හිංසාවක් වෙනවාද, අපි දෙපක්ෂයටම හිංසාවක් වෙනවාද … එහෙම වැටහුනොත් ඒ කරගෙන යන අවස්ථාවේ, ඒක එතනම ලත් තැනම ලොප් කරන්න ඕන, ඒක එතනම නවත්වන්න ඕනැයි කියලා බුදුපියාණන් වහන්සේ වදාළා. යම්කිසි විදියකින් වැටහුනොත් මේ කරගෙන යන වැඩේ - නෑ, ඒක මටත් හිංසාවක් නැහැ, මගෙත් හොඳටයි, ඒක මගෙත් යහපතටයි, අනුන්ගෙත් යහපතටයි අපි දෙපක්ෂයෙම යහපතටයි හිංසාවක් එහෙම වෙන්නේ නැහැ” කියලා තේරුනොත්, අන්න එතකොට ඒ වැඩේ කරගෙන යන්න, කියලා ඒ විදියට දක්වා වදාළා. ඊළඟට ඒ කරන අතර පිළිබඳවයි. එපමණක් නොවේ, කළාට පසුවත්. සමහර වැඩ තිබෙනවා, කරන්න කලින් තේරෙන්නේ නැහැ, කරන අතරෙත් තේරෙන්නේ නැහැ, නමුත් කළාට පසුවයි මේකේ නියම තත්ත්වය තේරෙන්නේ. අන්න ඒක නිසා කළාට පසුවත් මේක මේ විදියටම ප්‍රත්‍යවේක්ෂා කරන්න, - කරලා බලන්න. මා කයින් යම් වැඩක් කලා නම් ඒ වැඩය, මගේ හිංසාව, මගේ පිරිහානිය පිණිස හේතු වුනාද, අනුන්ගේ හිංසාව පිණිස හේතු වුනාද, අපි දෙපක්ෂයෙම හිංසාව පිණිස හේතු වුනාද, එහෙම වුනා නම්, එහෙම තේරුනා නම්, ඒ අවස්ථාවේ - ඒ ගැන දැන් ඉතිං කරන්න දෙයක් නැහැ ඒක පිළිබඳව - නමුත් එතන බුදුපියාණන් වහන්සේ දක්වන පිළිවෙත සංඝයා වහන්සේලාට අයිති ක්‍රමයක්. ඒක ‘අනේ මගේ අතින් මෙන්න මෙහෙම වැරැද්දක් වුනා’ කියලා ශාස්තෘන් වහන්සේටම, ඒ කියන්නේ බුදුපියාණන් වහන්සේටම, ඒක ඇවිල්ලා ඇවත් දෙසීම් වශයෙන් ප්‍රකාශ කරනවා. එහෙම නැතිනම් අනිකුත් තමන්ගේ වැඩිහිටි ස්වාමීන් වහන්සේලා ළහට ගිහිල්ලා ප්‍රකාශ කරනවා, “මං අතින්, මගෙන් මෙහෙම අත් වැරැද්දක් වුනා” කියලා “තවත් මා ඒ විදියේ එකක් කරන්නේ නෑ” කියලත් පොරොන්දු වෙනවා. ‘ආයති සංවරය’ කියලා කියන්නේ එකයි. නැවත එක නොකරන්න අධිෂ්ඨාන කරගන්නවා. අන්න ඔය විදියටයි කයින් කරන වැඩ. ඒ විදියටම, ඒ න්‍යායයෙන්ම, ඒ අනුසාරයෙන්ම, වචනයෙන් කරන වැඩ පිළිබඳවත් එහෙම හිතලා බලන්න, කරන්න කලිනුත්, කරන අතරෙත්, කලාට පසුවත්, ඒ වගේම හිතින් කරන වැඩ. හිතින් කරන වැඩ තමයි, නොයෙකුත් දේවල් පිළිබඳව හිතනවා. ඒක ගැනත් තමන් කල්පනා කරලා බලන්න. “මේ හිතිවිලි ධාරාව, හිතිවිලි ටික, මේක මගේ යහපත පිණිස හේතු වෙනවාද, අනුන්ගේ යහපත පිණිස හේතු වෙනවාද, දෙපක්ෂයෙම යහපත පිණිස හේතු වෙනවාද” කියලා. අන්න ඒ විදියට ඒ ධර්ම න්‍යායය බුදු පියාණන් වහන්සේ ඒ අවස්ථාවේ දක්වා වදාළා. ඒ අර කණ්ණාඩියේ උපමාව ආශ්‍රයෙන්. ඊළඟට උන්වහන්සේ ඒකේ ධර්මතාව වශයෙන් ප්‍රකාශ කරනවා. “රාහුල අතීතයේ යම් තාක් ශ්‍රමණ බ්‍රාහ්මණයින්, මහණ බමුණන් තමන්ගේ කාය කර්ම පිරිසිදු කර ගත්තා නම්, වචී කර්ම පිරිසිදු කර ගත්තා නම්, මනෝ කර්ම පිරිසිදු කර ගත්තා නම්, ඒ හැම එකක්ම කළේ මෙන්න ඔය කියාපු න්‍යායය අනුවයි, ක්‍රමය අනුවයි. අනාගතයේ යම් තාක් මහණ බමුණන් තමන්ගේ කයින් වචනයෙන් සිතින් කරන ක්‍රියා පිළිබඳව යම් පාරිශුද්ධියක් ඇති කරගන්නවා නම්, ඒ කරන්නෙත් මේ ක්‍රමය අනුවයි. දැන් කාලයේ මහණ බමුණනුත් කරන්නේ මේ ක්‍රමය අනුවයි” කියලා බුදු පියාණන් වහන්සේ ඒ සුත්‍ර දේශනාව රාහුල ස්වාමීන් වහන්සේට ප්‍රකාශ කොට වදාළා. මෙතන මේ ගත්තු කණ්ණාඩිය අපට බොහොම ප්‍රයෝජනවත් එකක්. මේ කණ්ණාඩිය කියන එක මේ පින්වතුන් කොතෙකුත් දන්නවා. ගෙදර වල තිබෙනවා කණ්ණාඩියක්. එතකොට, මුළ ශරීරෙම පේන කණ්ණාඩිත් තියෙනවා ගෙදරවල් වල. නමුත් ඒවායින් පෙන්නුම් කරන්නේ ශරීරේ විතරයි. මේ ශරීර පේන කණ්ණාඩියක් නොවෙයි මේක - ධර්ම කණ්ණාඩියක්. මේක හිත පෙනෙන කණ්ණාඩියක්. මේ කණ්ණාඩිය අනුසාරයෙන් මේ කියන ධර්මය, මේක, එහෙම පිටින්ම හිත පෙන්වන කණ්ණාඩියක්. හිතේ කිලිටිය පෙන්වන්නේ. නමුත් මේ අනුසාරයෙන් හිතාගන්න පුළුවන් දැන් මේ පින්වතුන්ට හිස පීරීමේදී , මුහුණ, හැඩ වැඩ දැමීම ආදියේදී, ඒක කරන්න කලිනුත් කණ්ණාඩිය දිහා බලනවා, මේ මුණේ හෝ මේ හිසේ හෝ සකස් කරන්න තැනක් තියෙනවාද කියලා. කරගෙන යන අතරෙත් බලනවා. කළාට පසුවත් ආපසු හැරිලා බලනවා මා මේ හොඳට සැරසුනු එක දැන් ඉතිං අඩු පාඩුවක් නැද්ද කියලා. අන්න ඒ වගේ මේ ධර්ම කණ්ණාඩිය දිහා බලන්න ඕන. අර ධර්මයේ දැක්වූ න්‍යායය අනුව, මේක අනුන්ගේ හිංසාවට, තමන්ගේ හිංසාවට, දෙපක්ෂයෙම හිංසාවට ආදී වශයෙන් ඒ කුසල් අකුසල් පිළිබඳ කථාන්තරයයි එතන කිව්වේ. අර විදියට හිංසාවට හේතු වෙනවා නම් ඒක අකුසලයක්. ඒක හිංසාවකට හේතු නොවෙනවා නම්, ඒක කුසලයක්. යහපතට හේතු වෙනවා නම් ඒක කුසලයක්. ඒක මේ පින්වතුන්ට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. අන්න ඒ විදියට මේක ධර්ම කණ්ණාඩියක්, මේ ධර්මය කියලා කියන්නේ එහෙම පිටින්ම කණ්ණාඩියක්. කොයි තරමිද කියතොත් අරහත්වය ලබා ගත්තු තෙරණියන් වහන්සේ කෙනෙක්, රහත් මෙහෙණින් වහන්සේ කෙනෙක්, ඒ තමන් ලබාගත්තු ප්‍රත්‍යක්ෂය පිළිබඳව ප්‍රකාශ කොට වදාළා, ‘ධම්මාදාසං අපේක්ඛිත්වා’ කියලා. මම ධර්ම කණ්ණාඩියේ මුහුණ බැලුවා කියලා. ඒ මුහුණ බැලුවා කියලා කියන්නේ, මෙතන හිත බැලුවා. ධර්ම කණ්ණාඩිය දිහා බලලා මේවා සකස් කරගත්තා, කියලා. ඔන්න ඔය ආශ්‍රයෙන් අපට හිතාගන්නට පුළුවන් මේ බුදු පියාණන් වහන්සේ සුත්‍ර දේශනාවේ දුන්න ඒ උපදේශයත් අපට උපකාර වෙනවා, අපේ එදිනෙදා ප්‍රායෝගික ජීවිතයේදී. මේ හැම දෙනාටම තිබෙන ලොකුම ප්‍රශ්නය තමයි, කාලය සොයා ගැනීම. ඊළඟට මේක කරන්නේ කොහොමද කියන එක, මේකේ හැකි සංඥාව නෑ. ඒ වගේම, කරන්න, ආරම්භයක් කරන්නේ කොහොමද, කරගෙන යන්නේ කොහොමද, කියන එක. අන්න ඒ වගේ හොඳ උපදේශ අපට මේ සුත්‍ර දේශනා වලින් හමු වෙලා තියෙනවා. එතකොට ඒ වගේම තමයි බුදු පියාණන් වහන්සේ තවත් අවස්ථාවක ඒ වගේම වටිනා උපමාවක් සහිත සුත්‍ර දේශනාවක් කළා. ‘අච්ඡරා සංසාත’ සූත්‍රය කියල සූත්‍රයක් තිබෙනවා. ‘අච්ඡරා සංසාත’ කියා කියන්නේ පින්වත්නි, අසුර ගැසීම. අසුරක් ගහනවා කියන එක මේ පින්වතුන් දන්නවා. දැන්, මහපටැඟිල්ලත්, මැදැඟිල්ලත් අල්ලා පොඩි සද්දයක්, නාදයක් පවත්වනවා සමහර අවස්ථාවල් වල. ඇදුරෝ එහෙමත් ඔය තොවිල් පවිල් කරනකොටත්, ඔය යකෙක් එහෙම එළවන්න ඕන වුනාමත් ඔය විදියට අසුර ගහනවා. නමුත් මෙතන මේ බුදුපියාණන් වහන්සේ මේ දේශනාවේ අදහස් කරන්නේ අසුරක් ගසන වෙලාව. ඉතාම සුළු වෙලාවක් මේකට යන්නේ. සුළු මොහොතක් කියන එකයි එතනත් හැඟෙන්නේ. අච්ඡරා සංසාත සූත්‍රයේ දේශනා කරනවා බුදුපියාණන් වහන්සේ, “මහණෙනි…” ඒ සංඝයා වහන්සේලාටයි ප්‍රකාශ කරන්නේ, නමුත්, තුන් ලෝකයාටයි මේ කාරණය දන්වන්නේ. “මේ අසුරක් ගසන තාක්, එපමණ ඒ සුළු කාලයක් හෝ යම්කිසි කෙනෙක්, යම්කිසි භික්ෂුවක් මෛත්‍රී සිතක් වඩනවා නම්, ඒ අසුරක් ගසන සුළු කාලය තුළ පවා, අන්න එබඳු භික්ෂුව පිළිබඳව මා ප්‍රකාශ කරනවාය, එබඳු භික්ෂුව මේ ශාස්තෲන් වහන්සේගේ අනුශාසනය අනුව කටයුතු කරනවාය, ශාස්තෲන් වහන්සේගේ අවවාදය පිළිපදිනවාය, ඒ ලෝකයා විසින් දෙන පිණ්ඩ ආහාරය නිකරුනේ පරිභෝග නොකරන කෙනෙක්ය කියලා ඒ වගේම ධ්‍යානය වැඩීම කියන කාරණය හිස් කරන්නේ නැතුව, ඒක අපතේ හරින්නේ නැතුව, ධ්‍යාන නොකර ඉන්නේ නැතිව ජීවන් වන කෙනෙක්ය කියලා මා ප්‍රකාශ කරනවාය, කියා. ඒ කියන්නේ සුළු මොහොතක්, අසුර ගැසීම වැනි සුළු මොහොතක පවා, යම්කිසි කෙනෙක් මෛත්‍රී සිතක් වඩනවා නම්, ඒකත් එක්තරා සුළු ප්‍රමාණයකින් නමුත් ධ්‍යානයක්. එක්තරා සුළු ප්‍රමාණයකින් නමුත් බුදුපියාණන් වහන්සේ දක්වා වදාළ අවවාදයට අනුව පිළිපැදීමක්. ඒ වගේම ඒක නිසාම ඒ භික්ෂුත්වයේ යම්කිසි ශක්තියක් එයින් ලැබෙනවා, එයින් වටිනාකමක් එකතු වෙනවා. ඒක නිසායි ඒ දානය වළඳන්න තරම් සුදුසුයි කියලා ප්‍රකාශ කළේ. එයින් වරදවා හිතාගන්න නරකයි මේ සුළු අසුර ගැසීම තරම් කාලයකට පමණක් සීමා කළයුතු එකක්ය භාවනාව කියලා. නමුත් මෙතන පෙන්නුම් කරන්නේ මේ අසුරක් ගැසීම වැනි සුළු කාලයකින් පටන් ගත්තා නම් යම්කිසි කෙනෙක්, ඒ ප්‍රතිපත්ති මාර්ගය ඒ තැනැත්තාට පුළුවන් ඉදිරියට ගෙන යන්න. දැන් අපි දන්නවා ලෝකයේ ලොකු වැඩ කරන්නේ ඒ වගේ සුළු වෙලාවෙන් ඉඩ ලබා ගත්තු අයයි. සුළු වෙලාවක වටිනා වැඩක් කරන්න පුරුදු කර ගත්තොත් හිත, ඒ තැනැත්තාට තම තමන්ගේ වැඩ කටයුතු කරන අතරේ ඒ ලැබෙන සුළු විවේකයෙන් අන්න අර අසුරක් ගසන වෙලාවක් මෙතන තිබෙනවා නේද, ඒක මට භාවනාවට යොදන්න පුළුවන් නේද, කියන බුද්ධ අවවාදය සිහිපත් කරගෙන ඒ මාර්ගයේ ගමන් කරන්න පුළුවන් වෙනවා. අන්න ඒ විදියට ඒ මෛත්‍රී සිත ගැන ප්‍රකාශ කළා. ඊළඟට , ඒ වගේම අසුරක් ගසන තරම් සුළු කාලයක් මහණෙනි, යම්කිසි කෙනෙක් අනිත්‍ය සංඥාව වැඩුවා නම්, අනිත්‍යතාව සිහි කරනවා නම්, ඒ කියන්නේ අනිත්‍ය භාවනාවයි. ඒ අනිත්‍යතාව පිළිබඳව භාවනාව විදර්ශනාවයි. ඊළඟට ඒ වගේම දුඃඛ සංඥාව මේ සංසාරයේ දුඃඛස්වභාවය ගැන මෙනෙහි කරනවා නම්, ඒ අනිත්‍ය හැම එකක්ම දුකයි. ඊළඟට මේ දුක් සහිත දේ මෙය අනාත්මයි කියලා මෙනෙහි කළා නම්, මරණ සතිය පුරුදු කළා නම්, බුද්ධානුස්සතිය වැඩුවා නම්, ධම්මානුස්සතිය වැඩුවා නම්, සංඝානුස්සතිය වැඩුවා නම්, මෙය කියන භාවනා සුළු වශයෙන් හෝ අසුරක් ගසන කාලයක් හෝ යම්කිසි භික්ෂුවක් පුරුදු කරනවා නම් අන්න ඒ භික්ෂුව අර විදියට ශාස්තෲන් වහන්සේගේ අනුශාසනය අනුව කටයුතු කරන කෙනෙක් කියලා මා ප්‍රකාශ කරනවාය කියා. මේ සූත්‍ර දේශනාවෙනුත් අපට හිතා ගන්නට පුළුවන්, මෙතනත් දෙන්නේ “හැකි සංඥාව.” “තුන්ලෝකයාට” හැකි සංඥාවක් ලබා දෙනවා. මේ අසුරක් ගැසීම වගේ වේලාව කියන එක, දැන් අපි අර ‘යකැදුරා’ කියන උපමාවක් ගත්තා බුදුපියාණන් වහන්සේ දෙන උපමා ඉතාමත් ගැඹුරුයි, ඉතාමත්ම අර්ථවත්. දැන් අපි දන්නවා, ඔය යකැදුරන් සමහර විට යකුත් එළවන්ට අසුරක් ගසලා කරන්නා වගේ දැන් මෙතනදී කරන්නෙත් අර සුළු වෙලාව, අසුරක් ගසන තාක් සුළු වෙලාව, කුසල් සිතක් පැවැත්වීමෙන් අර ‘කෙලෙස් යකා’ එහෙම නැතිතම් ඒ කෙලෙස් මලකඩ ඉවත් වෙන්න අවස්ථාවක් සලසා ගන්නවා. අන්න ඒ විදියට දැන් එතනිනුත් පෙන්නුම් කරන්නේ අර තමන්ගේ එදිනෙදා ජීවිතයේ ‘හැකි සංඥාවක්’ උපදවාගෙන මේ කටයුතුවල යෙදීමේ අගයයි - බුදුපියාණන් වහන්සේ පෙන්නුම් කොට වදාළේ. එකකොට මේ විදියේ වැඩ කටයුතු කරන්නා නම් තවත් මේකට උපකාර කර ගතයුතු දෙයක් තිබෙනවා. මේ හැම එකක්ම මේ පින්වතුන්ට, මේ බෞද්ධයින්ට, ප්‍රායෝගික වශයෙන් උපකාර කර ගන්න පුළුවන් ටික අපි මේ ඉදිරිපත් කරන්නේ. මේ විදියේ වැඩක වැදගත් කමත් කෙනෙකුත් තේරුම් ගන්න ඕන. බුදුපියාණන් වහන්සේ ඒකත් නිතර බොහෝ අවස්ථාවල මතු කරලා තියෙනවා. ඒක මේ සාසනයේ හඳුන්වන්නේ සංවේග වස්තු කියලා. මේ හැම වාහන ආදියටත් තියෙනවා යම්කිසි වේගයක්. මේ වේගය හදාගන්න නොයෙකුත් ඉන්ධන ද්‍රව්‍ය - මේකට ‘පිරි’ හරි ‘සුපිරි’ හරි - ඒ විදියේ දේවල් එකතු කරගන්නවා. ඒ විදියට මේ සාසනික ගමන යන්නත් යම්කිසි වේගයක් අවශ්‍යයි. ඒ වේගයට කියනවා සංවේගය කියලා. ඒ වේගයට උපකාරී වන ඉන්ධන ද්‍රව්‍ය වැනි දේවල් වලට කියනවා සංවේග වස්තු කියලා. මොනවාද මේ සංවේග වස්තු. අතින් අල්ලන්න පුළුවන් දේවල් නම් නොවේ. මිළයට ගන්න පුළුවන් දේවලුත් නොවේ. නමුත් මෙන්න මේ කාරණා - ’ජාති ජරා ව්‍යාධි මුති අපායා අතීත අපායතුක වටට දුඃඛං ඉදනි ආහාර ගවෙසී දුඃඛං සංවේගවත්හු ඉමානි අට’ බුදුපියාණන් වහන්සේගේ වචනය අනුව කල්පනා කරලා, මේ සංසාරයේ අනන්ත කාලයක් අපි ඉපදිලා තිබෙනවා, මේ ඉපදීම පිළිබඳව, එහෙම නැතිනම් මේ උත්පත්තියම, මේ ජීවිතය ගැනම හිතලා වුනත් උපත කියන එක, කොයිතරම් භයානක අවස්ථාවක්ද? මේ මව්වරු දන්නවා, ඒ කුඩා දරුවා නොදත්තත්. ඊළඟට උපන්නාට පස්සේ එතන ඉදලාම දුක නේද තිබෙන්නේ. ඒ උත්පත්තිය කියන එක දුකයි, එතකොට බුදු කෙනෙක් නොකිව්ව්වත් ඒක ලෝකයා තේරුම් ගතයුතු දෙයක්. මේ කාලයේ නම් ඒවා උත්සව පැවැත්විය යුතු දෙයක් කියලා සළකනවා. වැළපිය යුතු තරම් කාරණයක්. මේ උත්පත්තිය ලැබීම. අතිදීර්ඝ කාලයක් සංසාරයේ මේ මෝඩකම කරලා තිබෙනවා. ඒ උපත නිසාම ඊළඟට ලැබෙන පළමුවෙනි තෑග්ග තමයි, උපන්දින තෑග්ග තමයි, මරණය. උපන්නා නම් ඒ තැනැත්තාට මරණය හිමියි. මරණය කරා යන ගමනේ ඊළහ සන්තිස්ථානය තමයි ජරාව කියන්නේ. උපතේ ඉඳලා - ජාති, ජරා. ඊළඟට ජරා කියන එක දෙවෙනි සංවේග වස්තුවයි. ජාති, ජරා, ඊළඟට ව්‍යාධි කියලා කියන්නේ, මේ ජරාවට යනකොට, ශරීරය දිරාගෙන යනකොට, වැඩි වැඩියෙත් ව්‍යාධිය ළංවෙලා ඒකට උදව් දෙනවා. ලෙඩ රෝග. ඊළඟට චුති, ඊළඟට අවසාන වෙන්නේ මරණයෙන්. එතකොට ජාති - උපත. ඊළඟට මහළුවීම, ජරාව කියලා කියන එක. ජරාවට පත්වීම. ඊළඟට ලෙඩ රෝග. ඊළඟ එක මරණය. ඊළඟට අතීතය ගැන, බුද්ධ වචනය අනුව කල්පනා කරනවා, අතීත සංසාරයේ කොයි තරම් අපි දුක් විඳලා තිබෙනවාද, ඊළඟට අනාගතයේ නිවන් දුටුවේ නැතිනම්, නිවන් ප්‍රත්‍යක්ෂ කරගත්තේ නැතිනම්, අනාගතයේ කොයි තරම් දීර්ඝ කාලයක් - බුද්ධ වචනය අනුව - අපි මේ අති දීර්ඝ අනාදිමත් කාලයක සිට මේ සංසාරයේ ගමන් කරනවා කියලා බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කළා, එතකොට අනාගතයේදීත් ඒ විදියට දුක් විඳින්න වෙනවා. අතීත අපායතුක වටට දුඃඛං. මේ සංසාරයේ, මේ එක තැන කරකැවිල්ලේ, ඇති මෝඩකම, මේ නිසා ඇති වන දුක, ඊළඟට ඒ ගැන හිතන්න ඕන, නිතිපතා. ඒ වගේම මේ ජීවිතයේදී ආහාරය සෙවීම සඳහා යොදන ප්‍රයත්නය. ඒක කොයි තරම් දුකද? මේ සතුන් මේ ආහාරය සඳහා වෙහෙසෙන ආකාරය හිතලා බලන්ට ඕන. සමහර විට ධනවත් මිනිසුන්ට ආහාරය ලැබීම සුළු දෙයක් හැටියට හිතෙන්න පුළුවන්. සමහර විට අර අතීතයේ අනුරුද්ධ හාමුදුරුවන් බත ඉපදීම පිළිබඳව ප්‍රකාශ කරන්නා වගේ මේවා මේ මේසෙට එන පමණින් ආහාර ටික ලැබෙනවා කියලා. නමුත් ඒවා සඳහා කොයි තරම් වෙහෙසෙනවාද දවසක් පුරා - දවසක මේ ආහාර ටික සඳහා. ඒකත් ‘දුඃඛං’. අන්න ඒ විදියට මේ සංවේග වස්තු, මේ සංසාරයේ, ජීවිතය පිළිබඳව, සංසාරය පිළිබඳව, ඇති දුඃඛ ස්වභාවය නිතර මෙනෙහි කළයුතුව තිබෙනවා. ඒ සංවේගය අනුව කල්පනා කරලා, එතකොට මේ තමන්ට ලැබෙන සුළු ඉඩ, අපි අර ආපදා ගැන, දරුවන් ගැන, කල්පනා කරලා ඉතිරි කරන්නා වගේ, ටිකක් ඉතිරි කරන්නා වගේ, ඒ ලැබෙන සුළු මොහොත පිනක් දහමක් සඳහා, බණක්, භාවනාවක් සඳහා යොදන්න උත්සාහවන්ත වෙන්න ඕන. මේ වගේ සංවේගය ඇති නොවීම නිසා තමයි සාමාන්‍ය බෞද්ධයින් ධර්මයෙන් ටිකෙන් ටික ඈත් වෙන්නේ. ඒ නිසාම මෙලොවත් දුක වැඩෙනවා. පරලොවටත් දුක් එක් රැස් කර ගන්නවා. එතකොට මෙන්න මේ විදියට මලකඩ රාශියක් ඉවත් කිරීමයි, ඉවත් කිරීමේ වැඩපිළිවෙළයි, මේ බුද්ධ ශාසනය කියලා කියන්නේ. බුදු පියාණන් වහන්සේ දක්වා වදාළා, මේ මලකඩ. ලෝකයේ නොයෙකුත් මලකඩ තිබෙනවා, මේ හැම මලකඩටම වඩා නියම මලකඩ හැටියට දක්වන්නේ: ……මලා වෙ පාපකා ධම්මා - අස‍්මිං ලොකෙ පරම‍්හි ච තතො මලා මලතරං - අවිජ‍්ජා පරමං මලං ලෝකයේ මෙලොවත්, පරලොවත්, නියම විදියේ මලකඩයක් තමයි පාපකර්ම. පව්කම් කිරීම ලෝකයේ තිබෙන ලොකු මලකඩයක්. ලෝකයේ තිබෙන ප්‍රකට මලකඩ වර්ගයක්. ඊළඟට ඊටත් වඩා, ‘තතො මලා මලතරං’ ඊටත් වඩා ලොකුම මලකඩය තමයි: ‘අවිජ්ජා පරමං මලං’ - අවිද්‍යාව කියලා කියන, ඒ නොදැනුම කියලා කියන, චතුරාර්ය සත්‍යය නොදැනීම කියලා කියන, ඒ මෝඩකම, ඒ අඥානකම. සාංසාරික සත්ත්වයා තුළ තිබෙන ඒ අඥානකම. ඒක තමයි ලොකුම මලකඩය. එතකොට මෙන්න මේ මලකඩය කපාහැරීමට තමයි බුදුපියාණන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව වශයෙන් ආර්ය අෂ්ටාංශික මාර්ගය දක්වා වදාළේ. එතනත් අපට තිබෙන්නේ අනුපිළිවෙල වැඩපිළිවෙළක්. මොකක්ද මේ ආර්ය අෂ්ටාංශික මාර්ගය කියලා කියන්නේ. ඒක බොහෝ විට වචනයටයි සීමා වෙලා තිබෙන්නේ. මෙතන තිබෙන වටිනාකම බොහෝ දෙනෙක් තේරුම් ගන්නේ නැහැ. මහ පුදුම විදියේ ධම් මාඟීයක් මෙතන තියෙන්නේ: සම්මා දිට්ඨී, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා කියන මේ අංග අටයි ආර්ය අෂ්ටාංගික මාර්ගය හැටියට දක්වන්නේ. මේක අපි අපට තේරෙන සිංහල භාෂාවෙන් කිව්වොත් සම්මා දිට්ඨී කියලා කියන්නේ, ‘හරි දැකුම්’. එතන දැකුම කියලා කියන්නේ ඇහැට පේන දර්ශනය නෙවෙයි. ජීවන දර්ශනය පිළිබඳව, - ජීවිතය පිළිබඳව දැක්මයි. ලෝකය පිළිබඳ දැක්මයි. හරි දැකුම් කියලා කියන්න පුළුවන්. ඊළඟට සම්මා සංකප්ප කියලා කියන්නේ, ‘හරි සිතුම් පැතුම්’. ඊළඟට සම්මා වාචා කියලා කියන්නේ ‘හරි කියුම්.’ හරි වචන කියලා කියන එකයි. සම්මා කම්මන්ත කියලා කියන්නේ ‘හරි කෙරුම්’. සම්මා ආජීව කියලා කියන්නේ ‘හරි දිවි පැවතුම්.’ ජීවිතය පවත්වා ගැනීම පිළිබඳ ක්‍රමය. ඊළඟට සම්මා වායාම කියන්නේ ‘හරි වෙර දැරුම්.’ වීර්යයි. සම්මා සති කියලා කියන්නේ ‘හරි සිහි කෙරුම්.’ නියම විදියේ සිහි කිරීම. සම්මා සමාධි කියලා කියන්නේ ‘හරි සිත් එකඟ කෙරුම්.’ හරි විදියට සිත එකඟ කර ගැනීමයි. මේ එක එකක් ගැන දිග විස්තර කිරීමට කාලය මදි නිසා, කෙටියෙන් සඳහන් කළොත් සම්මා දිට්ඨී කියලා කියන්නේ, හැම කෙනාටම ජීවන දර්ශනයක් තිබෙනවා. අපරාධ කාරයාටත්, හැම කෙතාටම තියෙනවා යම්කිසි ජීවන දර්ශනයක්. පලඟැටියාටත් තියෙනවා ජීවන දර්ශනයක්. ඒක පිළිස්සිමෙන් කෙළවර වෙතවා. ඊළඟට ඒ විදියට ජීවන දර්ශනය යම් කෙනෙකුගේ හරි නම්, එතන ඉදලාම දියුණුව කරා යන්න පුළුවන්. යම් කෙනෙකුගේ ජීවන දර්ශනය වැරදි නම් එතන ඉදලාම පරිහානියි. එතකොට පළමුවෙනි පියවර තමයි ඇත්ත වශයෙන්ම ජීවන දර්ශනය කියන එක. ඒක ධර්මයේ දක්වලා තිබෙන්නේ - සම්මා දිට්ඨී කියලා. ඒ කියන්නේ, එක අතකින් දක්වනවා, නොගැඹුරු වශයෙන් දක්වනවා නම්, මේ සංසාරය ගැන පමණක් කල්පනා කරලා ප්‍රකාශ කරනවා නම්, හොඳ තරක පිළිබඳව වටහාගැනීම. කුසල් අකුසල් පිළිබඳව වටහා ගැනීම. ලෝකයේ දානමානාදියේ ආනිශංස ඇත. කුසලාකුසල කර්මයන්ගේ එල විපාක ඇත, මෙලොවක් ඇත, පරලොවක් ඇත, මවෙක් ඇත, පියෙක් ඇත ආදී වශයෙන් කාරණා දහයක් හැටියට දක්වනවා. ඒ කුසල් කිරීමට, පින් කිරීමට උපකාර වන විදියේ යම්කිසි දර්ශනයක්. ඒක මේ සංසාරයේ දුගතියට නොගිහින්, සුගතියට යාමට උපකාර වන විදියේ දර්ශනයක්. නමුත් ඊටත් වඩා ගැඹුරට යන එක තමයි චතුරාර්ය සත්‍යය. තථාගත සම්මා සම්බුදු වහන්සේ කෙනෙකුන් විසින්ම දක්වා වදාරණ ඒ චතුරාර්ය සත්‍ය ධර්මය මේ මුළු මහත් සාංසාරික පැවැත්ම, මේ පංචස්කන්ධයම, දුකයි. මේ දුකට හේතුව තණ්හාවයි. මේ තණ්හා පිපාසය සංසිඳුවා ගත්තු තැන නිවනයි. ඒ නිවනට ඇති මාර්ගයම මේ ආර්ය අෂ්ටාංශික මාර්ගයයි කියන චතුරාර්ය සත්‍යය පිළිබඳ අවබෝධයයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. යම් කෙනෙකුගේ ජීවන දර්ශනය ඒ විදියට සකස් කරගත්තා නම්, ඒ තැනැත්තා තුළ ඇතුළතින්ම යම්කිසි පරිවර්තනයක් ක්‍රමානුකූලව ටිකෙන් ටික, මොහොතින් මොහොත ඇතිවෙන්න පටන් ගන්නවා. හරියට අර පළමුවෙනි පඩියට නැග්ගාම, එක අඩියක් තිබ්බාම, අනෙක් කකුල ඉස්සෙනවා වගේ. එතකොට මේ සම්මා දිට්ඨිය කියලා කියන මේ දර්ශනය, ජීවන දර්ශනය යම් කෙනෙකු තුළ ඇති වූනා නම්, ඒ තැනැත්තා තුළ ක්‍රමානුකූලව සිතුම් පැතුම් පිළිබඳව, යම්කිසි සියුම් පරිවර්තනයක් ඇති වෙන්න පටන් ගන්නවා. ඒක දක්වලා තියෙන්නේ නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් නෙක්ඛම්ම කියලා කියන්නේ, මේ ගිහිගෙයින් නික්මීම කියන අදහස, ගිහිගෙයින් නික්මීම පිළිබඳ අදහස. මේක කියන කොට මේ සංඝයා වහන්සේලාට පමණක් අයිති දෙයක් කියලා හිතන්න නරකයි . ගිහිගෙයින් නික්මීම කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම මේ සංසාරය දුකයි. දැන් සමහර විට ගිහි පින්වතුනුත් කලබල අවස්ථාවල ප්‍රකාශ කරනවා මහණ වෙන්න ඕන කියලා. යටත් පිරිසෙයින් යටි හිතේ හෝ තිබෙනවා ඒ මහණවීම පිළිබඳව මේ බෞද්ධ පින්වතුන් තුළ යම්කිසි නැඹුරුවක්. ඒකට උපකාර වෙනව සංඝයා වහන්සේලාගේ දර්ශනය, සංඝයා වහන්සේලා ඇසුරු කිරීම ආදිය. අන්න එබඳු අවස්ථාවල මේ පින්වතුන්ට ඇති වෙන්නේ නෙක්ඛම්ම සංකප්පයයි. නික්මීම පිළිබඳ අදහසක්. ඒක කුසල් අදහසක්. ඒක කුසල සිතක්. අති දීර්ඝ කාලයක් නික්මීම පිළිබඳ සිතිවිලි ඇති වීමෙන් තමයි කෙනෙකුට පැවිදි වෙන්න පවා ශක්තියක් ලැබෙන්නේ. ඒ විදියට ‘නෙක්ඛම්ම’ සංකල්පයට සිත නැඹුරු වෙනවා. අව්‍යාපාද සංකප්ප, ඒ කියන්නේ මෛත්‍රී සිතුවිලි, ද්වේෂයට ප්‍රතිවිරුද්ධ සිතුවිලි. ඊළඟට අවිහිංසා සංකල්ප, හිංසාවෙන් ඉවත්වෙලා අවිහිංසාව පුරුදු කරන්න. කිසිම සත්ත්වයෙකුට හිංසාවක් නොවේවා කියන සිතිවිලි. ඔන්න මේ සිතිවිලිවලට කියනවා සම්මා සංකප්ප කියලා. ඒ සිතිවිලි අනුසාරයෙන් ඒ තැනැත්තාගේ වචනත් ඊළඟට වෙනස් වෙනවා. ඒ වචන තමයි අර බොරු කීම, කේළාම් කීම, පරුෂ වචන කීම, නිෂ්ඵල වචන දෙඩීම්. ඒවායින් ඉවත් වෙන්න ඒ තැනැත්තා උත්සාහ කරනවා. මේ අවස්ථාවේදී සමාදන් වූ ආජීවඅට්ඨමක සීලයේ මේ ගැන කියවෙනවා. ඊළඟට ඒ හොඳ වචන කථා කරන අතරේ ඒවායින් වෙන් වෙලා සත්‍ය වචන, අනෙක් අය සමගි කරවන වචන, ඊළඟට ඒ වගේම අර්ථවත් වචන ඒ විදියට පාවිච්චි කරනවා නම්, මෘදු මොළොක් වචන පාවිච්චි කරනවා නම්, ඒ තැනැත්තා ඊළඟට කල්පනා කරනවා, මගේ වැඩත් තියෙන්න ඕන මගේ වචන හැටියට, කියලා. අර ප්‍රාණසාත, අදත්තාදාන, කාම මිථ්‍යාචාර කියලා කියන වැරදි වලින් ඉවත් වෙන්න. පරපණ නැසීම, සොරකම් කිරීම, කාම මිථ්‍යාචාරය කියන ඒවායින් වෙන් වෙන්න ඒ තැනැත්තා උත්සාහ කරනවා. මේක සම්මා කම්මන්තයයි. සම්‍යක් කර්මාන්තයයි. ‘හරි කෙරුම්’ එකයි. ඊළඟට එතනින් නවතින්නේ නැහැ. සමහර විට මේ කාලයේ බොහෝ දෙනාට තිබෙන ලොකු ගැටලුවක් තමයි දිවි පෙවෙත, ජීවන මාර්ගය පිළිබඳ ප්‍රශ්නය. අධර්ම මාර්ගයට ඇද හෙළීමට නොයෙකුත් තැන් වලින්, නොයෙකුත් ලොකු තැන් වලින්, මේවාට ආධාර ලැබෙනවා. ඒකෙන් විශාල ලෙස බෞද්ධයාගේ ජීවිතය පරිහානිය කරා යනවා. එතකොට මිථ්‍යා ආජීව කියන්නේ වැරදි ජීවිකා ක්‍රම. ඒවා අතහරින්නට ඕන. බුදුපියාණන් වහන්සේ දක්වා වදාළා, බෞද්ධ පින්වතෙකු විසින් නොකළයුතු දේවල් හැටියට, නොකළයුතු රැකියාවන් හැටියට අවි ආයුධ වෙළඳාම, සතුන් මසට ඇති කිරීම, මාංශ වෙළඳාම, විෂ ද්‍රව්‍ය වෙළඳාම, ඊළඟට මත්පැන් වෙළඳාම. අන්න මේවායින් ඉවත් වෙලා ධාර්මික ජීවිකාවක් සකස් කරගන්න උත්සාහවන්ත වෙන්නට ඕන. එහෙම නැතිනම් ඒ බෞද්ධ ජීවන මාර්ගය, ඒ ආජීවය කියන කාරණය, සම්පූර්ණ කරගන්න බැරිවෙනවා. ඒ විදියට දිවි පැවතුම අමාරුවෙන් හරි, යම්කිසි පරිත්‍යාගයකින් හරි, කෙනෙක් සකස් කරගත්තා නම් ඒක අපතේ යන්නේ නැහැ. ඒ සඳහා යොදන උත්සාහය තුළින් තමයි, ඊළඟට , ඒ උත්සාහය තුළින් ඒ තැනැත්තා යෝගාවචර භූමියට, භාවනා භූමියට, ඉබේම ඇතුල් වෙනවා. ඉබේම ඒ තැනැත්තාට ඒ ඇතුල්වීමේ සුදුසුකම ලැබෙනවා. මොකද, අර තමන්ගේ දිවි පැවතුම සකස් කරගැනීම සඳහා දරණ උත්සාහය තුළින් ඒ තැනැත්තා කරන්නේ මොකක්ද, හිත ඇතුලේ කෙරෙන්නේ මොකක්ද. ඒකට ලොකු වැඩ කොටසක් තියෙනවා. ඒකට තමයි සම්මා වායාම කියලා කියන්නේ. ‘හරි වෙර දැරීම්.’ නියම වීර්යය එකයි. ලෝකයේ කෙරෙන වීර්යයක් නෙවෙයි ඒක. සිත ඇතුලේ කෙරෙන වීර්යයක්. මොකක්ද ඒ වීර්යය. නූපන් අකුසල ධර්ම නුපදවීම සඳහා යොදන වීර්යය. උපන් අකුසල ධර්ම නෙරපා හැරීම සඳහා යොදන වීර්යය. නූපන් කුසල් උපදවාගැනීම සඳහා යොදන වීර්යය. ඊළඟට උපන්නා වූ කුසල්, ආරක්ෂා කරගැනීම, තහවුරු කරගැනීම සඳහා යොදන වීර්යය. කෙටියෙන් සලකා ගත්තොත් එතකොට මෙන්න මේ සතර ආකාර වීර්යය තුළ තිබෙනවා ඉතාම විශාල, වටිනා භාවනාවක්. ඒ භාවනාව දිගින් දිගට යාම තුළින් තමයි ඒ තැනැත්තා තුළ සම්මා සතිය කියලා කියන හොඳ සිහි කෙරුම, හොඳ සතියක් ඇති වෙන්නේ. හරියට මුරකාරයෙකුට වැඩක් දුන්තා නම්, මෙතනට නරක අය වද්දා ගන්න එපා, නරක අය ඉන්නවා නම් මෙතනින් පන්නන්න, හොඳ අය ළං කරගන්න, ඒ අයට හොඳට සළකන්න කියලා මුරකාරයෙකුට වැඩක් දුන්තා නම්, ඒ තැනැත්තාට නිදිනැතිව, ප්‍රමාදයට වැටෙන්නේ නැතිව, ඒ කටයුත්ත කරන්න සිද්ද වෙනවා. අන්න ඒ වගෙයි අර තමන්ගේ දිවි පැවතුම් පිළිබඳව උත්සාහවත් වෙන පින්වතාගේ චිත්ත සන්තානයේ ඇති වෙන ඒ විශාල පෙරළිය. විශාල පරිවර්තනය, ඒ විශාල වීර්යය, උත්සාහය, ප්‍රයත්නය නිසා ඒ තැනැත්තා තුළ ක්‍රමක්‍රමයෙන් වටිනා ගුණයක්, ඉතාම දුර්ලභ ගුණයක් ඇති වෙනවා සම්මා සතිය කියලා. නියම සිහිය, නියම සිහි කෙරුම. හරියට සිහිය මතු වෙනකොට ඒකට යොමු වෙන්නේ, ඒ ධර්මානුකූලව කල්පනා කරලා බලනකොට සතර සතිපට්ඨානයයි. මේ ශරීරයේ ස්වභාවය ගැන සිතන්න පටන් ගන්නවා. මේ ශරීරයේ ඇති වන වේදනාවල් ගැන, මේ හිතේ ස්වභාවය ගැන, සිතට එන, ඇති වන - සිතිවිලි ගැන, මෙන්න මේවා පිළිබඳව. මේකයි සතර සතිපට්ඨානය කියලා කියන්නේ. ඒ සතර සතිපට්ඨානය තමයි නිවනට ඒකායන මාර්ගය. ඒකායන මාර්ගය, නොවරදින මාර්ගයක්. ඒ සතර සතිපට්ඨානයයි. එතකොට ඒ සතිපට්ඨානය වැඩීම තුළින් ඊළඟට යම් කෙනෙකු තුළ සුළු වෙලාවක් ඒ සිහිය පවත්වා ගන්න ශක්තිය ලැබුනා නම් ඒක ක්‍රම ක්‍රමයෙන් ඒ වෙලාව වැඩි කරන කොට ඒ තැනැත්තාට යම්කිසි සමාධියක් ඇති කරගන්න පුළුවන්. ඒ තැනැත්තාගේ සිත තැන්පත් කරගන්න පුළුවන් වෙනවා. අන්න ඒ විදියට හරි සිත් එකඟ කෙරුම් තුළින් සිත එකඟ කරගන්න පුළුවන් වෙනවා, යම්කිසි කර්මස්ථානයක් තුළ. එයින් කෙරෙන්නේ චිත්ත ඒකාග්‍රතාවයයි. අපි මේ කාලයේ වචනයක් යොදනවා ‘පෞරුෂය’ කියලා. කෙනෙකුගේ ජීවිතය පිළිබඳව අදහස පෙන්නුම් කරන්න ‘පෞරුෂය’ කියලා කියනවා. ඇත්ත වශයෙන්ම පෞරුෂය කියන එක මතු වෙන්නේ මෙන්න මෙතනදී. හරියට අර චෛත්‍යයක් හදන්න පටන් ගෙන කොත පැළැන්දුවාම වගේ සම්මා සමාධිය යම්කිසි සන්තානයක ඇති වුනා නම්, ඒ තැනැත්තාගේ පෞරුෂය ඒකාග්‍ර වෙනවා. අන්න ඒ තත්ත්වයට පත්වීම තමයි ආර්ය අෂ්ටාංශික මාර්ගය සම්පූර්ණ කිරීම කියලා කියන්නේ. යම්කිසි කෙනෙක් ලෝකෝත්තර වශයෙන්, ඒ ආර්ය අෂ්ටාංශික මාර්ගය සම්පූර්ණ කරගත්තා නම් ඒ තැනැත්තාට එතනම නිවනයි. මේ ධර්ම මාර්ගය කොයි තරම් පුදුමද කියතොත් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා, මේ ස්වාක්ඛාත වූ ධර්මය, සන්දිට්ඨිකයි අකාලිකයි, ඒහිපස්සිකයි, ඕපනයිකයි, පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහී’ කියලා. ඒ කියන්නේ මේ මැනවින් දේශනා කරන ලද ධර්මය, ධර්ම ප්‍රතිපත්ති, ඒවා නොසිස් ප්‍රතිපත්ති ඇති ඒවා. ‘හරියට ආනිසංස දෙන නොවරදින ප්‍රතිපත්තියක්’ ඇති ධර්මයක් මේ. අන්න ඒක නිසා ඒක ස්වාක්ඛාතයි. සන්දිට්ඨික කියලා කියන්නේ, මේක එදිනෙදා ජීවිතයේ තමන්ට මෙලොවම ඇස පනාපිටම ඒවායේ ප්‍රතිඵල දකින්නට පුළුවන් වෙනවා. ඒවා ක්‍රියාත්මක කරන්න පුළුවන්. ‘ථොක ථොකං ඛණේ ඛණේ’ කියලා, ප්‍රකාශ කළ ආකාරයට, ටිකෙන් ටික, හෙමින් හෙමින් හරි පටන් ගෙන ඒ කරන කරන ප්‍රමාණයට ආනිසංස තියෙනවා. ඊළඟට ඒ වගේම තමයි අකාලික ධර්මතාව අනුව විපාක දෙනවා. අර විශේෂයෙන් අපි ප්‍රකාශ කළේ ආර්ය අෂ්ටාංශික මාර්ගය සම්පූර්ණ වෙනකොට එතනම නිවනයි. ආයිත් වෙන කෙනෙක් ඇවිල්ලා ‘දැන් සම්පූර්ණ කරාද, ඔන්න එහෙම නම් මම නිවන දෙනවා’ කියලා, කරන්න දෙයක් නැහැ. ඒකයි මේ ධර්මයේ අකාලික බව. ඊළඟට ඒහිපස්සික කියලා කියන්නේ, ‘එව, බලව, කියනවා.’ ධර්මයමයි මේ ඇදගෙන යන්නේ. බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ නැහැ, ‘එන්න බලන්න’ කියලා. බොහෝ විට ඔය වෙළෙන්දන් එහෙම පදික වෙදිකා වල, ‘එන්න බලන්න’ කියලා ආරාධනා කරනවා. ඒ විදියේ දෙයක් නොවෙයි බුදුපියාණන් වහන්සේ මෙතන මෙහි දක්වලා තියෙන්නේ. ධර්මයයි මෙසේ ‘එන්න, බලන්න’ කියලා. අර ‘කාලා බලන්න’ කියන්නා වගේ, ‘මේ මාව මෙහෙම ක්‍රියාවට නගලා බලන්න, මෙහි ප්‍රතිඵල තිබෙනවාද’ කියලා. අන්න ඒ අදහසයි ඒහිපස්සික කියලා කියන්නේ. ‘එව බලව’ කියන එක. ඒ වගේම ඕපනයික කියලා කියන්නේ, එකකින් එකකට ඇදගෙන යන ශක්තියක් තිබෙනවා. අපි අර කිව්වා මහ මුහුදේ උපමාව අනුව, එකකින් එකකට ඇදගෙන යනවා. එකින් එකට ක්‍රමානුකූලත්වයක් තිබෙනවා. ඒක, පඩි පෙළක් නගින කොට එකින් එකට සම්බන්ධතාවක් තිබෙනවා වගේ. ඒ නිසාම මේ ධර්ම මාර්ගයේ යම් තැනකින් ආරම්භ කළා නම්, හරියට ආරම්භ කළා නම්, හරියාකාර ආරම්භයක් කළා නම්, එතන ඉඳලාම ඒ තැනැත්තාට දියුණුව තිබෙනවා. නිකන් නොවේ එහි යෙදෙනවා නම්. අන්න ඒ විදියට බුදුපියාණන් වහන්සේ එයින් පෙන්තුම් කරන්නේ ඒහිපස්සික, ඕපනයික, ගුණ. ඊළඟට පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහී. නුවණැති පුද්ගලයින්ට අමුතුවෙන් කෙනෙක් ඇවිල්ලා කියන්න ඕන නැහැ, තමන්ටම ඒ ක්‍රියාවට නගලා තමන්ටම ඒ ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් කියලා බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කළා, මේ ධර්ම මාර්ගයේ ප්‍රතිඵලයක් තිබෙනවාද මේ සංසාරය කෙළවර කරගන්න පුළුවන්ද මෙලොවදීම ඒ ‘දිට්ඨෙව ධම්මේ’ කියන ආකාරයට මෙලොවම, ඒ නිවන් සුවය ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්ද, බැරිද කියන එක කරලාම බලන්න ඕන. අන්න ඒ විදියට බුදුපියාණන් වහන්සේ මෙතන ප්‍රකාශ කරලා වදාළා. එතකොට මේ ගිහි පින්වතුන්ට තමන්ගේ ගිහි භාවය නිසා හෝ මේ ධර්ම මාර්ගය ගැන පසුබට වෙන්න කිසිම හේතුවක් නැහැ. අතීතයේදී බුද්ධ කාලයේ පවා, අනාථ පිණ්ඩිකාදීන් මෙය මේ කාලයේ ධනවතුන් ගැන කල්පනා කරතකොට ඊට වඩා සිය දහස් ගුණයක් විශාල ධනයක් ඇති කෙනෙක් අනාථ පිණ්ඩික සිටාණන්. නමුත් සෝවාන් උපාසකයෙක්. ඒ තැනැත්තාගේ, ඒ උපාසක කුමාරයාගේ දූ දරුවන් පවා මාර්ග එල අවබෝධය ලැබුවා. විශාඛා මහා උපාසිකාව, ඊළඟට චිත්ත ගෘහපති, හත්ථක ආලවක ආදී ඒ ගිහි නාම රාශියක් තියෙනවා ඒ මාර්ග එල අවබෝධය ලැබූ අය අතර. ඒ පින්වතුන් නිකන් තෙවෙයි කාලය ගත කළේ. නියම ධර්ම මාර්ගය හැම අවස්ථාවකදීම යොදා ගත්තා. බුදුපියාණන් වහන්සේ සමඟ ධර්මය සාකච්ඡා කරනවා, බණ භාවනා වල යෙදෙනවා, අන්න ඒ ආකාරයෙන් තමයි ජීවිතය ගෙවුව . අන්න ඒ විදියට ජීවිතය සාර්ථකව ගෙන යන බෞද්ධ පින්වතුන්ට පුළුවන් මේ ධර්ම මාර්ගයෙන් අදත් ප්‍රතිඵල නෙළාගන්න. අන්න ඒක නිසා මේ පින්වතුන් කල්පනා කරගන්න ඕන, දැන් අද විශේෂයෙන්ම තම තමන්ගේ ජීවිතයේ තිබෙන වැඩ කටයුතු ආදිය නිසා මේ කාලයේදී බොහෝ දෙනා පසුබට වෙනවා. මේ වැඩ කටයුතු වලට කාලය සොයා ගැනීම පිළිබඳවයි බොහෝ දෙනා කියන්නේ. ඒ වගේම ඒ නිසාම ප්‍රමාදයට වැටෙනවා. මේ අප්‍රමාදය කියන එක බුදුපියාණන් වහන්සේගේ මූලික වචනයක්. ‘අ’ යන්න වගේ දෙයක්. මේවා කල් දාන්න බැහැ. ඒ කියන්නේ මේවා මේ බොහෝ දෙනා කියනවා ඇහෙනවා, විශ්‍රාම ගත්තාට පස්සේය මේ බණ භාවනා කරන්න පුළුවන් වන්නේ කියලා. නමුත් විශ්‍රාම ගත්තාට පස්සේ ඊළඟට වෙන ප්‍රශ්න එනවා. එහෙම නැතිනම් කායික දුබලතාවන් නිසා ඒවා කරගන්න බැරි වෙනවා. එතකොට මේ කල් දැමීම නිසා තමයි මෙච්චර කාලයක් මේ විදියට දීර්ඝ කාලයක් සංසාරයේ ගමන් කරලා තිබෙන්නේ. බුදු පියාණන් වහන්සේ මේ සංසාර භය ඇති කරන්න සමහර අවස්ථාවල් වල පුදුම විදියේ දේශනා කරලා තිබෙනවා. ‘අනමතග්ග සංයුත්ත’ කියලා දේශනා පෙළක් තිබෙනවා. බුදුපියාණන් වහන්සේ බණ භාවනා වැඩූ සංඝයා වහන්සේලා තිස් නමකට, පාවා නුවරින් වැඩම කළ සංඝයා වහන්සේලා තිස් නමකට, එක අවස්ථාවක මහා සංවේගජනක, මහා පුදුම විදියේ දේශනාවක් ප්‍රකාශ කළා. ඒ දේශනාව කොයි තරම් බලසම්පන්නද කිව්වොත්, දේශනාව අවසාන වෙනකොට ඒ සංඝයා වහන්සේලා රහත් වුනා කියලා ප්‍රකාශ කරනවා. එතකොට කොයි විදියේ දේශනාවක්ද කළේ. මෙතන මේ විදියටයි ආරම්භ කළේ බුදුපියාණන් වහන්සේ. ’මහණෙනි, මේ සංසාරය, මුල් කෙළක් නොපෙනෙන තරම් අතිශයින්ම දීර්ඝයි. මේ සංසාරයේ මුල් කෙළවරක් කෙනෙකුට දැකගන්න බැරිය, අතිශයින්ම දීර්ඝ කාලයක් අවිද්‍යාවෙන් වැසී තණ්හාවෙන් බැඳී ගමන් කළ මේ සත්ත්වයින්ගේ මුල් කෙළවරක් පෙනෙන්නේ නැත, ඊළඟට ප්‍රකාශ කරනවා, අන්න එබඳු ඒ සත්ත්වයින් ඒ සා දීර්ඝ කාලයක් සංසාරයේ ගමන් කරමින් හිස් ගැසුම් කා ගැලූ ලේ - සංඝයා වහන්සේලාගෙන් ප්‍රශ්නයක් හැටියට විමසනවා - “මහණෙනි, කුමක්ද හිතන්නේ, මේ සා දීර්ඝ කාලයක් නුඹලා, මේ සංසාරයේ - ගෙල කැපුම් කා ගැලූ ලේද වැඩි, සිවු මහා සමුද්‍රයේ ජලය ද වැඩි කියලා. සංඝයා වහන්සේලා ගෞරව පූර්වකව ප්‍රකාශ කරනවා,”භාග්‍යවතුන් වහන්ස, අපි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ධර්මය හරියාකාරව තේරුම් ගත්තා නම්, මේ අතිශය දීර්ඝ කාලය තුළ අප මේ සංසාරයේ ගමන් කරන අතර හිස් ගැසුම් කෑමෙන් ඒ ගැලූ ලේ වැඩීයි, සිවු මහා සමුද්‍රයේ ජලය අඩුයි.” ඊළඟට බුදු පියාණන් වහන්සේ එතනිත් නතර කළේ නැහැ, “මහණෙනි, නුඹලා ගොණුන්ව ඉපදිලා, ඒ කියන්නේ ගව ආත්මයේ ඉපදිලා, හිස් ගැසුම් කාලා ගැලූ ලේද වැඩි, සිවු මහා සමුද්‍රයේ ජලයද වැඩි” කියලා. එතන්දිත් එක දිගටම සංඝයා වහන්සේලාට පිළිතුරු දෙන්න සිද්ද වෙනවා, එතකොට ඒ ප්‍රකාශ කරන්නේ, - දැන් කෙනෙක් සමහරවිට හිතන්නේ මේ මුළු මහත් සංසාරයේ ඒ ඒ විවිධ ජාති වල ඉපදිලා, ගැලූ ලේ පිළිබඳ ප්‍රශ්නයයි මෙතන තිබෙන්නේ කියල. නමුත් බුදු පියාණන් වහන්සේ අහනවා මේ එක එක සතෙකු පිළිබඳව කාරණය මතු කරලා, “මහණෙනි නුඹලා ගවයින් වෙලා ඉපදිලා, මී හරකුන් වෙලා ඉපදිලා, එළුවන් වෙලා ඉපදිලා, කුකුළන් වෙලා ඉපදිලා, ඌරන් වෙලා ඉපදිලා, හිස් ගැසුම් කාලා ගැලූ ලේ, ඒ එක එක ජාති වල ඉපදිලා ගැලූ ලේ, ඒවාද වැඩි, සිවු මහා සමුද්‍රයේ ජලයද වැඩි” කියලා. ඒ හැම එකකටම සංඝයා වහන්සේලා පිළිතුරු දෙනවා, “භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ධර්මය අපි හරියාකාරව තේරුම් ගත්තා නම්, එසේ ගලන ලද ලේම වැඩිය, සිවු මහා සමුද්‍රයේ ජලය නොවැඩිය.” අන්න ඒ විදියට පිළිතුරු දීලා, අවසාන වෙනකොට ඒ සංඝයා වහන්සේලා තුළ සංසාරයේ තත්ත්වය පිළිබඳව කොයි තරම් ගැඹුරින් අවබෝධයක් ඇති වුනාද කියතොත් - කලින් කිසිම මාර්ග එලයක්, අවබෝධයක් නැතිවයි එතනට පැමිණියේ, නමුත් හොඳට භාවනා කරලා තිබෙනවා, - ඒ දේශනාව අවසාන වෙනකොට සියල්ම කෙලෙස් මලකඩ වලින් ඉවත්වෙලා, අති පාරිශුද්ධ නිර්වාණය අවබෝධ කරලා සසර දුක් කෙළවර කළා කියලා සඳහන් වෙනවා. අන්න ඒ අනුසාරයෙන් මේ පින්වතුනුත් කල්පනා කරන්නට ඕන, මේ සංසාරයේ නරක පැත්ත වශයෙන් බොහෝ දෙනා තුළ තිබෙන්න පුළුවන් සමහර විට - මේ දැන් ගිහි පින්වතුන් හැටියට සිටියත් - අනන්ත කාලයක් නොයෙකුත් තාපස ජීවිත ගෙවලා, සමහර විට සාසන වල සංඝයා වහන්සේලා හැටියට පෙනී හිටලා, එකතු කරගත්තු කුසල් ධර්ම බණ භාවනා පිළිබඳව. නමුත් අර අලු යට තිබෙන ගිනිපුපුරු වගේ ඒවා පිළිබඳව යම්කිසි උත්සාහයක්, වීර්යයක්, දරන්නේ නැතිනම් බණ භාවනා කරන්න බැරි වෙනවා, ඒවායින් ප්‍රතිඵල ලබාගන්න බැරි වෙනවා කවදාවත්. අන්න ඒක නිසා හිතන්න තියෙන්නේ ‘හැකි සංඥාව’ උපදවාගෙන අප තුළ යම්කිසි ශක්තියක් තිබෙන්න පුළුවන්, සංසාරයේ යම් යම් පාරමී ධර්ම පුරලා තිබෙන්න පුළුවන්, ඒවා පිහිට කරගෙන, වර්තමාන උත්සාහයක් ඒකට එකතු කරගෙන, අපි මේ ධර්මානුකූල මාර්ගයේ ගමන් කරලා, මේ බුදුපියාණන් වහන්සේ දක්වා වදාළ ආකාරයට, අනුපිළිවෙළින් - ඥානවන්ත පුද්ගලයින් කරන්නා වගේ - අනුපිළිවෙළින්, ටිකෙන් ටික, මොහොතින් මොහොත අර රන්කරුවා ඒ රිදීවල මලකඩ ඉවත් කරනවා වගේ අපේ චිත්ත සන්තාන වල තිබෙන කෙලෙස් මලකඩ ඉවත් කරගන්න ඕන කියලා අධිෂ්ඨාන කරගන්න ඕන. මේ අද - අපි ප්‍රකාශ කළ හැටියට - බෞද්ධයාගේ අළුත් අවුරුද්ද දවසයි. මෙබඳු දවසක, එබඳු අධිෂ්ඨානයක් කරගත්තා නම්, අන්න ඒ අධිෂ්ඨානය අනුව දිනපතා මෙබඳු ගාථාවක් සිහිපත් කරගෙන, ආදර්ශපාඨයක් හැටියට තබාගෙන, ඒ එදිනෙදා තමන්ට ලැබෙන සුළු කාලයක් හෝ විනාඩියක් විනාඩි පහක් දහයක් හෝ නින්දට යන්න කලින් යොදා ගන්නවා. ඒ දැන් බොහෝ දෙනා කියන දෙයක් තමයි ‘අපට නිවාඩු නැහැ’ කියලා. රජයේ නිවාඩු ආදිය කොතෙකුත් ලැබෙනවා. නිවාඩුව කියන එක දෙන දෙයක් නෙවෙයි, තමන් ලබා ගතයුතු දෙයක්. කොතෙකුත් නිවාඩු නම් ලැබෙනවා. නමුත් තමන්ට නිවාඩුවක් නැහැ. නිවාඩුව කියන එක උත්සාහයෙන් ලබා ගතයුතු දෙයක්. ඕනෑකම තිබෙනවා නම්, සංවේගය කියන වේගය තිබෙනවා නම්, අප්‍රමාදව ඒ ධර්මතාවේ හික්මෙනවා නම්, ඒ තැනැත්තාට වෙලාවක් තිබෙනවා, මොහොතක් තිබෙනවා, ටිකෙන් ටික හරි ආරම්භයක් කරගන්න පුළුවන්. එතකොට මේ පින්වතුන් මේ ධර්මදේශනාව අනුසාරයෙන් තමතමන්ගේ ජීවිතය ධර්ම මාර්ගයට ළං කර ගැනීමට මේ බුදුපියාණන් වහන්සේ වදාළ උතුම් ධර්ම මාර්ගය, ආර්ය අෂ්ටාංශික මාර්ගය, අනුගමනය කරමින් ක්‍රමක්‍රමයෙන් ක්‍රමානුකූලව බණ භාවනා, ශීල, සමාධි, ප්‍රඥා වඩමින් සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරහත් කියන ඒ ලෝකෝත්තර මාර්ග ප්‍රතිලාභයෙන් යම්කිසි අවස්ථාවක, මේ මුල මහත් සංසාර දුකෙන්ම අත්මිදිලා උතුම් අමා මහ නිවන් සුව සාක්ෂාත් කර ගන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරගන්නට ඕන. මේ අවස්ථාවේදී, මේ බණ අහන අවස්ථාවේදී, පවා මොහොතින් මොහොත භාවනා මානසිකාරයෙන් යුක්තව ධර්ම ශ්‍රවණය කළා නම් මේ පින්වතුන්ගේ සිත්තුළ ඇති වන කුසල් සියල්ල දුරු වුනා, ඒවා ඉවත් වුනා, ඒ වෙනුවට කුසල් සිතුවිලි සම්භාරයක්, ප්‍රණීත වූ කුසල් සිතුවිලි සම්භාරයක්, මේ අවස්ථාවේ මේ පින්වතුන්ගේ චිත්ත සන්තානයේ ඇතිවුනා. ඒ කුසල් සිතිවිලි සම්භාරය මේ කාලයේදීම කරන ඒ නිවන් දැකීමේ උත්සාහයට උපකාර වේවා, නිවන් දැකීමට උපනිශ්‍රය වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න ඕන. ඒ වගේම දැන් එතකොට මේ එකතු කරගත්ත කුසල සම්භාරය - මේ අවස්ථාවේදී ධර්මශ්‍රවණමය වශයෙන්, අපිත් ධර්ම දේශනාමය වශයෙන් යම් කුසල සම්භාරයක් එක්රැස් කර ගත්තා නම්, මේ සාසන පරිහානි අවධියේ අවදිව සිටින සාසනාරක්ෂක දෙවි දේවතාවුන් ආදී දිව්‍ය බ්‍රහ්ම මණ්ඩලයක් සිටිනවා නම් ඒ දෙවි දේවතාවුනුත් ඊළඟට මේ ස්ථානයේ, මේ පූජනීය ස්ථානයේ පහන් කණුව කියන එක - විශේෂයෙන් මේ පින්වතුන් දන්නවා,- විශේෂ බල සම්පන්න ස්ථානයක් බව. මෙබඳු ස්ථාන ආශ්‍රිතව යම්කිසි දෙවි දේවතාවුන් ආදී ඒ ආත්මභාවයන් සිටිනවා නම්, පින් කැමති ඒ හැම දෙනෙක්ම මේ ධර්ම ශ්‍රවණමය, ධර්ම දේශනාමය පින් අනුමෝදන් වෙත්වා, අනුමෝදන් වී සියළු සංසාර දුකෙන් අත්මිදී උතුම් වූ පරම ශාන්ත අමා මහ නිර්වාණය ප්‍රාර්ථනීය බෝධියකින් සාක්ෂාත් කරගනිත්වා කියලා ඒ දෙවියන්ට අනුමෝදන් කරන්න ඕන. ඒ වගේම මේ පින්වතුන්ගේ මිය ගිය ඥාතීන්ද ඇතුළු අවීචියේ සිට අකනිටා දක්වා යම්කිසි සත්ත්වයින් සිටිනවා නම් පින් අනුමෝදන් වෙන්න කැමති, ඒ හැම දෙනෙක්ම මේ කුසලය අනුමෝදන්වී උතුම් අමා මහ නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් මේ ගාථා කියල පින් දෙන්න. “එත්තාවතා ච අම්හේහි…….” 7 වන දේශනය චක්ඛුමා විසමානීව විජ්ජමානෙ පරක්කමෙ පණ්ඩිතො ජීවලොකස්මිං පාපානි පරිවජ්ජයෙ - සොණවග්ග, උදානපාළි* සැදැහැවත් පින්වත්නි, සම්බෝධි ඥානය ලබාගත්තට පස්සේ අපේ බුදු පියාණන් වහන්සේ බුද්ධ ඇසින් ලෝකය දිහා බලා වදාරනකොට කොට ඒ බුදු ඇසට මේ ලෝකය පෙනුනේ හරියට නෙළුම් පොකුණක්, මානෙල් පොකුණක්, වගෙයි. නෙළුම් පොකුණක, මානෙල් පොකුණක, සමහර මල් පොහොට්ටු වතුරෙම ගිලිලා වතුර යට වැඩෙමින් තියෙනවා. තවත් සමහර පොහොට්ටු වතුර මට්ටම හා සමව උඩට යම්තම් මතුවීගෙන වගේ වතුර මට්ටම හා සමව වැඩිලා තියෙනවා. තවත් සමහර පොහොට්ටු වතුරෙනුත් උඩට මතුවෙලා ඉර පායනකන් බලාගෙන ඉන්නවා වගේ, බලාපොරොත්තුවෙන් ඉන්නවා වගේ, උස්වෙලා සුදානම්ව තිබෙනවා. අන්න ඒ වගේ බුදු පියාණන් වහන්සේට ඒ උපමාව අනුව වැටහුනා මේ ලෝකයේ සත්ත්වයාගේ විවිධ බුද්ධි මට්ටම්. සමහර අය ඒ සාංසාරික බුද්ධිය බොහොම අඩු අය, ලෝකයෙහිම, ඇලිල ගැලිල ජීවත් වෙනවා. පරලොවක් ගැන හිතන්නෙ නෑ. නිවනක් ගැන, සසරදුක් කෙළවර කරගැනීමක් ගැන හිතන්නෙ නෑ. තවත් සමහර මනුෂ්‍යයින් ඉන්නවා, තවත් සමහර කොටසක් සිටිනවා, යම්තමින් මේවා ගැන අවබෝධයක් ඇතිකර ගන්න පුළුවන් විදිහට පරලොව ගැන සසර දුක ගැන ඉඳලහිටලවත් කල්පනා කරන්න පුළුවන් ශක්තිය ඇති අය. තවත් සමහර අය ඉන්නවා සංසාරයේ බොහොම කාලයක් භාවනා වඩල සිත දියුණු කරගත්තු අය. ඒ අය අන්න අර වතුරෙන් ඉස්සිලා තිබෙන, ඉර පායනකන් බලාගෙන ඉන්න, මල් පොහොට්ටු වගේ. ඒවා ඒ බුදු පියාණන් වහන්සේ නමැති ඒ සූර්යයාගේ - බුද්ධ සූර්යයාගේ - ධර්ම රශ්මිය වැටෙනවාත් එක්කම පුබුදු වෙනවා. ඒවාගේ මනුෂ්‍යයින්, ඒ වාගේ දියුණු වූ චිත්ත සන්තානයක්, භාවිත සන්තානයක් ඇති මනුෂ්‍යයින් බුදු පියාණන් වහන්සේගේ ධර්ම රශ්මිය වැටෙනවාත් එක්කම නෙළුම් මලක් මානෙල් මලක් පුබුදු වෙන්නා වගේ පුබුදු වෙනවා. ඒ අයට දහම් ඇස පහළ වෙනවා. ඇස ඇරෙනවා. *මෙම දෙසුම උදාන පාළිය ඇසුරෙන් පවත්වන ලද නමුදු කථා පුවත යම් යම් වෙනස්කම් සහිතව ධම්මපදට්ඨ කථාවේ බාලවග වණ්ණනාවේද එයි. බුදු පියාණන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයේ වැඩ වාසය කරන කාලයේදී එක දවසක් වීදියක් අසල මහ පිරිසකට බණ දේශනා කරමින් උන්නා. ඒ රජගහ නුවරම වාසය කළා සුප්පබුද්ධ කියලා ඉතාමත්ම දිළිඳු කුෂ්ට රෝගියෙක්. මේ මනුෂ්‍යයා එදා ආහාර සොයාගෙන යන ගමනේ මේ වීදියේ ඈතදීම දැක්කා මහ පිරිසක් එක් රැස්වෙලා ඉන්නවා. හිතුවා, “එකත් එකටම මෙතන නම් ආහාර ටිකක් බෙදන තැනක් වෙන්න ඕන. මාත් මේ පිරිස ළහට ගියොත් සමහරවිට කෑම ටිකක් සොයාගන්න පුළුවන් වෙයි” කියලා ඉක්මන් කරලා එතෙන්ට ආව. ළංවුනා. ඇවිල්ල බැලින්නං ඉන්න තේරුනා “මෙතන මේ කෑම බෙදන තැනක් නම් නෙවෙයි. ශ්‍රමණ භවත් ගෞතමයින් මෙතන මේ පිරිසකට ධර්මය දේශනා කරනවා. කමක් නෑ. මාත් බණ ටිකක්වත් අහන්න ඕන” කියල පැත්තකින් ඉඳගත්තා. අන්න ඒ අවස්ථාවේ ඒ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ ඒ මුළුමහත් පිරිසගේම සිත තමන්ගේ බුද්ධ ඥානයෙන් පරීක්ෂාකරලා, විමසලා, මෙනෙහි කරලා බැලුවා. මේ මහා පිරිස අතරේ මා දේශනා කරන ගැඹුරු ධර්මය, නිර්වාණ ධර්මය, තේරුම්ගන්න පුළුවන් කාටද කියල, වැඩිය හොඳටම තේරුම් ගන්න පුළුවන් කාටද කියල. ඒ බුද්ධ ඥානයට, බුදු ඇසට පෙනුනා. අර පිරිස කෙළවර ඉඳගෙන ඉන්න අර සුප්පබුද්ධ කුෂ්ට රෝගියා. මෙයාට තමයි, මොහුට තමයි, මා දේශනා කරන ධර්මය හොඳට ඉක්මනිතන්ම තේරුම් ගන්න පුළුවන්, වටහා ගන්න පුළුවන්, කියලා ඊළඟට බුදු පියාණන් වහන්සේ ඒ කුෂ්ට රෝගියාම අරමුණු කරගෙන, හරියට ඔහුට දේශනා කරන බණක් වගේ ඒ බුද්ධ දේශනා විලාසය අනුව ක්‍රමානුකූලව අර අනුපිළිවෙල කථාවෙන් ඒ ධම් දේශනාව ආරම්භ කළා. අනුපිළිවෙල කථාව කියල කියන්නේ, පින්වත්නි, බුදුපියාණන් වහන්සේ ධර්ම දේශනා කරනකොට - දැන් මේ අවස්ථාවේ මේ පින්වතුන් නම් සීලයක් එහෙම සමාදන්වෙලා ඉඳගත්තා - එහෙම අය නොවෙයි නොයෙකුත් තරාතිරමේ පුද්ගලයින් එනවා. ඒ අයගේ සිත සකස් කිරීමට, ගැඹුරු ධර්මයක් තේරුම් ගැනීමට ඕන කරන ආකාරයට සිත සකස් කිරීමට, එක්තරා දේශනා ක්‍රමයක්, දේශනා මාර්ගයක් බුදුපියාණන් වහන්සේ යොදා ගන්නවා. ඒකට “දාන කථා, සීල කථා, සග්ග කථා, කාමානං ආදීනවං ඕකාරං සංකිලෙසං, නෙක්කම්මේ ච ආනිසංසං පකාසේසි” කියල කියනවා. මෙය විදිහට දක්වනවා. ‘දාන කථා’ කියල කියන්නේ දන් දීම හොඳ ප්‍රතිපත්තියක්ය කියල, දන්දීම බොහොම ආනිසංස සම්පන්න ප්‍රතිපත්තියක්ය කියලා. දානයේ ආනිසංස, දානයට ප්‍රශංසා කිරීම් වශයෙන් දන්දීම පිළිබඳව පළමුවෙන් දේශනා කරනවා. ඊළඟට ‘සීල කථා’ කියල කියන්නේ ඒ දානයෙන් කරන වස්තු පරිත්‍යාගය වගේම කය වචනය හික්මවා ගැනීමෙන් කරන පරිත්‍යාගයත් බොහොම ආනිසංස සම්පන්නයි කියලා ශීලය පිළිබඳව ප්‍රකාශ කරනවා. ඊළඟට දන්දීම් සිල් සමාදන්වීම් ආදිය නිසා එහි ආනිසංස වශයෙන් දෙව්ලොව උපත ලැබිය හැකි බවත් එහෙම උපත ලැබූ අය පිළිබඳ ප්‍රවෘත්තිත් ‘සගග කථා’ කියන කොටසේ ඊළඟට ප්‍රකාශ කරනවා. ඒ විදිහට අර අසන කෙනාගේ සිත දිව්‍යලෝකයේ සැප සම්පත් පිළිබඳව යෙදිල තිබෙන අවස්ථාවේ, සතුටුවෙල තිබෙන අවස්ථාවේ, අන්න ඊළඟට බුදුපියාණන් වහන්සේ ඒ මනුෂ්‍ය ලෝකයේ වගේම දෙව් ලොවෙත් විඳින පස්කම් සැපතෙහි - පංචකාම සම්පත්තියෙහි - ඇති ආදීනව, ඒවායේ ඇති අනිෂ්ට පැත්ත, නරක පැත්ත, පෙන්නුම් කරනවා. - “ආදීනවං. ඕකාරං” - ඒවා බොහොම ලාමක දේවල්. පංචකාම සම්පත්තිය කියන එක තිරිසනුන්වත් පොදු එක්තරා පහත් විදිහේ, උසස් හැටියට සැලකිය නොහැකි විදිහේ, දෙයක් කියලා, ඒ විදිහට ප්‍රකාශ කරනවා. - ඕකාරං. ඊළඟට ‘සංකිලෙසං’ - ඒ පංචකාම සම්පත්තිය නිසා බොහොම දෙනෙක් නොමගට ගිහිල්ලා කෙලෙස් උපදවාගන්නා ආකාරයත්. ඔය විදිහට ‘ආදීනවං ඕකාරං සංකිලෙසං’. එහෙම ඒවා ගැන හිත යොමුඋනාට පස්සේ, ඔන්න ඊළඟට බුදුපියාණන් වහන්සේ ඒ වෙනුවට ප්‍රකාශ කරනවා ‘නෙක්කම්මේ ච ආනිසංස.’ ගිහිගෙන් නික්මීම - පැවිදිවීම - මේක ඉතාම වටින ශ්‍රේෂ්ට ප්‍රතිපත්තියි. මේක සසරින් නික්මීම - නිවන් දැකීම - සඳහා උපකාරවන ප්‍රතිපත්තියක් කියල පංචකාම සම්පත්තියෙන් වෙන්වීම ගිහිගෙයින් නික්මීම කියන ඒ උසස් ගුණධම් පිළිබඳව ඊළඟට වර්ණනා කරනවා, ප්‍රශංසා කරනවා. ඔන්න ඔය විදිහට දැන් බුදු පියාණන් වහන්සේ මේ අවස්ථාවේත් ඔය අනුපිළිවෙල කථාව කරගෙන යන අතරේ, අර නෙක්ඛම්මය - ගිහිගෙන් නික්මීම - පිළිබඳව එහෙමත් ප්‍රකාශ කරන අතරේ, ඔන්න බුදු පියාණන්වහන්සේ නිතරම බලාගෙන ඉන්නේ මේ සුප්පබුද්ධගේ හිත වැඩ කරන ආකාරයයි. ඔන්න බුදුපියාණන් වහන්සේට තේරුනා දැන් මේ සුප්පබුද්ධ කුෂ්ට රෝගියගේ සිත ගැඹුරු ධර්මයක් අහන්න තරම් සකස්වෙලයි - “කලල චිත්තං, මුදුචිත්තං” මෘදු වෙලයි, ‘විනීවරණ චිත්තං’ නීවරණධර්ම කියලා කියන සමාධියට බාධකවන කාමසිතිවිලි ද්වේශ සිතිවිලි, නිදිමත අලසගති නොසන්සුන් ගති සැක කුකුස් දෙගිඩියා ආදිය ඒවා ඉවත්වෙල සිත දැන් බොහොම - “උදග්ග චිත්තං පසන්න චිත්තං” කියන ආකාරයට - සිත දැන් බොහොම ප්‍රසන්න වෙලා පැහැදිලා ඊළඟට කියන එක බලාපොරොත්තුවෙන් වගේ සිටින අවස්ථාවකය දැන් සුප්පබුද්ධ ඉන්නේ කියල බුදුපියාණන් වහන්සේට වැටහුනා. අන්න ඒ අවස්ථාවේදී බුදුපියාණන් වහන්සේ අර බුදුවරයන් වහන්සේලා විසින්ම ලෝකයාට හඳුන්වා දෙන චතුරාර්ය සත්‍ය ධර්මය කියන ඒ ගැඹුරු දේශනාව දේශනා කළා, දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග, කියල කියන, මේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියල අපි මේ අල්ලගෙන ඉන්න මේ ගොඩවල් පහම, මේ මුලුමහත් සංසාර පැවැත්මම, දුකක්ය, මේකට හේතුව තණ්හාවය, මේ තණ්හාව කියන පිපාසය - මේ දැවිල්ල - මේක සංසිඳුවාගන්න අවස්ථාව තමයි මේ නිවීම. නිවීම තමයි උතුම්ම සැපත. මේකට ඇති මාර්ගය ආර්ය අෂ්ටාංශික මාර්ගයයි. සම්මා දිට්ඨී, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියල කියන මෙන්න මේ ආර්ය අෂ්ටාංශික මාර්ගයයි කියල බුදු පියාණන් වහන්සේ එහෙම චතුස්සත්‍යය ප්‍රකාශ කොට වදාළා. අන්න ඒ අවස්ථාවේදී - ’ ඒ උපමාව දෙනව - හරියට අර හොඳට හෝදලා පිරිසිදු කරපු වස්ත්‍රයකට හොඳට සායම් අල්ලන්නා වගේ අර සුප්පබුද්ධගේ සකස් උනු හිතට මේ චතුරාර්ය සත්‍ය ධර්මය හොඳින් වැටහිලා ඒ සිටිය ආසනයේදීම - “විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදි” කියල කියනවා - නිකෙල්ශී නිර්මල ධම් වක්ෂුසය කියල කියන දහම් ඇස පහළ උනයි කියන්නේ - සෝවාන් මාර්ගඥානයෙන් සෝවාන් එලය ප්‍රත්‍යක්ෂ කරගත්තා. එතකොට අන්න ඒ තත්ත්වය ලබාගත්තා. නමුත් මේ ලබාගත්කු බව වෙන කවුරුවත් දන්නෙ නෑ. බුදු පියාණන් වහන්සේ පමණයි දන්නෙ. ඒ අවස්ථාවේ එතකොට අන්න ඒ කුෂ්ට රෝගියාගේ විශාල වෙනසක්, ඇතුළත පරිවර්තනයක් සිද්ද වෙලා තියෙනවා. කොයිතරම්ද කියතොත්, මේ සුප්පබුද්ධ නිවන දුටුවා. ප්‍රථම මාර්ගඥානයෙන් නිවන දුටුවා. නිවීම දුටුවා ‘දිට්ඨ ධම්මො’. ‘පත්ත ධම්මො’ නිවනට පැමිණියා. ඒ වගේම මේවා පිළිබඳ, ධර්මය පිළිබඳ, සැක කුකුස් ඉවත්වෙලා, නිර්වාණ මාර්ගය පිළිබඳ සැක කුකුස් ඉවත්වෙලා, ඒ ප්‍රතිපදාවට වැටුනා. ඒ වගේම විශාරද ස්වභාවයට - මේ ශාසනයේ විශාරද බවට - පත්වුනා. ඒ ප්‍රථම මාර්ගඥානය ලෝකෝත්තර තත්ත්වයක්. එහෙම ලබාගෙන ඊළඟට ඒ ධර්මදේශනාව අවසන් උනහම මේ කුෂ්ට රෝගියා බුදුපියාණන් වහන්සේ ළහට ඇවිල්ල බුදුපියාණන් වහන්සේට ප්‍රශංසා වශයෙන් ප්‍රකාශ කරනවා “ඉතාමත්ම විශිෂ්ටයි ස්වාමීනි, විශිෂ්ටයි ස්වාමීනි, හරියට - ඊළඟට උපමාවක් දෙනවා - ’යම් සේ ස්වාමීනි යම්කිසි කෙනෙක් යටිකුරු කරල තිබුනු දෙයක් උඩුකුරු කර දක්වන්නේද වසල තිබුණු දෙයක් කඩවැසුම් ඉවත්කරල විවෘත කරල දක්වන්නේද, මංමුළාවූ කෙනෙකුට මාර්ගය ප්‍රකාශ කරන්නේ යම්සේද, ඇස් ඇත්තෝ රූප දකිත්වා කියල අඳුරෙහි තෙල් පන්දමක්, තෙල් පහනක් දල්වන්නේ, අල්වගෙන සිටින්නේ, යම්සේද අන්න ඒ ආකාරයට භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙකුත් විදිහට මට මේ ධර්මය දේශනා කළා. මම භාග්‍යවතුන් වහන්සේගේ සරණ යනවා ධර්මයේ සරණ යනවා. සංඝයාගේ සරණ යනවා. අද සිට දිවිහිමිකොට භාග්‍යවතුන් වහන්සේගේ උපාසකයෙක් හැටියට මා දරාගන්නාසේක්වා” කියල ඒ විදිහට ප්‍රීති වාක්‍යයක් ප්‍රකාශ කරල එතනින් නික්මිල ගියා. වැඩිදුර යන්න කලින්, වැඩි ඈතට යන්න කලින්, කුඩා වසුපැටියෙක් සිටින සැඬ එළදෙනක් මේ සුප්පබුද්ධ කුෂ්ට රෝගියාට ඇනලා මරුමුවට පත්කළා. මරණයට පත්කළා. සංඝයා වහන්සේලා මේ සිද්ධිය දැකලා බුදු පියාණන් වහන්සේ ළහට ඇවිල්ලා ප්‍රකාශ කරනවා “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, අර දැන් භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්ම කථාවකින් උත්සාහවත් කරපු ඒ කුෂ්ට රෝගියා. අන්න මැරිලා සිටිනවා. මේ තැනැත්තා කොහෙද උපන්නේ” කියල. එතකොට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශකරනවා “මහණෙනි මේ සුප්පබුද්ධ පණ්ඩිතයෙක්. සුප්පබුද්ධ පණ්ඩිතයෙක්. මා ප්‍රකාශ කළ ධර්මය අනුව පිළිපැදලා ඒ සසර බැඳි දහයෙන් තුනක්ම කඩල දලා - සතර අපායට නොයන්නාවූ ඒ වගේම මේ සසර තවත් ජාති 7ක්, උත්පත්ති 7ක්, පමණක් ලබන්නාවූ ඒ උතුම් සෝවාන් තත්ත්වයට - අර චක්‍රවර්ති රාජ්‍යයටත් වඩා උතුම් සෝවාන් තත්ත්වයට - පත්වුනා” කියල බුදු පියාණන් වහන්සේ ප්‍රකාශකළා. එහෙම පත්වෙලා දැන් මේ අවස්ථාවේ, මේ කථාකරන අවස්ථාවේ, ඒ සුප්පබුද්ධ කුෂ්ට රෝගියා තව්තිසා දෙව්ලොව ඉපදිලා ඒ අනිකුත් දෙවියන්ට වඩා පරිවාර සම්පත්තියෙන් ශරීර වර්ණයෙන් බැබලෙනවා. මොකද, මේ සුප්පබුද්ධ කුෂ්ට රෝගියා මේ ශාසනයේ සද්ධා, සීල, සුත, චාග, ප්‍රඥා කියල කියන ඒ ගුණධම් ඇතිකරගත්තා. මේ ශාසනයට ළං වෙලා. අර එක බණක් අහලාම ඒ බණ තුළින් මේ සුප්පබුද්ධ කුෂ්ට රෝගියා සද්ධාව, සීලය, සුත කියල කියන ධර්මඥානය, චාග කියල කියන පරිත්‍යාග ගුණය, ප්‍රඥාව කියල කියන ඒ නිර්වාණය අවබෝධ කරන ශක්තිය, වැටහීම් ශක්තිය, මෙන්න මේ විදිහෙ ගුණධම් පහක්ම සුප්පබුද්ධ ලබාගත්තා කියල සංඝයා වහන්සේලාට ප්‍රකාශකළා. එතකොට ඒවට තමයි ‘ආර්ය ධන’ කියල කියන්නේ. මේ ශාසනයේ ආර්යයන් වහන්සේලාට අයිති ධන පහක් සද්ධා, සීල, සුත, චාග, ප්‍රඥා කියන්නේ. ඔන්න ඔය විදිහට එහෙම ප්‍රකාශ කළා. එතකොට ඒ සංඝයාවහන්සේලා අතරින් එක සංඝයා වහන්සේ නමක් අහනවා, “භාග්‍යවතුන් වහන්ස එහෙම තත්ත්වයක් ලබාගත්ත මේ සුප්පබුද්ධ ඇයි කුෂ්ට රෝගියෙක් උනේ? ඇයි දිළින්දෙක් උනේ?” කියල. ඒ වගේ වාසනාවන්ත කෙනෙක් ඇයි මෙහෙම ආත්මෙක උත්පත්තිය ලැබුවේ. ඊළඟට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඔන්න ඒ අතීත කථාව. “මහණෙනි මේ සුප්පබුද්ධ කුෂ්ට රෝගියා අතීතයේදී, බොහොම ඈත අතීතයේදී, මේ රජගහ නුවරම සිටු පුත්‍රයෙක්ව සිටියා. මේ සිටුපුත්‍රයා දවසක් උයනට යන අතරේ, නගරෙන් පිටත්වෙලා උයනට යන අතරේ, සඛී කියල කියන පසේ බුදුරජාණන් වහන්සේ නගරයට ඇතුල්වෙනවා පිණ්ඩපාතය සඳහා. මේ පසේ බුදුරජාණන්වහන්සේ ඇදල හිටිය සිවුරු එහෙම දැකල මේ මානයෙන් මත්වුනු සිටුවරයා එක්තරා පිළිකුල් හැඟීමක් ඇතිකර ගත්තා. -” කවුද මේ කුෂ්ට රෝගියා. කුෂ්ට රෝගීන්ගේ වස්ත්‍රයක් පෙරවගෙන ඉන්නේ.” කියල ඒ විදිහට අපහාස විදිහට හිතලා ඒ පැත්තට කෙළ ගහලා ඊළඟට වම් උරහිස හරවාගෙන - කෙනෙකුට වම් උරහිස හරවල යනවා කියන එක අතීතයේ නිගරු වෙන දෙයක්, මොකද ‘පැදකුණු කරනවා’ කියලා කියන්නේ, ‘ප්‍රදක්ෂිණා කරනවා’ කියන්නේ දකුණු පැත්තට හැරිලා වටේට යාම - අන්න ඒ විදිහට නිගරුවෙන වචන කියල, කෙළ ගහල, උයනට නික්ම ගියා. ඊළඟට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඒ සුළු වෙලාව තුළ ඒ සිටුපුත්‍රයා කරගත්තු අකුශලයේ විපාකය. ධර්මයේ සඳහන් වන්නේ විපාක වශයෙන්. ‘බහුනි වස්සානි, බහුනි වස්සසතානි, බහුනි වස්ස සහස්සානි - බහුනි වස්ස සත සහස්සානි නිරයේ පච්චිත්‍වා’ කියල ඒ කරපු පාප කර්මය නිසා, ඒ සුළු වෙලාවක කරගත්තු පාපකර්මය නිසා, සුප්පබුද්ධ සිටුවරයා, බොහෝ වර්ෂ ගණනක්, බොහෝ වර්ෂ දහස් ගණනක්, බොහෝ වර්ෂ සිය දහස් ගණනක් නිරයේ පැසුනාය. එහෙම පැසිලා, එහෙම බරපතල දුක්විඳලා, ඒ විපාකයේ අවශේෂ වශයෙන් - ඉතිරි කොටස හැටියට, - මේ නගරයේම කුෂ්ට රෝගියෙක් හැටියට, - දිළින්දෙක් හැටියට උත්පත්තිය ලැබුවා කියල ඒ පාපකර්මයේ ඇති භයානක විපාක පක්ෂය ප්‍රකාශ කරලා, අපි අර කලින් ප්‍රකාශ කළ මාතෘකා හැටියට තබාගත්තු ඒ ගාථා ධම්ය වදාළා. චක්ඛුමා විසමානීව විජ්ජමානෙ පරක්කමෙ පණ්ඩිතො ජීවලොකස්මිං පාපානි පරිවජ්ජයෙ - කියල ‘චක්ඛුමා’ කියල කියන්නේ ඇස් ඇත්තා. ඇස් ඇත්තෙක් ‘විසමානි’ කියල කියන්නේ වල ගොඩැලි තැන් - කටු ලැහැබ් ඇති, කටුසහිත වලගොඩැලි තුන් ආදියට විසම කියල කියනවා. එතකොට ඇස් ඇත්තෙක් පොළොවේ විසම තැන් මගහැරලා යන්න වගේ “චක්ඛුමා විසමානීව - විස්මානෙ පරක්කමෙ” ඒ විෂම තැන්, පොළොවේ වලගොඩැලි තැන්, මගහැරලා යාමට තරම් ශක්තිය පරාක්‍රමය ඇති කල්හි, ඒකට පුළුවන්කම තිබෙද්දි, ඇස් ඇති පුද්ගලයෙක් තමන්ට පුළුවන්කම තිබෙනවා නම්, ඇස් පේනවා නම්, ශක්තිය තිබෙනවා නම්, ඒ වලගොඩැලි තැන් කටු ලැහැබ් මගහැරලයි යන්නේ. අන්න ඒකයි මෙතන මේ ප්‍රකාශ කරන්නේ. ඒ විදිහට මේ උපමාව දක්වලා “පණ්ඩිතො ජීව ලෝකස්මිං - පාපානි පරිවජ්ජයේ” අන්න ඒ වගේම පණ්ඩිතයා - නියම පණ්ඩිතයා, නියම ඥානවන්තයා, - මොකද්ද කරන්නේ, මේ ජීව ලෝකයෙහි, මේ මනුෂ්‍ය ලෝකයෙහි, ඒ පාපකම් කියන ජාතිය දුරින්ම දුරලන්නේය කියල ඒ විදිහට උපදේශාත්මක ගාථාවක් ඒ අවස්ථාවේදී බුදුපියාණන් වහන්සේ වදාළා. එතකොට අපි මේ ගාථාවෙනුත්, ඒ වගේම මේ කථාන්තරයෙනුත්, අපේ ජීවිතයට ගතහැකි පාඩම් ගැන කල්පනා කරල බලමු. දැන් මේ සුප්පබුද්ධ කුෂ්ට රෝගියා පිළිබද මේ වර්ත්මාන කථාවෙනුත් - ඒකෙන්මත් අපට හුඟක් ආදර්ශ ගන්න පුළුවන්. දැන් අර ඒ සුප්පබුද්ධ බුදුපියාණන් වහන්සේ ධර්මය දේශනා කරන තැනට පැමිණියේ ආහාර සොයායන ගමනේ පිරිසක් දැකලා එතෙන්ට කිට්ටුවුනා. මෙතන සමහරවිට කන්න දෙයක් ලබාගන්න පුළුවන් කියල. ළහට කිට්ටු උනාට පස්සේ මෙතන බණ කියන තැනක් කියල දැක්කාම, දැන් ඔය මේ කාලේ භෞතික දෘෂ්ටිය ගත්තු සමහර අය කියන්තා වගේ ‘බණ කන්නටද?’ කියල නිග්‍රහකරල හැරුනේ නෑ. ඒ වෙනුවට මොකද කළේ ‘මමත් බණ ටිකක් අහන්ට ඕන’ කියල ඉදගත්තා. එතකොට එතන ඒ අවස්ථාවේ ඒ තැනැත්තගේ හිතේ ඇති උනේ මොකක්ද කියල අපිට හිතාගන්න පුළුවන්. පරිත්‍යාගය. අතහැරීම. දැන් මේ පින්වතුනුත් ඔය දන්දීම් පිංඩපාතෙ බෙදීම් ආදිය කරනවා. ඒ හැම එකකින්ම බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ පරිත්‍යාගයයි. අතහැරීමයි. එතකොට දැන් මේ අවස්ථාවේත් අර ආහාර හොයාගෙන යන්න තිබුනා ආපසු හැරිලා. ඒ වෙනුවට ආහාර නැතිවට කමක් නෑ, මම බණ ටිකක්වත් අහන්ට ඕන කියල ඉඳගත්තා. අන්න ඒ පරිත්‍යාගයේ ආනිසංස කොයිතරම්ද කියතොත් අර චක්‍රවර්ති රාජ්‍යයටත් වඩා උතුම් වූ ඒ සෝවාන්ඵලය ලබා ගන්න පුළුවන් උනා. මරණින් මතු දිව්‍යලෝක උත්පත්තියක් ලබාගන්න පුළුවන් උනා. මේ සෝවාන්ඵලය කියල කියන්නේ එතකොට සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරහත් කියල කියන ඒ නිර්වාණ මාර්ගයේ පළමුවෙනි පියවරයි. ඒ තත්ත්වය ලබාගත්තා, සසරදුක් ජීවිත හතකට පමණක් ඉතිරි කරල ඔක්කොම නැතිකරගත්තා. සතර අපායට තවත් යන්නෙ නෑ. අන්න ඒ විදිහේ උතුම් තත්ත්වයක් ලබාගත්තා. ඒ සුප්පබුද්ධ කුෂ්ට රෝගියා. අර විදිහේ හිත පිළිබඳව කරන ලද පරිත්‍යාගයෙන්. ඊළඟට අපි කල්පනා කරල බලමු මේ බුදුපියාණන් වහන්සේගේ ධර්ම දේශනා ක්‍රමය ගැන. බුදුපියාණන් වහන්සේ නිතරම පිරිසේ සිත සකස්වුනු, ඒ සාංසාරික බුද්ධිය දියුණු කරගත්තු, කෙනා අරමුණු කරගෙනයි ධර්මය දේශනා කරන්නේ. දැන් මෙතනින් අපට පේනවා පිරිසක් කෙළවරක සිටිය පමණින් බුදුපියාණන් වහන්සේ ඒ තැනැත්තා ‘කොන්’ කරන්නෙ නෑ. රජවරුන්, රජ කුමාරවරුන්, සිටුවරුන්, මහා ධනවතුන්, කුලවතුන්, උගතුන්, පණ්ඩිතයින් - ලෝක පණ්ඩිතයින් - සිටින්න පුළුවන් මහ පිරිසේ. නමුත් බුදු පියාණන් වහන්සේ ඒ අයට නෙවෙයි ධර්මය දේශනා කරන්නේ. අර සාංසාරික බුද්ධි මට්ටමින් දියුණු තැනැත්තාටයි. එතකොට මේ ගැන අපට කල්පනා කරනකොට බොහොම ගැඹුරු අවබෝධයක් ලබාගන්න පුළුවන්. දැන් සමාජය සාමාන්‍යයෙන් ලෝකය දිහා බලන ඇසින් නොවෙයි බුදු පියාණන් වහන්සේ බලන්නේ. අපි අර පියුම් පොකුණක, මානෙල් පොකුණක තත්ත්වය ගැන කිව්වා වගේ දැන් මෙතන හිතනවනම් සමහර මල්පොහොට්ටු තියෙන්ට පුළුවන් කොළ අස්සේ සැඟවිලා. අන්න ඒ වගේ සමහර පුද්ගලයින් සිටින්න පුළුවන් මෙලොව යම්කිසි බරපතල පාපකර්මයක් නිසා දුගීව, දිළිඳුව කුෂ්ට රෝගීව තවත් නොයෙකුත් ආපදා සහිතව උත්පත්තිය ලැබුවා. නමුත් ඒ තැනැත්තා තුළ නිර්වාණය අවබෝධ කරන්නට පුළුවන් ශක්තියක් තියෙන්නට පුළුවන්. අතීත සංසාරයේ භාවනා වඩල තියෙන්නට පුළුවන්. මේක කෙනෙකුට බොහොම ලොකු ධෛර්යයක් මේ ධර්මයට හැරෙන්නට. එතකොට කිසිම කෙනෙක් ‘කොන්’ කරන්න බෑ. සමහරවිට මේ පිරිසෙම උනත් ඉන්න පුළුවන් ඒ විදිහෙ දුරී දිළිඳු තත්ත්වයේ, “අපට නම් මේ ධර්ම මාර්ගයේ යන්ට බෑ. බණ අහල මේවා කරන්ට බෑ” කියල හිතන අය. නමුත් මේ සුප්පබුද්ධ කුෂ්ට රෝගියාගේ කථාවෙන් ආදර්ශයක් ගන්ට පුළුවන්. ඔන්න සමහර විට ඒ තමන් එහෙම හිතුවට මොකද අර විදිහෙ අර - බුද්ධ සූර්යයාගේ රශ්මිය - ධර්ම රශ්මිය වැටෙනවත් එක්ක පිපෙන නෙළුම්මල් වගේ අය වෙන්නත් පුළුවන්. ඔන්න ඔය ගැන එතකොට අපිට ඒ තුළිනුත් වටිනා ආදර්ශයක් ගන්න පුළුවන්. ඊළඟට බුදු පියාණන්වහන්සේ ධර්මය දේශනා කරහම ඒ සුප්පබුද්ධ දහම් ඇස පහළ කරගත්තු ආකාරය - එතන සඳහන් වෙන්නේ “යං කිඤ්චි සමුදය ධම්මං - සබ්බං තං නිරෝධ ධම්මං” කියල. අන්න ඒ ගැඹුරු ධර්මය - සමහර විට පොතපතින් ඔය පටිච්ච සමුප්පාදය එහෙම ඉගෙන ගත්තා බොහොම දෙනෙක් උත්සාහවත් වෙනවා. පටිච්ච සමුප්පාදය කියල කියන්නේ ගැඹුරු ධම්යක්. ඒ ගැඹුරු ධම්යේ මූලික න්‍යායයි මෙතන මේ සුප්පබුද්ධ කුෂ්ට රෝගියා අර එක බණක් අහල තේරුම්ගත්තේ. එහි අදහස මොකක්ද? “යම්කිසි දෙයක් හටගන්නා ස්වභාවය ඇත්තේවීද ඒ හැම දෙයක්ම නිරුද්ධ වෙන ස්වභාවයද ඇත්තේය” කියන එකයි. ඒ කියන්නේ අනිත්‍යතාව හොඳට අවබෝධ කරගත්තා. ලෝකයේ හැම දෙයක්ම ඇතිවෙන නැතිවෙන ස්වභාවයෙන් යුක්තයි කියන එක. මෙතන හැම දෙයක්ම කියල කියන්නේ මෙන්න මේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියල කියන මේ අපි අල්ලගෙන ඉන්න ගොඩවල් පහයි. මේ රූප ගොඩක්. මේ මෙතන ‘රූපස්කන්ධය’ කියල කියන්නේ රූප ගොඩක්. අපි මේ එක රූපයක් කියල ගන්නවා. ඝන සංඥාවෙන් එකක් හැටියට ගන්නවා. ‘මමය’ ‘මාගේය’ කියල බැඳගැනීම නිසා ලෝකයා රූපය ‘මගේ රූපයයි’ කියල මේක හැඩවැඩ කරගන්න උත්සාහ කරනවා. වේදනාවක් ආවම ‘මගේ වේදනාවයි’ සංඥාව කියල කියන්නේ හැඳීනීම. මේ ‘මා හඳුනාගන්නා දෙයයි’ කියල එහෙම හිතාගන්නවා. සංස්කාර, චේතනා, බලාපොරොත්තු ආදිය ඒවත් එකක් හැටියටයි බොහෝවිට සළකන්නේ. ඊළඟට විඤ්ඤාණය. ‘මගේ සිත’ කියල කිව්වහම එක සිතක් කියල හිතනවා. මෙන්න මේවා රාශියක්. ඇත්ත වශයෙන්ම ඒ ඝන සංඥාවෙන් ලෝකයා එකක් හැටියට ගත්තට මොකද, මේ එක එකක් තුළම තිබෙනවා මහා රාශියක්. ඒක නිසා තමයි බුදු පියාණන් වහන්සේ එක තැනක අර උපමා දක්වල තිබෙන්නේ - බොහොම ගැඹුරු උපමාවල්. හිතන්න හිතන්න ඒ එකකින්ම පුළුවන් නිවන් දකින්න කියල. මේ රූපස්කන්ධය, මේ රූපය කියල කියන එක, පඨවි ආපෝ තේජෝ වායෝ කියල කියන මේ ලෝකේ හැම දෙයක්ම සකස්වෙල තියෙන ධාතුවලින් සකස්වෙච්ච දෙයක්. ඊළඟට මේක උපමා කරනවා බුදු පියාණන් වහන්සේ හරියට පෙණ පිඬකට. ඔය දොලපාරක් ගලාගෙන යනකොට කොටයක් එහෙම හිරවෙලා තියෙනවා නම් එතන ටික ටික එකතු වෙලා පෙණ හැදෙනවා. මේ පෙණ පිඬ කියන එක, ඒක දිහා බැලුවහම පෙනෙනවා හැම මොහොතකම වෙනස් වෙනවා. ඇතිවෙනවා. නැතිවෙනවා. ඇතිවෙනවා නැතිවෙනවා. ඒ වගේම මේ ශරීර කුඩුවත් හැදිලා තිබෙන්නේ කිරිපෙණ වලින්, බත්පෙණ වලින්, කැඳපෙණ වලින්. මේ විදිහට දවස මුල්ලෙලේම ආහාර ගත්තහම ආහාරය පැසවල මේවායින් තමයි මේ ශරීර කුඩුව හැදෙන්නේ. - අපි මේ ශරීරය කියල කියන එක. ඔන්න ඔය විදිහට පෙණ පිඬ කියන එක ගැඹුරින් කල්පනා කරල බලන්න පුළුවන්. ඒවගේම වේදනාව - ඊළඟට බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ වේදනාව හරියට දිය බුබුලක් වගේ කියලා. දැන් තදට වහින වෙලාවේ ඔය වහලෙන් එහෙම වතුර වැක්කෙරෙනකොට දිය බුබුල් හැදිලා එක මොහොතකින්, ඒ ක්ෂණයෙන්ම, ඒව නැතිවෙලා යනවා. වැඩිවෙලා තියෙන්නෙ නෑ. බොහොම සුළු වෙලාවයි. වැස්ස වැටෙන කොට අර පොඩි පොඩියට ලස්සන දියබුබුලක් හැදෙනවා. ඒක එවෙලෙම වහාම බිඳිල යනවා. අන්න ඔය වගෙයි වේදනාව කියන එකත්. අපි මේ එකක් කියල ගත්කට ඒකත් පුපුරු ගහන්න වගේ - ඒකත් රාශියක් කියන එකයි. ඒ අවබෝධයයි. ඊළඟට සංඥාව කියල කියන්නේ හැඳිනීම. හැඳිනීම බුදුපියාණන් වහන්සේ උපමා කරනවා මිරිඟුවකට. මිරිඟුව කියන එක මේ පින්වතුන් දන්නවා දැන් ඔය පායන කාලේ පාරක, එහෙම නැත්නම් තැනිතලාවක එහෙම දකින්ට ලැබෙනවා ඈත වතුර ගලන්නා වගේ. ඒ වාෂ්ප වගේ උඩට ග්‍රීෂ්මය නිසා යම්කිසි සසල වෙන, වංචල වෙන දෙයක් පේනවා ඈතට. ඒකට මිරිඟුව කියල කියන්නේ, මුවන් රැවටෙනවා ඒකට වතුරෙයි කියල. එහෙම හිතාගෙන, ඒ වතුර තියෙනවා කියලා හිතාගෙන දුවනවා. දුවන්න දුවන්න ඒ මිරිඟුව ඈත්වෙනවා. අන්න එහෙම දෙයක් කියල බුදු පියාණන් වහන්සේ හඳුන්වනවා මේ සංඥාව, හැඳීනීම. අපි අන්න අහවලා හැඳිනගත්තා. අරයම තමයි වෙන කෙනෙක් නොවෙයි කියල අපි කියනවා. ඊළඟට ඈත තියෙන දෙයක්, මෙතෙන්ට පේන්ට පුළුවන් යම්කිසි කන්දක එහෙම හොඳ දර්ශනයක්. බොහොම ලස්සනයි කියල ඕනනම් අපි ඒකෙ ජායාරූපෙකුත් අරගෙන ඊළඟට තව ඒ දර්ශනය බලන්ට අපි හිතමු එතෙන්ට ගියා කියල. එතෙන්ට ගියාට පස්සේ ඒ දර්ශනය නෑ. ආපසු හැරිල බලනකොට සමහරවිට මේ පැත්තෙයි ඒ හොඳ ලස්සන දර්ශනය තියෙන්නේ. ඔන්න ඔය විදියෙ මෙතන සංඥාව කියන එකත් තට්ටු තට්ටු. බැලුවහම මෙතනත් ගන්න දෙයක් නෑ. ඊළඟට සංස්කාර කියල කියන අපේ මේ චේතනාවල් බලාපොරොත්තු සිතිවිලි කියන මේ හැම එකක්ම - මේවාත් හරියට බුදුපියාණන් වහන්සේ දක්වා වදලා උපමාවකින් - කෙසෙල් කඳක් වගේ. අරටුවක් නෑ. සාරයක් නෑ. හරයක් නෑ. කෙසෙල් කඳක වගේ පතුරු ගොඩක් මෙතන තියෙන්න. පතුරු ගොඩක් බව පේන්නේ නෑ. අන්න ඒ විදියට සංස්කාර කියල කියනවා. අපි මේ ඇතිකරගන්නා චේතනා බලාපොරොත්තු ආදියත් ඒ විදියයි. ඊළඟට විඤ්ඤාණය කියල, ‘මගේ හිතෙයි’ කියල, අපි මේ කියන සිත. මේකත් එකක් නොවෙයි. ඉතාම ශීඝ්‍රයෙන් ඇතිව නැතිවෙන දෙයක්. ඒ වගේම මේවායින් පෙන්නුම් කරන දේ. මේ හිතට නොයෙකුත් දේවල් - දේවල් හැටියට එකකින් අනෙක වෙන්කරල දක්වනවා. නමුත් මේ එකත්, අනිකත්, මේ දෙකම ඇතිව නැතිවන ස්වභාවයෙන් යුක්තයි. මේක මේ මවාපෑම් ගොඩක් විතරයි. ඒක බුදුපියාණන් වහන්සේ උපමා කරන්නේ මායාකාරයෙක් විජ්ජා කාරයෙක් ඇස් බැන්දුම්වලින් පෙන්නුම්කරන දෙයකට. නැති දෙයක් ඇති හැටියට මවා පෙන්වනවා. අන්න එහෙම මේ අපේ සිතට යම්යම් දේවල් මවා පෙන්වනවා කියලා, මවා පෙන්වන ස්වභාවයක් තියෙනවා කියලා. ලෝකයාට මේක කිව්ව හැටියේ එකපාරට වැටහෙන්නේ නෑ. වටහාගන්න කැමතිත් නෑ. නමුත් සංසාරයේ දීර්ඝ කාලයක් අනිත්‍ය දුඃඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය ඔස්සේ ගැඹුරින් කල්පනා කරපු කෙනාට මේවා ගැන හිතනකොට වඩවඩා ගැඹුරට තේරෙනවා. ඒ විනිවිද දැකීමයි ප්‍රඥාව කියල කියන්නේ, ලෝකයේ තත්වය - එතකොට මෙන්න මෙතන මේ කියන්නේ අර සුප්පබුද්ධ කුෂ්ට රෝගියා බුදුපියාණන් වහන්සේගේ ඒ දේශනාව තුළින් තේරුම්ගත්තා පටිච්ච සමුප්පාදය කියල කියන හේතුප්‍රත්‍යයන්ගෙන් මේ ලෝකයේ මේ හැම දෙයක්ම ඇතිවෙන බව. ‘යම්කිසි දෙයක ඇතිවන ස්වභාවය ඇත්තම් ඒ හැම දෙයකම නැතිවන ස්වභාවයද ඇත්තේය’, කියන කාරණය. අන්න එතකොට ඒකට උපකාරවන දෙය තමයි මේ පංචස්කන්ධය - මේ පංචඋපාදානස්කන්ධය කියල කියන මේ අල්ලගෙන සිටින ගොඩවල් පහ. ‘මමය’ ‘මාගේය’ කියල අල්ලගෙන ඉන්නේ එක්කො රූපය, එක්කො වේදනාව, එක්කො සංඥාව, එක්කො සංස්කාර කියන ටික, එහෙම නැත්නම් විඤ්ඤාණය. මේ එක එකක් පාසා ‘මමය’, ‘මමය’ කියල ලේබලයක් දාගෙන ඉන්නවා. මේකේ තත්ත්වය - යථාතත්ත්වය - තේරුම්ගත්තු අවස්ථාවේ තමයි, පින්වත්නි, අර ලෝකෝත්තර මාර්ගඥානයෙන් උතුම් සෝවාන් එලය ආදිය ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් වෙන්නේ. අන්න ඒක නිසා මේවා ගැන මේ කථාන්තරය තුළින් අපට හිතාගන්න පුළුවන් අපි අපිත් සංසාරයේ භාවනා වඩල ඇති යම්කිසි ප්‍රමාණයක්. මේවා මතුකරගන්න උත්සාහවත් වෙන්න ඕන, මේවා හැංගිලා තියෙන්න පුළුවන් කියල. එතකොට ඒ විදියට ඒ වර්තමාන කථාවෙන් අපට හුඟක් කාරණ ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම අර ධන පහ ගැන හිතල බලනකොට - සද්ධා, සීල, සුත, චාග, ප්‍රඥා කියන ඒවා ඒක දේශනාවක් තුළින්ම - දැන් මේ ධර්මයක් අසන කොට කෙනෙක් ඒක තුළින් ශ්‍රද්ධාව ඇතිකර ගන්නවා. කුඥුරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇතිකර ගන්නවා. ඊළඟට ශීලයෙහි ආනිසංස ප්‍රකාශ කරනකොට ශීලය. ඒක බුදුපියාණන් වහන්සේ එතන දක්වන්නේ සමාදන් කරනවා වගේ. ඒ ඇත්තවශයෙන්ම බුද්ධකාලේදී බුදු පියාණන් වහන්සේ අනුපිළිවෙල කථාවෙන් ධර්මය දේශනාකරන කොට හිතෙන්ම සමාදන්උනා. අමුතුවෙන්ම මේ සිල් ඉල්ලල සමාදන්වීමක් නැතත් “මේක කොයිතරම් හොඳ ප්‍රතිපත්තියක්ද අද ඉඳල මම මේ ප්‍රතිපත්තිය රකිනවා” කියලා හිතෙන්ම සමාදන් වෙනවා. ඒකයි. ශ්‍රද්ධාව ඇතිකර ගන්නවා. ශීලය ඇතිකර ගන්නවා. ඊළඟට ‘සුත’ කියල කියන්නේ මේ ධර්මය හොඳට දරාගන්නවා, හොඳට හිතේ දරාගන්නවා. ඊළඟට ධම්ය තේරුම් ගන්නකොට අවබෝධ වෙනවා නියම වශයෙන්ම කලයුත්තේ මේ හැම දෙයක්ම අතහැරීමයි කියන එක - පරිත්‍යාගයයි. ඒ පරිත්‍යාගය තුළින් තමයි ප්‍රඥාව කියල කියන අවබෝධය එන්නේ. සාමාන්‍යයෙන් ලෝකයේ දැනුම කියන එක නම් ගොඩගහගන්න එකක්. එකතුකර ගත්තා එකක්. එකතුකරගෙන තව නොයෙකුත් තනතුරු උපාධි ආදිය ලබා ගැනීමයි ලෝකයේ දැනුම කියන එකෙන් බලාපොරොත්තු වෙන්නේ. නමුත් පින්වත්නි ප්‍රඥාව කියන එක දක්වන්නේ විනිවිද දැකීමේ ශක්තියක් හැටියට, වැටහීමේ ශක්තියක් හැටියට. ලෝකයේ වැහිල තිබෙන දේ විවෘතවෙලා පේන, එහෙම නැත්තම් ඒ හැංගිලා තිබෙන දේ හොඳට තමන්ගේ ඇසට පේන විදියට දහම් ඇසක් මතුකර ගැනීමයි. ප්‍රඥා ඇසක් මතුකර ගැනීමයි. ඔය විදියේ ගුණ ධර්මවල ආනිසංස පක්ෂයත් අපට හිතාගන්න පුළුවන්. ඒ හොඳ පැත්ත. ඊළඟට කල්පනාකරල බලනකොට අර බුදුපියාණන් වහන්සේ විශේෂයෙන්ම මෙතන ප්‍රකාශ කළ අතීත ප්‍රවෘත්තිය ගැන - ගාථාවටත් බොහෝදුරට සම්බන්ධයි. - මේ හැම කෙනෙකුටම විශාල බයක් ඇතිකර ගන්න පුළුවන්. සංසාරයේ - මේ ජීවිතයේ - අපි නොදැනුවත්ව කොයිතරම් බරපතල අකුසල් කරගන්න පුළුවන්ද කියලා. දැන් පින්වත්නි අර සුප්පබුද්ධ අතීතයේ සිටු පුත්‍රයෙක් වෙලා, අර සුළු මොහොතක සිත දූෂ්‍ය කරගෙන, හිත කිලිටි කරගෙන, කෙළ ටිකක් ගහල නිගරු කළේ කාටද? අර කිලිටි සිවුරක් ඇදගෙන ආවට මොකද වනාත්තරවල ඒ කාලේ, බුද්ධවරුන් පහළ වෙන්න කලින්, පසේ බුද්ධවරු කියල උතුම් කොටසක් ඇති වෙනවා. ඒ අය ස්වෝත්සාහයෙන්ම එක්තරා බුද්ධ තත්ත්වයක් ලබාගන්නවා. අනිත් අය නිවන් දක්වන්න බැ. නමුත් ‘පච්චේකබුද්ධ’ කියල කියනවා - පසේබුදු. බුදු, පසේබුදු, රහත් - ලෝකයේ ඉන්න ශ්‍රේෂ්ඨම පුද්ගලයින් තුන්දෙනා. එතකොට ලෝකයේ උතුම් වස්තුන්ට නිගරු කිරීම ඉතාම බරපතල විපාක ගෙනදෙන පාපකර්මයක්. ඒකට කියනවා ‘ආර්යෝපවාදී කර්මය’ කියල. ආර්යන් වහන්සේලාට කරන ලද නිග්‍රහය. බුදු පසේබුදු රහත් සෝවාන් ආදී මාර්ගඵල ලැබූ අයට ඒ විදියට නිගරු කිරීම, බැණීම, ඒවා දක්වනවා ආර්යෝපවාදී කර්ම කියල. බරපතල පාපකර්මයක්. ඒක නිසා තමයි අර බොහෝ වර්ෂ ගණනක්, බොහෝ වර්ෂ සිය ගණනක්, බොහෝ වර්ෂ දහස් ගණනක්, බොහෝ වර්ෂ සිය දහස් ගණනක් නිරයේ පැසුනේ. අන්න ඒ විදියට ඒ ගැන කල්පනා කරල බලනකොට මෙන්න මේවා තමයි ලෝකයේ විෂමතැන්, වල - ගොඩැලි තැන්. මේවායින් පරිස්සම් වෙන්න ඕන, ඇස තිබෙනවා නම් - ඇස කියල කියන්නේ මෙතන - සම්‍යක් දෘෂ්ටියි. හරි දැක්මයි. කෙනෙකුට හරි දැක්ම තිබීමේ වටිනාකම එයින් පෙනෙනවා. සාමාන්‍ය ලෝකයා අන්ධයි. “අන්ධභූතො අයං ලෝකො - තනුකෙත්ථ විපස්සති” කියල බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරල කිබෙනවා. මේ මුළු මහත් ලෝකයම අන්ධයි. බොහොම ටික දෙනාටයි විදර්ශනා වශයෙන් වැටහෙන්නේ කියල බුදු පියාණන් වහන්සේ දක්වල තියෙනවා. ඒක නිසා ලෝකයා මේ ඇස තියෙනවා කියල හිතනවා. මේ පෙනෙන මසැස වැඩිකරගන්න කන්නාඩි ගන්නවා. නමුත් පින්වත්නි ලෝකයා අන්ධයි කියල බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරල තිබෙනවා. එතකොට අන්ධකම දුරුකර ගන්න නම් - එක්තරා ප්‍රමාණයකට අන්ධකම දුරුවෙනවා හොඳ නරක වටහා ගත්තහම. කලු - සුදු වටහා ගත්තහම. පිං පව් අවබෝධ කරගත්තහම - ධම්ය අහල. ඊළඟට ඊටත් වඩා ගැඹුරු දේ තමයි දැන් මේ සුප්පබුද්ධ කුෂ්ට රෝගියා කළේ. අර පටිච්ච සමුප්පාද ධම්යේ ඒ උතුම් මූලික න්‍යායය අවබෝධ කරගෙන, චතුරාර්ය සත්‍යය අවබෝධ කරගෙන, ප්‍රඥා ඇස - දහම් ඇස - පහළ කර ගත්තා. ඒකට කියනවා ධම් චක්ෂුසය කියල. දහම් ඇස කියල කියනවා, - සෝවාන් මාර්ගඥානය, - ඒ ඇස පහළකර ගත්තහම සතර අපායෙම දොර වැහෙනවා. ඒක රීට වඩා විශාල ලාභයක්. හිතාගන්න බැරිතරම් විශාල ලාභයක්. එතකොට සාමාන්‍ය ලෝකයේ මේ විෂම තැන්වලින් පරිස්සම්වෙන්න ඕන - මේ වළගොඩැලි වලින්. ගමන් බිමන් වලදී නම් මේවායේ වැටිල තුවාල වන එක සුළු දෙයක්. නමුත් මේ සංසාරයේ මේ විදියට හිත දූෂ්‍ය කරගෙන, වචනය නරක් කරගෙන, ක්‍රියාව නරක් කරගෙන වැටුනොත්, ඒකට බරපතල විපාක කල්ප ගණන් විඳින්ට සිද්ධවෙනවා. අන්න ඒක තමයි මෙතන අපට මේ අතීත කථාවෙන් ගතහැකි පාඩම. . ඒ වගේම මාන්නය කියන එක බොහොම දෙනෙක් ඇතිකර ගන්නවා තමන්ගේ ධනය ගැන, නිලය ගැන, බලය ගැන. මේවා ගැන මාන්නයක් ඇතිකරගෙන ලෝකය දිහා බලනවා. දැන් මේ පිරිසත් අතරට අපි හිතමු හිඟන්නෙක් ආවා කියල, අර සුප්පබුද්ධ කුෂ්ට රෝගියා වගේ. සමහරවිට නාහේ වහගනියි කෙනෙක්, තවත් සමහර කෙනෙක් ඇස් නරක්‌ කරලා බලාවි, ඒ තැනැත්තා දිහා - යන්නෙයි කියලා කියන්න බැරිනම්. නමුත් දන්නෙ නැති වුනත් සමහරවිට මේ තැනැත්තා තුළ තිබෙන්න පුළුවන් නිවන් අවබෝධ කරන ශක්තිය. අන්න ඒ විදියේ දෙයක්. එතකොට අර සුප්පබුද්ධ කුෂ්ට රෝගියා අතීත ජීවිතයේදී ඒ වැරද්ද කළා. නමුත් මේ ජීවිතයේදී ඒ වැරද්ද කළේ නෑ. ඒ වෙනුවට හරියට පාඩම ඉගෙනගත්තා වගේ අර අවස්ථාවේ බණට නිගරු කරන්නෙ නැතිව, ‘බණ කන්නටද?’ කියල කියන්නේ නැතුව එතනම ඉදගෙන බණ අහන්න පටන් ගත්තා. ඒ කරපු පරිත්‍යාගය කොයි විදියේ දෙයක්ද කියල අපි හිතල බලමු. දැන් මේ ගාථාවේ බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. “චක්ඛුමා විසමානීව - විස්මානෙ පරක්කමෙ” කියල. ‘පරාක්‍රමය’ කියන එක තිබෙන කල්හි, - පරාක්‍රමය කියන එක - මේක, අහනකොට සමහර කෙනෙක් හිතන්න පුළුවන් මේක අර පරාක්‍රමබාහු රජ්ජුරුවන්ට වගේ අයට විතරක් තියෙන දෙයක් කියල. නමුත් පින්වත්නි බුදු පියාණන්වහන්සේ ප්‍රකාශ කරනවා මේ දුගී හෝ මගී හෝ දුප්පත් හෝ පොහොසත් හෝ උගත් හෝ නූගත් හෝ හැම කෙනෙකු තුළම තිබෙනවා ශක්ති තුනක්. ඒ ශක්ති තුන බුදු පියාණන්වහන්සේ දක්වන්නේ ‘ආරම්භ ධාතු’, ‘නික්ඛම ධාතු’ ‘පරක්කම ධාතු’ කියල. මෙතන ධාතු කියල කියන්නේ අර මුලධර්ම කියන එකයි. ‘ආරම්භ ධාතු’ කියල කියන්නේ පින්වත්නි, අපි හැම කෙනෙකුටම තිබෙනවා යම්කිසි දෙයක් අලුතින් ආරම්භ කරන්න ශක්තියක්. කුඩා දරුවෙකුට පවා තිබෙනවා. දැන් ඔය මවු පියන් එන්න කලින් ඔය කුඩා දරුවන් ඒව මේව හදන්නේ. ඒ ආරම්භක ශක්තිය. අලුත් දෙයක් නිපදවන්න පුළුවන්කම. ඒ විදියේ ආරම්භ ධාතුවක් තිබෙනවා. ඊළඟට ‘නික්කම ධාතු’ කියල කියන්නේ, එහෙම ආරම්භයක් කරල ඒක දිගටම කරගෙන යන ශක්තියකුත් අප තුල තිබෙනවා. ඊළඟට ‘පරක්කම ධාතු’ කියල කියන්නේ එහෙම කරගෙන යාමේදී ඉදිරිපත්වෙන බාධක, ආපදා, ඒවා මැඩලා, ඒව ජයගෙන, ඉදිරියට ජය ගැනීමේ ශක්තියයි. ඒකත් තියෙනවා මේ චිත්ත සන්තානයේ. මෙතන ‘විස්මානෙ පරක්කමෙ’ කියල කීවේ අන්න එහෙම පරාක්‍රමයකින් මේවා මඟහරින්න පුළුවන් කියන එකයි. මේවා අතහරින්න පුළුවන්. මගහරින්න පුළුවන්. එහෙම පුළුවන්කම තිබෙද්දි, ඇසුත් පේනවා නම්, ඇයි මේව කරන්නෙ කියන එකයි බුදු පියාණන් වහන්සේ අහන්නේ. එතකොට මේ අවස්ථාවේ අර සුප්පබුද්ධ කුෂ්ට රෝගියා කළෙත් එක්තරා පරාක්‍රමයක්. ඒ කියන්නේ හිත ජයගත්තා. හිත කියනවා, “නෑ, කෑම ටිකක් සොයාගෙන යන්ට මේක අහල වැඩක් නෑ” කියල. එහෙම හිතෙන්නත් ඇති, සමහරවිට, ඒක කථාවේ කියවෙන්නෙ නෑ. සාමාන්‍යයෙන් දුගියෙකුට කුසගින්නක් තිබෙනවා නම් එහෙම හිතෙනවා. නමුත් මේ තැනැත්තා එතනම ඉඳගත්තා, ‘මං බණ ටිකක් අහන්ට ඕන’ කියල. ඒකත් ජයගැනීමක්. ඒ පරාක්‍රමය තුළින් තමයි මේ සුප්පබුද්ධ කුෂ්ට රෝගියා අර උතුම් සෝවාන් තත්ත්වය ලබාගත්තේ. චක්‍රවර්ති රාජ්‍යයටත් වැඩිය ලොකු ජයග්‍රහණයක් කරගත්තේ. දැන් ‘පරාක්‍රම’ කියන වචනය ඇහෙනවාත් එක්කම අපිට නිතරම සිතෙන්නේ සටන - සංග්‍රාමය. මේ වචනය බුදු පියාණන් වහන්සේත් උපකාර කරගත්තා. බෞද්ධයාටත් තියෙනවා සංග්‍රාමයක්. ඒ සංඝයාවහන්සේලාට පමණක් නොවෙයි ගිහියාටත් සංග්‍රාමයක් තියෙනවා. ඒකට කියන්නේ මාර සංග්‍රාමය කියල. ඒ මාර සංග්‍රාමය සඳහා සටන් පාඨයකුත් තියෙනවා බුදු පියාණන් වහන්සේගෙ - මේ ශාසනයේ පමණක් නොවෙයි හැම බුද්ධවරුන්ගෙම ශාසනයේ. එක්තරා සටන් පාඨයක් තියෙනවා. බොහොම ලස්සන ගාථාවකින් - ආරභථ නික්කමථ - යුඤ්ජථ බුද්ධසාසනෙ ධුනාථ මච්චුනො සෙනං - නළාගාරංච කුඤ්ජරෝ - කියල සටන් පාඨයක් තිබෙනවා. ඒක අපි සිංහලට නැගුවොත් - අරඹවි, නික්මෙවි - යෙදෙවි බුදුසස්නෙහි නසවි මරසෙන් හැම - බටගේ බිඳින ඇතුසේ අන්න ඒ විදියේ සටන් පාඨයක් තිබෙනවා. එතකොට ලෝකයා සංග්‍රාමය ගැන, යුද්ධය ගැන හිතනකොට කල්පනා කරන්නේ අනිත් මනුෂ්‍යයින් පරාජය කරල, මරල එහෙම ජයගැනීමයි. ඒකයි පරාක්‍රමය, වික්‍රමය, වීරක්‍රියාව, එඩිතරකම, හැටියට ලෝකයා හිතන්නේ. නමුත් අපි එහෙම හිතුවත් බුදු පියාණන්වහන්සේ නම් එහෙම හිතුවේ නෑ වගෙයි පේන්නේ. මොකද බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරල තිබෙනවා ධම්ම පදයේ - ’යො සහස්සං සහස්සෙන සංගාමෙ මානුසෙ ජිනෙ එකංච ජෙය්‍ය අත්තානං සවෙ සංගාම ජුත්තමො’ කියල. යම්කිසි බොහොම වීර වික්‍රමාන්විත යෝධයෙක් යුද්ධයකට ගිහිල්ලා දස ලක්ෂයක් දෙනා - මේ එක යෝධයා - නමුත් දශ ලක්ෂයක් සතුරන් ජයගන්නවා. ඒක කොයිතරම් වික්‍රමයක්ද කියල හිතල බලන්න. එක පුද්ගලයෙක් දශලක්ෂයක් සතුරන් ජයගන්නවා. ඒකට වැඩිය ලොකු දෙයක් බුදු පියාණන් වහන්සේ ඊළඟට දක්වනවා - එකංච ජෙය්‍ය අත්තානං - සවෙ සංගාම ජුත්තමො” නමුත් මේ එක ‘තමා’ කියලා හිතන මේ ‘තමාම’ දිනීම. තමා දිනීම - එකට කියනවා - ‘ආත්ම විජය’ කියල. ‘තමා දිනීම’ කියල කියන්නේ දාන - සීල - භාවනාවලින්, ශීල - සමාධි - ප්‍රඥා විදල, ඒ කියන ගුණධර්ම - ශාසනික ගුණධර්ම - දියුණු කරල, බණ භාවනා කරල, අන්න අර උතුම් සෝවාන් සකදාගාම් අනාගාමී අරහත් කියන මාර්ගඵල ප්‍රතිවේධ කරල උතුම් නිර්වාණ ධර්මය සාක්ෂාත් කර ගැනීමයි. මුළුමහත් සසරදුක, කෙලෙස් මරුත්, ජය ගැනීමයි. දැන් බුදුපියාණන් වහන්සේත් ඒ මාර සංග්‍රාමය කරල මරුසෙන් දිනුවා කියල ප්‍රකාශකරනවා. මේ මාර සේනාව මේ හිතේ සිටින්නෙ. හිතේ ඇතිවන මාර සේනාවක් මෙතන මේ අවසාන වශයෙන්, ගැඹුරු වශයෙන් දක්වල තියෙන්න. එතකොට මෙතන මේ ‘යුද්ධය’, ‘සංග්‍රාමය’, කියන සංකල්පය බුදු පියාණන් වහන්සේ උපකාර කර ගත්තා අර මනුෂ්‍යයා තුළ කියෙන පරාක්‍රම ශක්තිය - ආරම්භ ශක්තිය නික්ඛමන ශක්තිය පරාක්‍රම ශක්තිය - මතුකර දෙන්න. දැන් මේ පින්වතුන් යම්කිසි වික්‍රමයක් කරන්ට සුදානම් වෙනවා. ඒකට හොඳට ආමිපන්න, ඒකට ඕනකරන ඇදුම් පැළදුම් අවි ආයුධ සන්නද්ධ වෙලා සුදානම් වෙනවා. ඊළඟට සුදානම්වෙලා යනවා ඉදිරියට. ඉදිරියට යනකොට එනවා සතුරන්. ඒ සතුරන්ට සම්පූර්ණයෙන්ම පහරදීලා සතුරන් මැඩලා ජයගත්තවා. අන්න ඒ විදියේ එකක් තමයි පරාක්‍රමය. එතකොට ආරම්භ ධාතු, නික්ඛම ධාතු, පරක්කම ධාතු. මේ ශක්ති තුන මූලකරගෙනයි අපේ මේ එදිනෙදා ජීවිතයේ පවා එන ආපදාවලින් අපි ජය ගන්නේ. ඒක එහෙම නම්, එතකොට මේ බුදුපියාණන් වහන්සේ දක්වනව ඊට වඩා විශාල ජයග්‍රහණය - තමාදිනීම - ආත්ම විජය. අන්න ඒ ආත්ම විජය සංකල්පය අනුව කල්පනා කරන්න ඕන, මේ ලෝකයේ ගන්න හැම ජයක්ම අන්තිමට පරලොව වශයෙන් බලනකොට පරාජයක් වෙනවා. මේ ජයගත්තු සමහරු සමහරවිට ගිහිල්ලා උපදින්නේ කොතනද කියන එක අභිඥාලාභියෙක් , බුදු කෙනෙක්, එහෙම කිව්වොත් කොයිතරම් සංවේගයක් ඇතිවෙනවාද? අපි මේ වීරවික්‍රමාන්විත කියල හිතන අය සමහර විට මරණින් මතු ගිහින් උපදින තැන් බොහොම සංවේගජනකයි. මේක මේ ලෝක තත්ත්වයයි, සාංසාරික තත්ත්වයයි. නමුත් බුදුපියාණන්වහන්සේ මේවා පිළිබද සත්‍ය තත්ත්වය අපට දක්වා වදාළා, අපි අකමැති උනත්. අන්න එතකොට නුවණැති පුද්ගලයෙක් නම්, ඇස් පේනවා නම්, සම්‍යක් දෘෂ්ටිය කියල කියන හරිදැක්ම ඇත්නම්, බුද්ධ වචනයයි පිළිගන්ට ඕන. එතකොට අන්න ඒ විදියට මෙතන “ස ඉව සංගාම ජුත්තමො” - ‘සංගාමජී’ කියල කියන්නේ සංග්‍රාමය ජයගත් තැනැත්තා. ඒකට මාර්ගය තමයි මෙලොව වශයෙන් ඒ පාපකම් දුරලා, අකුසල් ඉවත් කරලා, නිතරම කුසලයට සිත නැඹුරුකරලා - සිතින් කයින් වචනයෙන් - සිත, කය, වචනය කියන තුන් දොර රැක ගැනීම. දැන් සතුරන්ගෙන් අපි ආරක්ෂාකර ගන්නවා අපේ තිබෙනවා නම් යම්කිසි බලකොටුවක්. සතුරන්ට ඇතුල්වෙන්න ඉඩනොදී රෑ දවල් තිස්සේ ඒක රැකගන්නවා. ඒ වගේ තමයි භාවනා යෝගියා-යෝගාවචරයා. එහෙම නැත්නම් මේ නිර්වාණය බලාපොරොත්තුවන තැනැත්තා. ඒ සීල සමාධි ප්‍රඥා කියන ගුණධර්ම වඩමින් තමන්ගේ සිත කය වචනය කියන තුන්දොර රැකගන්නවා. ඊටත් වඩා ගැඹුරින් කල්පනා කරල බලනකොට දොරවල් හයක්ම තිබෙනවා. ඒකට කියනවා ඇස, කණ, නාසය, දිව, කය, සිත කියල. ඔය විදියට මෙන්න මේ දොරවල් රැකගැනීමෙන් ඒ බලකොටුව රැකගන්නවා. ඊළඟට හොඳ පැත්ත වඩනවා, ඒ වෙනුවට. ඒ ශීලය, සමාධි ගුණය. සමාධියෙන් හිත එක්තැන් කරගන්නවා. හිතේ විසිරුනු ස්වභාවය ඉවත්කරල ඊළඟට ප්‍රඥාව කියල කියන විනිවිද දැකීමේ ශක්තිය තමන්ගේ ජීවිත සන්තානයේ ඇතිකරගෙන ඒ ප්‍රඥාව තුළින් තමයි නිර්වාණාවබෝධය කරල සියලු සසරදුක් ජයගන්න පුළුවන් වන්තේ. අන්න එතකොට මෙන්න මේ පරාක්‍රම ශක්තිය මතුකරගන්න උත්සාහවත් වෙන්න ඕන, - මේ සඳහා කළයුතු මාර සංග්‍රාමයට. අපි ඉන්න තැනින්ම පටන්ගන්ට ඕන මේක. එදිනෙදා ජීවිතයේ මේවාට තොයෙකුත් බාධක තිබෙනවා. එදිනෙදා ජීවිතයේ - දැන් බොහෝ දෙනෙක් ජීවිතයෙම ඇලිල ගැලිල හරියට අර නෙළුම් පොහොට්ටු මානෙල් පොහොට්ටු වතුරේ ගැලිල තිබෙන්න වගේ ඒ වගේ ජීවිතත් ගෙවනවා. නමුත් බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරල තිබෙනවා තමන් ඒ බාහිර වශයෙන් සිටින සමාජ මට්ටමට අනුව කිසිම කෙනෙක් සිත දූෂිත කරගත යුතු නෑ. ආරම්භය කළා නම්, සමහරවිට තමන් ඒ බලාපොරොත්තු වනවාට වඩා ඉක්මනින් ඒ තත්ත්ව ලබාගන්නට පුළුවන්. අර සුප්පබුද්ධ කුෂ්ට රෝගියා අතෙන්ට එතකොට හිතන්නවත් නැතුව ඇති ඒ කරන උතුම් තත්ත්වයක් තමාට ලැබෙයි කියල. නමුත් ලබාගත්ත. අන්න ඒ විදියට. ඒකට උපකාරවෙන දේ තමයි “හැකි සංඥාව.” හැකි සංඥාව කියල කියන්නේ පින්වත්නි මට මේක කරන්ට පුළුවන් කියන අවබෝධය. දැන් අපි දන්නවා යම්කිසි දෙයක් එහාට පෙරලන්ට හරි, එහෙම නැත්තම් ඉවත්කරන්නට ඕන වෙනකොට, ඉස්සෙල්ලම ‘ඒක මට බැහැ’ කියල හිතුව හැටියේ එතනින්ම පරාදයි. අඩුගණනෙ උත්සාහයක්වත් කරන්න වටිනවා. එහෙම ‘මේක කරන්ට ඕන’ කියල උත්සාහය ඇතිකරගෙන ඊළඟට හිතාගන්නවා ‘මට මේක පුළුවන්’ කියල. ‘හැකි සංඥාව’ කියල කියනවා ඒකට. අන්න ඒ විදියට ‘හැකි සංඥාව’ ඉදිරිපත් කරගනයි මේ ධර්ම මාර්ගයේ යන්ට ඕනෙ. එහෙම යන්ට පුලුවන් බව බුදු පියාණන් වහන්සේ අපට සහතික කරල දක්වල තිබෙනවා. බුදු පියාණන් වහන්සේ සමහර අවස්ථාවල අර තිත්ත කසායක් බොන්ට පෙරැත්ත කරන මෑණි කෙනෙක් වගේ සමහර විට සංඝයා වහන්සේලාට ප්‍රකාශ කරනවා - සංඝයා වහන්සේලාට ප්‍රකාශ කරත් ඒක මුළුමහත් ලෝකයාටයි ප්‍රකාශ කරන්නේ. “මහණෙනි මේ අකුසල් කියන ජාතිය ඉවත්කරන්න, ප්‍රහාණය කරන්න, පුළුවන්. මේවායින් මිදෙන්න පුළුවන්. මේවා නැතිකරගන්න පුළුවන්. ඒ වගේ කුසල් වඩන්න පුළුවන්. මේ අකුසල් නැතිකරගන්න බැරිනම් මම නුඹලාට මේක කියන්නෙ නෑ. අකුසල් නැතිකර ගන්න පුළුවන් නිසයි මහණෙනි මම මේ කියන්නේ” කියල ඔය විදියට පෙරැත්ත කරමින් සමහර විට ප්‍රකාශ කරනවා. තවත් සමහර අවස්ථාවල බුදු පියාණන් වහන්සේ ඒ උත්සාහය වැඩීමට, “මහණෙනි කාරණා දෙකක් විතරක් අතහරින්න මම නුඹලාට අනාගාමී වෙනවා කියල සහතික වෙනවා. ලෝභයයි ද්වේෂයයි අතහරින්න” අන්න ඒ විදියට පෙරැත්ත කරන ස්වභාවය නිසා තමයි අපි අර සමහරවිට බුදු පියාණන් වහන්සේ ‘කියනවා’ වෙනුවට ‘බුදු මෑණි’ කියල කියනවා ‘අමා මෑණි’ කියල කියනවා. අන්න ඒ මහා කාරුණික ගුණය නිසයි. එතකොට ඒ බුදු පියාණන්වහන්සේගේ ධර්මය අනුව අපි කල්පනා කරන්ට ඕන අප අපේ ජීවිත ගැන. මේ කථාවක් ඇසීම තුළින් අපි මේ බලාපොරොත්තු වෙන්නේ - මේ ධර්මකථාව කියල කියන්නේ මේක ගොතාපු කථාවක්, නවකථාවක් කෙටිකථාවක්, නොවෙයි. සත්‍ය සිද්ධීන්. බුද්ධ කාලේ ඒ ඒ පුද්ගලයින් බුදු පියාණන් වහන්සේ හමුවෙලා ඒ උතුම් තත්ත්ව ලබා ගත්තු ආකාරය. මේවා අපට හොඳ ආදර්ශ, පාඩම්. මේවා තුළින් අප තුළත් තියෙන්න පුළුවන් මේ ශක්තිය, මේවා අපි මතුකරගන්න උත්සාහයක් යොදන්ට ඕන කියල ඒ අවබෝධය ඇතිකරගන්න ඕන. දැන් මේ අවස්ථාවෙත් මේ පින්වතුන් ආජීව අෂ්ටමක ශීලය කියන වටිනා ශීලයක් සමාදන්වුනා. මේ එක එක ශීල ප්‍රතිපත්තිය ගැන හිතල බලන්ට ඕන. මේවායින් කරන්නෙ මොකක්ද? මේ සිල් සමාදන්වීමෙන් කරන්නෙ මොකක්ද? මේක මේ ‘සමාදියාමි’ කියල මම මේ පරපණ නැසීමෙන් ඒ කියන්නේ සතුන් මැරීම් ආදියෙන් වෙන්වෙනවා කියල අධිෂ්ඨානයක් ඇතිකර ගන්නවා. ඒ අධිෂ්ඨානය රැක ගැනීමෙදිත් අන්න ඔය කියාපු අර ‘ආරම්භධාතු’ ‘නික්ඛමධාතු’ ‘පරක්කම ධාතු’ කියන ඒ තත්ත්ව ගැන තමන්ට අවබෝධයක් ලබාගන්ට පුළුවන්. මම අධිෂ්ඨාන කර ගත්තා සතුන් මරන්නෙ නෑ කියල. නමුත් යම්යම් හේතුන් නිසා - මොනයම් හේතුන් නිසා හෝ - එක්කො ආහාරය සඳහා, එක්කො විනෝදය සඳහා, තවත් නොයෙකුත් අයගේ පෙළඹවීම් නිසා, එක්කො වැඩියෙන් ධනය ලබා ගැනීමට, එක්කො වෛරය පිරිමසාගැනීමට, සතුන් මරන්ට හිත් දෙනවා. හිතක් එනවා. නමුත් අන්න ඒ හිත ආව හැටියේ ඊළඟට මේ ධර්ම මාර්ගයේ අර ‘ආරම්භධාතු නික්ඛමධාතු පරක්කම ධාතු’ කියල කියන ආකාරයට මේ ශීල ප්‍රතිපත්තිය මතක් කරගන්න ඕන. ඒක කරන්ට හොඳ නෑ. මේ විදියට විපාක තියෙනවා. මම මේ පංචශීලය සමාදන්වෙලයි, ආජීව අෂ්ටමක ශීලය සමාදන්වෙලයි ඉන්නේ. මේ ශීලයේ එක ප්‍රතිපත්තියක්. මමම මේක පිළිඅරගෙන පිළිපදිනවා කියල පොරොන්දු වෙල තිබෙනව කියල ඒක රැකගන්න අන්න උත්සාහයක් කරනවා. එහෙම උත්සාහයක් යොදල යම් අවස්ථාවක හිතේ ඒ ආසු සිතිවිල්ල එහෙම පිටින්ම පැත්තකට තල්ලු කරල දානවා. සමහර විට එහෙම පැත්තකට තල්ලු කරන්න අමාරුයි. ඇතැම විටෙක ඒකත් එක්ක සටන් කරන්නත් වෙනවා. “ඒ කිට්ටුවට - කමක් නෑ - මය විපාක තිබුනාට, අපි මේක කරමු” කියලත් ඒ හිත කියනවා. “ඒක මේ වේලාවේ නොකර බෑ. මේක ‘කාලීනයි’ ‘කාලෝචිතයි’. වේලාවේ හැටියට මේක කරන්ට ඕන” කියල ඔය විදියට හිත යටින් අර අකුසල් එනවා. අන්න ඒක තමයි, මාරයා පිටිපස්සේ ඉදගෙන කියනවා “කරන්න කරන්න” කියල. ඔතනදී තමයි ඕන කරන්නෙ ශ්‍රද්ධාව. තුරුණුවන් කෙරෙහි, අවල ශ්‍රද්ධාව, දැඩී ශ්‍රද්ධාව, ‘බුදු වචනය එසේමයි.’ ඒ විදියට කල්පනාකරල “නෑ මම මේක කඩන්නෙ” කියල අන්න ඒ විදියට දැඩිව කල්පනාකරල අකුසල් සිතිවිලි පලවාහැරිය නම්, අන්න ඒක තමයි පරාක්‍රමය. හොරකම පිළිබදවත් එහෙමයි. කාමමිථ්‍යාචාරය, මුසාවාදය, පරුෂවචනය, ඔය විදියට කියන මේ අකුසල්, ඒ අවසානයේ කියන මිච්ඡා ආජීවය කියල කියන වැරදි ජීවිකා ක්‍රම - ඒවත් මේ ජීවිකාව ගෙන යාම සඳහා බොහෝ දෙනාට නොකර බැරි වශයෙන් පේනවා. නමුත් ඒවා පිළිබඳවත් උත්සාහයක් යොදල බලන්ට ඕන බැරිද කියල. මේ අවි ආයුධ වෙළදාම, වසවිස වෙළදාම, මත්පැන් වෙළදාම, සතුන් මසට ඇතිකිරීම, මාංස වෙළදාම - ඔය විදියට - ඒ විදියේ දේවල් පිළිබදව, ඒවා ගැනත් කල්පනා කරන්ට ඕන අපට මේවා ජයගන්නට බැරිද කියල. මොකද, මේවායේ භයානක විපාක පක්ෂයක් තිබෙනවා. බුදු ශාසනයේ හිටිය ඒ මහා මුගලන් ස්වාමීන් වහන්සේ. මුගලන් ස්වාමීන්වහන්සේට විශේෂ ශක්තියක් තිබුනා - ඒ තමන්ගේ අභිඥාබලය. ඒ වගේම ඒ උතුම් පාරමී ශක්තිය නිසා දිව්‍යලෝකෙ ගිහිල්ලා දේවියන්ගෙන් එහෙම ඒ තත්ත්ව ලැබීමට උපකාරවුනු පින අහගන්නවා. ඊළඟට අපායට ගිහිල්ලා අපායේ සත්ත්වයින් ඒ දුක් විඳීමට හේතුව අහගන්නවා - මොන මොන පාපකර්ම කරලද කියල. අන්න ඒ මගින් ලෝකයාට ප්‍රකාශකරනවා මේවයි මේ භයානක විපාක. මෙන්න මේක නිසා මේවා කරන්ට එපා කියල. මේ සංසාරයේ දීර්ඝ කාලයක් මේවාට ගෙවන්න වෙනවා නම් එක ජීවිතයකදී අපි මේ හපන්කම් කරල වැඩක් නෑ. අන්න ඒක නිසා සංසාරයෙන් මිදීමට විශේෂ උත්සාහයක් ඇතිකර ගන්නට ඕන. මේ හිතේ තිබෙන භයානක තත්ත්වය - මේක කොයි වෙලාවෙ පාපයට නැඹුරු වෙනවද කියල නෑ. ඒක නිසා මේ සිත ‘හේ කර ගන්න’ තමයි භාවනාව කියල දෙයක් ඕන වෙන්නෙ. මේ හිතේ පෙළඹීම්, මේ හිත කියන දේවල් දිම්, මේවා නැතිකර ගන්ට ක්‍රමානුකූලව යම්කිසි භාවනාවක් වඩන්න ඕන. සිත තැන්පත් කරගන්න උත්සාහවත් වෙන්න ඕන. දැන් අර බුදුපියාණන්වහන්සේ සුප්පබුද්ධ කුෂ්ට රෝගියගේ හිත තැන්පත්වෙල ප්‍රසන්න උනාම තමයි අර ගැඹුරු ධර්මය ප්‍රකාශ කළේ. ඒ විදියට කෙනෙක් හිත සමාධිමත් කරගන්න උත්සාහවත් වෙන්න ඕන. එදිනෙදා ජීවිතයේ ‘බුද්ධානුස්සති’ - බුදුගුණ නිතර මෙනෙහි කිරීම වශයෙන්, - මෛත්‍රී භාවනාව, තව, අසුභ භාවනාව, මරණ සතිය ආදිය - මේ පින්වතුන් දන්නවා, ඔය සතර කමටහන් කියල තිබෙන. එහෙම යම්කිසි දෙයක් නිතර පුරුදු පුහුණු කිරීමෙන් අර ලෝකයට දුවන හිත මේ ගැඹුරු කුසල් සිතිවිල්ලක් තුළ රඳවා ගෙන, සිත එකඟ කරගන්න උත්සාහවත් වෙන්න ඕන. ඒ වගේම ඒ එකඟකරගත්තු හිතේ ලොකු ශක්තියක් තිබෙනවා. මේ ගලාගෙන යන වතුර යම්කිසි ජලාශයක රැස්කරල මේකෙන් යම්කිසි නලමගින්, එහෙම නැත්තම් කඳුයටින් අරගෙන ගිහිල්ලා උමගකින්, එක නලයක් තුළින් මේ වතුර ටික ගෙනිච්චහම, මේක එළියට ගන්නෙ මොකටද අර යකඩ රෝදයක් කරකවන්නයි. යකඩ රෝදයක් කරකවන්න තරම් ශක්තියක් තිබෙනවා මේ ගලාගෙන යන වතුරේ. නමුත් මේක ඇතිකර ගන්න යම්කිසි විශේෂ උපක්‍රමයක් තිබෙනවා. අන්න ඒ වගේ මේ සිතෙත්, මේ විසිරිල තිබෙන සිත, මේක සමාධිමත් කරගන්න ඕන. සමාධිමත් කරගෙන ඊළඟට ඒ සමාධිවුනු සිතෙන් ලෝකයේ යථා තත්ත්වය දිහා බලන්න උත්සාහවත් වෙන්න ඕන. අර සුප්පබුද්ධ කුෂ්ට රෝගියා මේ පංචස්කන්ධය ගැන කලකිරෙන්න උපකාර කරගන්න ඇති අර පාපකර්මයේ විපාක. දැන් හොඳ රූප සම්පන්න ශක්තිමත් කෙනෙක් නම්, තමන්ගේ ශරීරය ගැන ආඩම්බර වෙන කෙනෙක් නම්, ඒ තැනැත්තාට අවබෝධ කරන්නත් අමාරුයි මේ රූපය කියන එක දුකක්ය මේක ලෙඩ ගොඩක්ය කියල. බුදු පියාණන් වහන්සේ මේ ශරීර කුඩුවට කියන්නේ ‘රෝග නිද්ධං, පහඨගරං’. බිඳිල යන්න පුළුවන් රෝග කුඩුවක් කියල බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. තවත් සමහරවිට ධම්යේ ප්‍රකාශ වෙනවා ‘නවද්වාරෝ මහාවණෝ’ නව දොරක් ඇති මහා වණයක්ය කියල. මේව අහනකොට සමහරුන්ට තරහ යන්නත් පුළුවන්. ඇයි බුදු පියාණන්වහන්සේ මේකට නිග්‍රහ කළේ කියල. ඒ විදියට තරහ ගත්තු අය ගැන රූප නන්දාවගේ කථාවේ එහෙම ප්‍රකාශ වෙනවා. නමුත් අන්න ඒ බුදුපියාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති තැනැත්තා කල්පනා කරනවා මේක සත්‍යයි. ඉතිං ඒක තේරුම්ගන්ට පුළුවන් අර විදියේ කායික දුබලතාව ඇති කෙනාට. මේක අමුතුවෙන් කෙනෙක් කියන්න ඕන නෑ. හැම කෙනෙක්ම මේ ශරීරයට පිළිකුල් කරනවා. කුෂ්ට රෝගියෙක් නම්. අන්න එතකොට ඒ තත්ත්වයට පත්වුනාම එතන්දි ඒ සුප්පබුද්ධ කුෂ්ට රෝගියා ‘වෙස්වලාගත්ත ආශීර්වාදය’ වගේ, ඒ පාපකම්යේ විපාකයෙන් වැඩගත්තා. අන්න ඒ විදියට අපි කල්පනා කරන්ට ඕන මේ නිවන්මාඟීයේ ගමන් කරන්න මේ රට කිරෙන් පැනියෙන් උතුරලා හොඳට සරු ජීවිත ලබාගෙන ධනවත්වෙලා ඊට පස්සේ නිවන් දකින එක නෙවෙයි හිතන්න තිබෙන්නෙ. අපේ යම් අඩුපාඩුකම් තිබෙනවා නම් - ධනයෙන් හෝ ශරීරයෙන් හෝ රෝගාපීඩා ආදියෙන් හෝ - ඒකම උපකාරී කරගන්න ඕන, අර කියාපු ආරම්භ ධාතු නික්ඛම ධාතු පරක්කම ධාතු කියන ශක්තිය මතුකර ගන්න. මක් නිසාද? බොහෝවිට අපි මේ විපාකයෙන්මයි පාඩම ඉගෙන ගන්නේ. පාඩම ඉගෙනගත්තහම තමයි - ගුරුවරයා තැළුවට පස්සේ තමයි - මේ ’ ගණන ’ හරියට හැදෙන්නේ. අන්න ඒ වගේ මේ මාරයාගෙන් කොතෙකුත් අපි පීඩා විඳල තිබුනත් අතිදීර්ඝ සංසාරයේ, මේවායින් පාඩම ඉගෙන ගත්තෙ නෑ. බුදු පියාණන් වහන්සේ ඒ පාඩම ඉගෙන ගන්න ආකාරය අපට දක්වල තිබෙනවා. අන්න ඒක නිසා මේ පින්වතුන් දැන් සතුටු වෙන්න ඕන මෙතෙක් අපි මේ බුදුපියාණන් වහන්සේගේ දේශිත ධර්මය උපකාර කරගෙන අපේ ජීවිතය හැඩ ගස්සවා ගැනීමටයි කාලය යෙදුවේ. මේ අවස්ථාවේ ආජීව අෂ්ටමක ශීලය කියන වටිනා ශීලයක් අධිෂ්ඨාන කරගත්තා. ඒ වගේම ධම්ශ්‍රවණ අවස්ථාවේදී අපි අර යම්කිසි දවසක නිවනට උපකාර වෙන ඉන්ද්‍රිය පහක්, බලපහක්, වර්ධනය කර ගැනීමට උත්සාහවත් උනා කියල හිතන්නට ඕන. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය පහක් මතුකරගෙන කමයි කෙනෙක් නිවන දකින්නේ. ශ්‍රද්ධාව කියන එක ඉන්ද්‍රියයක්. ‘ඉන්ද්‍රිය’ කියල කියන්නේ අධිපති තත්ත්වයක්. තමන්ගේ චිත්ත සන්තානයේ අධිපති තත්ත්වයක්. මේකට ඔටුනු පළන්දන්න ඕන - සද්ධාවට. ඊළඟට වීර්යය මතුකර ගන්නට ඕන - විරිය. වීර්යය ඉන්ද්‍රියයක් බවට පත්කර ගන්නට ඕන. ඊළඟට සතිය, - සිහිය, ඊළඟට සමාධිය, ඊළඟට ප්‍රඥාව - මෙන්න මේ කියාපු ඉන්ද්‍රිය ධම් දියුණුකර ගැනීමට, ඇතිකර ගැනීමට, උපකාර වෙනවා. ඒ ඉන්ද්‍රියයන් ඇතිකර ගත්තා නම් ඒ තැනැත්තාට ඒවම ‘බල’ වෙනවා. සද්ධා, බල විරිය-බල, සති-බල, සමාධි-බල, ප්‍රඥා - බල. අන්න ඒවා ඇතිකර ගැනීමට උපනිශ්‍රය වෙන විදිහෙ ධම් ශ්‍රවණයක මේ අවස්ථාවෙ යෙදුනා. කල්පනා කරන්නට ඕන කුසල් සිතිවිලි රාශියක් මොහොතක් පාසා අපේ චිත්ත සන්තානයේ තැන්පත් උනා. ඒවයින් තව නොයෙකුත් සාංසාරික වශයෙන් ආනිසංස රාශියක් ගලාගෙන එනවා. ඒක ගැන අමුතුවෙන් කියන්නට ඕන නෑ. නමුත් ඒ හැම එකකටම වඩා අපි කල්පනා කරන්නට ඕන මේ සංසාරයේ ඇති දුකඛ ස්වභාවය බුදු පියාණන් වහන්සේ කොතෙකුත් අවස්ථාවල ප්‍රකාශකරල කිබෙනවා. ඒක නිසා මේ දුර්ලභ බුද්ධෝත්පාද කාලයේ මේ ලබාගන්න හැම කුසල සම්පත්තියක්ම අපි යොදන්න ඕන - මේවා ‘ආයෝජනය’ කරන්නට ඕන - නිර්වාණය සඳහා - නිර්වාණ ශාන්තිය සදහා, මේ සසර දුක් කෙළවර කරගැනීම සදහා. එහෙම කල්පනා කරගෙන මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන්, සීල සමාදානයෙන්, මේ රැස්කරගත්තු කුසල සම්භාරය උපකාර කරගෙන මේ ජීවිතයේදී හැකිනම් අර සුප්පබුද්ධ කුෂ්ට රෝගියා වගේ සෝවාන් ආදී ඒ මාර්ගඵල ප්‍රතිවේධයෙන් උතුම් අමාමහ නිවනින් සියලු ජාති ජරා ව්‍යාධි මරණාදී සංසාර දුකඛය කෙළවර කරගැනීමට අපට ශක්තිය බලය ලැබිවා කියල ප්‍රාර්ථනා කරගන්ට .ඒ වගේම යම්කිසි ශාසනාරක්ෂක දෙවි දේවතාවුන්, ඒ වගේම මේ පූජනීය ස්ථානයට අධිගෘහිත දෙවි දේවතාවුන් සිටිනවා නම් පින් බලාපොරොත්තු වන, නිවන් බලාපොරොත්තු වන, ඒ හැම කෙනෙක්ම මේ අප විසින් ධම්දේශනාමය ධම් ශ්‍රවණමය වශයෙන් රැස්කරගත්තු කුසල සම්භාරය අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වී ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමාමහ නිවන් සාක්ෂාත් කර ගනිත්වා කියල ප්‍රාර්ථනා කරන්ට ඕන. ඒ වගේම තම තමන් නමින් නැසී මිය පරලොව ගිය ඥාතීන් පමණක් නොවෙයි අවීචියේ පටන් අකනිටාව දක්වා යම්තාක් පින්කැමති නිවන් කැමති සත්ත්වයෝ වෙත්ද ඒ හැම කෙනෙක්ම අපගේ මේ කුසල සම්භාරය අනුමෝදන් වී ජාති ජරා ව්‍යාධි මරණාදී සියලු සාංසාරික දුකින් අත්මිදී අජරාමර සංඛ්‍යාත උතුම් අමාමහ නිර්වාණ ශාන්තියෙන් සැනසෙත්වා කියල ප්‍රාර්ථනා කරගෙන මේ විදියට මේ ගාථා කියල පින් දෙන්න. “එත්තාවතා ච අම්හේහි………..” 8 වන දේශනය ඵන්‍දනං චපලං චිත‍්තං දුරක‍්ඛං දුන‍්නිවාරයං උජුං කරොති මෙධාවී උසුකාරො’ව තෙජනං. වාරිජො’ව ථලෙ ඛිත‍්තො ඔකමොකත උබ‍්භතො පරිඵන්‍දතිදං චිත‍්තං මාරධෙය්‍යං පහාතවෙ. (- චිත්ත වග්ග, ධම්මපද) - මේ දෙසුම, ‘සිත තැනීම’ නමින් කුඩා පොතක් වශයෙන්ද මුද්‍රණය විය. ශුද්ධාවන්ත පින්වතුනි, අද මේ පෝය දවස අධි වෙසක් පෝය හැටියටයි සම්මත වෙලා කියන්නේ. මේ වෙසක් කියන වචනයම වුනත් ප්‍රමාණවත් ශුද්ධාවන්ත බෞද්ධයින් තුළ බුදු පියාණන් වහන්සේ පිළිබදව, උන් වහන්සේගේ චරිතය පිළිබදව, උන් වහන්සේගේ ගුණ සම්භාරය පිළිබදව, ගැඹුරු භක්තියක් ශ්‍රද්ධාවක් ඇති කර ගන්න. අපි කවුරුත් දන්නවා, අපි බුදු කෙනෙක් කියලා හඳුන්වන්නේ - මේ සංසාරයේ සත්ත්වයා අති දීර්ඝ කාලයක් මේ සංසාර දුකේ, පීඩනයේ, ගින්නේ, දැවෙමින් ඉදලා ජීවිතයට සිත යොමු කරපු අවස්ථාවක ඒ නිවනට මාර්ගය පහදා දෙන කළ්‍යාණ මිත්‍රයෙක් හැටියටයි, අපි බුදු කෙනෙක් හඳුන්වන්නේ. බුදුපියාණන් වහන්සේම තමන් වහන්සේ ලෝකයාට කළ්‍යාණ මිත්‍රයෙක් හැටියට හඳුන්වා වදාළා. බුදු කෙනෙකුගේ පහළ වීමෙන් අපට මේ නිවන් මග හෙළි කරන උපදෙස් ලබා ගන්ට පුළුවන් අවස්ථාවක් සැළසෙනවා. එතකොට මේ සංසාරය කියලා කියන්නේ එක්තරා විදියක වට වළල්ලක යාම වගේ ගමනක්. මේ වට වළල්ලේ යාමේ ජවයට පුරුදු වුන හිත එයින් පිටට පන්න වන්න - ඒ කියන්නේ නිස්සරණය කියලා කියන, නිබ්බානය කියලා කියන, ඒ උතුම් තත්ත්වයට, ඒ විමුක්තියට, යොමු කරන්න - හදන කොට සිත ඒකට ඇහුම්කන් දෙන්නෙ නෑ. මොකද, සාංසාරික පුරුදු නිසා, මේක පහසු වැඩක් නෙවෙයි. අනිත් පැත්තෙන් කල්පනා කරලා බලන කොට මේක මාරයාගේ රාජධානියෙන් පිට පැනීමට, එයින් බේරීයාමට, දරණ තැනක් වගේ. අති දීර්ඝ කාලයක් මාරයාගේ රාජධානියෙ යටත් වැසියන් හැටියට ඉදලා මාරයාගේ රාජධානියෙන් බේරී යාමට දරණ උත්සාහය වගේ. මේක ඉතාමත්ම ප්‍රබල උත්සාහයකින් ප්‍රයත්නයකින් කළ යුතු දෙයක්. මේක ලේසි පහසු වැඩක් හැටියට හිතාගෙන මේ වැඩේට බැස්සොත් බොහොම ඉක්මනින්ම පසු බසින්න සිද්ධ වෙනවා. ඒක නිසා නිවන් දකින්න බලාපොරොත්තු වන කෙනා, නිවන් දැකීම සඳහා උත්සාහ කරන්න සුදානම් වෙන කෙනා, පළමුවෙන්ම තමාගේ හිතේ තිබෙන ඒ සාංසාරික දුර්වලතා, වංචක ධර්ම, ඉදිරිපත් විය හැකි මාර බාධක, ගැන යම්කිසි අවබෝධයක් ලබාගත යුතුව තිබෙනවා, මෙන්න මේ කියන කාරණය අපට හෙළි කරලා දෙන්නේ බුදු පියාණන් වහන්සේයි. අපිට මේ නිවන් ගමනේ ඉදිරිපත් විය හැකි බාධක පිළිබදව අවස්ථානුකූලව උපදෙස් දෙන්ට පුළුවන් ඒ ශ්‍රේෂ්ඨතම උත්තමයා, කළ්‍යාණ මිත්‍රයාණන් වහන්සේ, තමයි බුදු පියාණන් වහන්සේ. දැන් අපි මේ මාතෘකා කළ ගාථා දෙකෙන් පෙන්නුම් කෙරෙන්නෙත් සාංසාරික සත්ත්වයෙකුගේ සිතේ සාමාන්‍යයෙන් බල පවත්වන දුර්වලතා, වංචක ධර්ම, මාර බලවේග. ඒවා පිළිබදව යම්කිසි අවබෝධයක් මේ ගාථා වලින් දෙනවා වගේම ඒවා ජය ගන්න පුළුවන් ආකාරයත්, ඒකට උපකාර වෙන යම්කිසි උපදේශයකුත්, මේ ගාථා දෙකේ අඩංගු වෙනවා. මේ ගාථා දේශනා කරන්න හේතු වූ නිදාන කථාව මෙහෙමයි. බුදු පියාණන් වහන්සේ එක්තරා අවස්ථාවක චාලික කියන පර්වතයේ වැඩ වාසය කළා. ඒ අවස්ථාවේ උන් වහන්සේට උපස්ථායකයා හැටියට හිටියේ “මේඝිය” කියලා ස්වාමීන් වහන්සේ කෙනෙක්. මේ මේඝිය ස්වාමීන් වහන්සේ එක දවසක්ද බුදු පියාණන් වහන්සේ ළහට ඇවිල්ලා අවසර ඉල්ලනවා ඒ අසල තියෙන ඡන්තු කියන ගමට පිණ්ඩපාතයේ වඩින්ට. බුදු පියාණන් වහන්සේ ඒකට අවසරදී වදාළා. එතකොට මේ මේඝිය ස්වාමීන් වහන්සේත් පාත්‍රා, සිවුරු අරගෙන ඒ ගමට පිණ්ඩපාතයේ වැඩලා පිණ්ඩපාතෙන් පස්සේ කිමිකාලා කියන ගඟ අසල, ඒ ගං තීරයේ, එහාට මෙහාට සක්මන් කර කර හිටියා. ඒ අතරේදී දැක්කා ඒ කිට්ටුව තියෙන ඉතාමත්ම රමණීය අඹ වනයක්. දැකලා කල්පනා කළා “හා! මේ අඹ වනය ඇති නිවන් සඳහා උත්සාහ කරන්න සුදානම් වෙන කුල පුත්‍රයෙකුට. හොඳම ස්ථානයයි මෙතන. මම එන්ට ඕන භාග්‍යවතුන් වහන්සේගෙන් අවසර ලබාගෙන මෙතන භාවනා කරන්න” කියලා. ඊළහට සවස් වරුවේ බුදු පියාණන් වහන්සේ දකින්න වැඩම කරලා බුදු පියාණන් වහන්සේට කියනවා “භාග්‍යවතුන් වහන්ස, මම මෙහෙම අද පිණ්ඩපාතේ ඡන්තු ගමට ගියහම මෙන්න මේ විදියේ තැනක් දැක්කා මට හිතුනා මේකම ඇති යම්කිසි කුලපුත්‍රයෙකුට නිවන් සඳහා වීර්යය වඩන්ට. මේක හොඳ ස්ථානයක්, රමණීය ස්ථානයක් කියලා. භාග්‍යවතුන් වහන්සේ මට අවසර දෙනවා නම් මම කැමතියි ඒ ස්ථානයට භාවනා කරන්න යන්න”. එතකොට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා “මේඝිය, මම දැන් මේ අවස්ථාවේ තනියමයි සිටින්නේ. තවත් භික්ෂුවක් මෙතනට එනකම් ටිකක් ඉවසන්න” නමුත් ඒකට කීකරු වූයේ නැහැ, මේඝිය ස්වාමීන් වහන්සේ. නැවත වරක් භාග්‍යවතුන් වහන්සේට කියනවා “දැන් භාග්‍යවතුන් වහන්සේට නම් අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. කරලා ඔක්කොම අවසානයි. ඒ වගේම තමන් ලබාගත්තු තත්ත්වයට ආයේ අමුතුවෙන් එකතු කරන්න දේකුත් නැහැ. මට නම් තව හුඟක් වැඩ ඉදිරියට තියෙනවා. නිවන සඳහා මට ඒ කරපු ටිකට තවත් එකතු කරගන්න, හුඟක් භාවනා වශයෙන් කරන්න දේවල් තියෙනවා. ඒක නිසා භාග්‍යවතුන් වහන්සේ මට ඉඩ දෙනවා නං මම යනවා” කියලා. දෙවෙනි වරටත් භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කළා “මේඝිය මා දැන් මේ අවස්ථාවේ තනියමයි ඉන්නේ. තව භික්ෂුවක් එනකල් ඉවසන්න” කියලා. ඒත් ඒකට කීකරු උනේ නැහැ. තුන්වෙනි වරටත් ආයාචනා කරනවා භාග්‍යවතුන් වහන්සේට නම් අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. මටයි වැඩ තියෙන්නේ. ඒක නිසා භාග්‍යවතුන් වහන්සේ ඉඩ දෙනවා නම් - එතන යොදනවා - “පධාන” කියන වචනය. පධාන කියල කියන්නේ දැඩි වීර්යය - භාවනාව සඳහා පධාන වීර්යය යොදන්ට මට ඉඩ දෙනවා නම් මම එතෙන්ට වඩිනවා කියලා. අන්න ඒ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ මධ්‍යස්ථව ප්‍රකාශ කරනවා “හොඳයි මේඝිය ඉතින් පධාන වීර්යය යොදනවා කියල කියනව නම් අපි මොනවද කියන්නේ. එහෙනම් ඉතින් කැමැත්තක් කරන්න” කියලා බුදු පියාණන් වහන්සේ “මධ්‍යස්ථව” අවසර දුන්නා. ඔන්න ඉතින් මේඝිය ස්වාමීන් වහන්සේ බොහොම ලොකු බලාපොරොත්තු, අධිෂ්ඨාන, ඇතිව ගියා අර කියාපු අඹ වනයට. ගිහිල්ලා එතන හොඳ අඹ ගසක් යට, හොඳ ස්ථානයක ආසනයක් එහෙම පිළියෙළ කරල ඔන්න ඉඳ ගත්තා භාවනාවට. භාවනාවට ඉදගත්තට මොකද ඉඳගත්ත වේලාවේ ඉඳලාම ගලාගෙන එනවා සිතට විතර්ක ධාරාවන්. අකුසල විතර්ක - කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක. මේ පින්වතුන් දන්නවා අර ආර්ය අෂ්ටාංශික මාර්ගයේ තියෙන ඒ සම්මා සංකප්පවලට විරුද්ධ ටිකයි මේ තියෙන්නේ - මිච්ඡා සංකප්ප - කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක, මේව ගලාගෙන එනවා හිතට. ඊළහට මුළු හවසම බැලුව භාවනා කරන්න. සිත එකඟ කරගන්න බෑ. එකලස් කරගන්න බෑ. එතකොටම ලොකු සංවේගයක් ඇතිවුනා. “අපොයි මම මේ හොඳ ශ්‍රද්ධාවෙන් පැවිදි වුන කෙනෙක්. මේ විදියටත් මේ විතර්ක ගලාගෙන එන එක මහ පුදුමයක් නේද” කියලා. ඔන්න ඊළහට හවස් වරුවේ ගිහිල්ලා බුදු පියාණන් වහන්සේට ප්‍රකාශ කරනවා. “භාග්‍යවතුන් වහන්ස, මම මෙහෙම ගිහිල්ලා භාවනාවට ඉඳගත්තා. ඉඳගත්තු වේලාවේ ඉඳලා මේ විදියට මහා විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක, කාම විතර්ක, ගලාගෙන එනවය කියලා.” අන්න ඒ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ හොඳ වටිනා දේශනාවක් දේශනා කළා. මේඝිය යම් කෙතෙකුගේ සමාධිය ශක්තිමත් නැත්තම්, මෝරලා නැත්තම්, ඒ සමාධිය මොරවා ගැනීමට මේරු තත්ත්වයට පත්කර ගැනීමට, උපකාර වන ධර්ම 5ක්, කාරණා 5ක්, කියනවා. මොනවද ඒ කාරණා? පළමුවෙනි කාරණය මොකද්ද, ඔන්න යම්කිසි භික්ෂුවකට හොඳ කළ්‍යාණ මිත්‍රයෙක් ඉන්නවා. කළ්‍යාණ මිත්‍ර සම්පත්තිය තිබෙනවා. අන්න ඒක පළමුවෙනි කාරණය. කළ්‍යාණ මිත්‍රයෙක් ඉඳීම. දෙවැනි කාරණය මොකද්ද, යම්කිසි භික්ෂුවක් ඒ තමන්ට අයිති ශීලයෙන් සම්පූර්ණයි. ඒ කියන්නේ ඒ විනය නීති සුළු වරදෙහි දොස් දකිමින් භය දකිමින් තමන්ගේ ශික්ෂාපද හරියට රකිමින් ශික්ෂා පදයට අනුව හික්මෙමින් විනය රකිනවා. ශීලය සම්පූර්ණ කරගන්නවා. සිල්වත් වීමයි එතනින් කියන්නේ. ඊළහට තුන්වෙනි කාරණය මොකද්ද, ඒ භික්ෂුවට දස කථා වස්තු කියලා කියන නිවනට උපකාර වන, නිවන් අදහස් ගෙන දෙන, ධර්ම කථාවල් අසන්ට අවස්ථාව ලැබෙනවා. මොනවද දස කථා වස්තු ධර්මයේ දැක්වෙන? ඒවා මෙන්න මෙතනත් බුදු පියාණන් වහන්සේ එකින් එක දක්වනවා. අප්පිච්ඡ කථා, සන්තුට්ඨී කථා, පවිවේක කථා, අසංසග්ග කථා, විරියාරම්භ කථා, සීල කථා, සමාධි කථා, පඤ්ඤා කථා, විමුත්ති කථා, විමුත්ති ඤාණ දස්සන කථා කියලා මෙය දස කථා වස්තු. ඒවත් අපි කෙටියෙන් තේරුම් කලොත් - අප්පිච්ඡ කථා කියලා කියන්නේ ආසාවන් අඩු බව පිළිබද කථාවන්. මෙතන මේ කථාවන් කියලා කියන්නේ පින්වත්නි, ධර්ම දේශනාවකදී අසන්ට ලැබෙන කාරණයි. ධර්ම දේශනාවක අල්පේච්ඡතාව පිළිබදව - එහෙම නැත්තම් ධර්ම සාකච්ඡාවකදීයි කියලා හිතමු - අර භික්ෂුවට ධර්ම සාකච්ඡාවක් හෝ ධර්ම දේශනාවක් අසන්ට ලැබෙනවා. ඒකේදී කියවෙනවා, තමන්ගේ කළ්‍යාණ මිත්‍රයාණන් වහන්සේලා කියලා දෙනවා, ආසාවන් අඩු බවේ ආනිසංස - අප්පිච්ඡ කථා. ඊළහට සන්තුට්ඨී කථා කියලා කියන්නේ ලද දෙයින් සතුටුවීම පිළිබද කථාවන්. පවිවේක කථා කියලා කියන්නේ දැඩි විවේක වාසය පිළිබදව, ඒකේ වටිනාකම - ආනිසංස - පිළිබදව කථාවන්. ඊළහට අසංසග්ග කථා කියලා කියන්නේ පිරිස් වලින් වෙන්වෙලා, රැලෙන් වෙන් වෙලා - දැන් මේ පින්වතුන් දන්නවා වල් මී හරක් දිහා බැලුවත්, අනෙක් සතුන් දිහා බැලුවත් රැල රැල හැසිරෙන ගතියක් තියෙනවා. සාමාන්‍යයෙන් මනුෂ්‍යයින්ටත් මේ රැලේ විසිම පුරුද්දක් වෙලා තියෙනවා. රැලෙන් තොරව, පිරිසෙන් තොරව, ජීවත් වීම මහා වදයක් බොහෝ දෙනාට, ඉතින් එකයි අසංසග කථා කියලා කියන්නේ. අර රැලෙනුත්, රැල නිසා එන රැල්ලෙනුත්, හිත ආරක්ෂා කරගෙන ජීවත්වීමේ වටිනාකමයි - අසංසග්ග - ඒ කියන්නේ පිරිස් පිළිබද සම්බන්ධ නැතිව වාසය කිරීමේ ආනිසංසයි. අසංසග්ග කථා. ඊළහට විරියාරම්භ කථා කියන්නේ වීර්යය ඇරඹීම පිළිබදව - කෙලෙස් තැවීමට කුසල් ධර්ම ළංකර ගැනීමට අකුසල් ධර්ම ඉවත් කර ගැනීමට වීර්යය දැරීමේ, වීර්යය ඇරඹීමේ, ආනිසංස පිළිබද කථාවයි. ඊළහට කියන හරිය වචන වශයෙන්ම තේරෙනවා. සීල කථා කියන්නේ ශීලය පිළිබද කථා. සමාධි කථා, සමාධිය පිළිබද කථා. පඤ්ඤා කථා ප්‍රඥාව පිළිබද කථා විමුත්ති කථා කියන්නේ නිවන පිළිබද කථා. විමුත්ති ඤාණ දස්සන කථා නිවනට අදාළ ඒ ඤාණ පිළිබද කථා. ඔය විදියට දස කථා වස්තු පිළිබද කාරණා අසන්ට අවස්ථාව ලැබීමත් අන්න අර විදියේ වටිනා ලැබීමක් භික්ෂුවකට - සිත සකස් කර ගැනීමට. ඊළහට කියනවා. ඒ වගේම ඒවායින් ප්‍රයෝජන අරගෙන, ඔන්න හතරවෙනි කාරණය මොකක්ද? යම්කිසි භික්ෂුවක් අකුසල් සිතිවිලි ඉවත් කිරීමටත් කුසල් ධර්ම ළංකර ගැනීමටත්, දැඩි වීර්යයකුත්, නොපසුබස්නා වීර්යයකුත්, උට්ඨාන වීර්යයකුත් ඇතිව ඒ කටයුත්තෙහි යෙදෙනවා. ආරද්ධ විරිය කියලා කියනවා. ඒක හතරවෙනි කාරණය. පස්වෙනි කාරණය මොකක්ද? යම්කිසි භික්ෂුවක් ඇතිවීම් නැතිවීම දක්නා ඒ ගැඹුරු විදර්ශනා ඥානයට හුරු එහෙම නැත්තම් “උදයබ්බය” කියලා එහෙම කියන ඒ විදියේ ලෝකයේ අනිත්‍යතාව පිළිබදව ගැඹුරු අවබෝධයක් තිබෙනවා. ඇතිවීම සහ නැතිවීම නිතර පෙනෙන විදියේ විනිවිද යන ප්‍රඥාවක් ඇති කෙනෙක් වෙනවා. එතකොට මේ කාරණා පහ බොහොම උපකාර වෙනවා කෙනෙකුට භාවනා කරන්න යන්න කලින් තමන්ගේ හිත සකස් කර ගැනීමට. මොනවද කාරණා පහ? අපි කෙටියෙන් සඳහන් කළොත්, යම්කිසි භික්ෂුවකට - භික්ෂුවක් කියලා කිව්වට මේ පින්වතුන්ට හිතාගන්ට පුළුවන් භාවනායෝගී යෝගාවචරයෙකුට පවා - කළ්‍යාණ මිත්‍රයෙක් ඉන්නවා. මිත්‍රයා කියන එක සමාජයේ භාවිතාවන අර්ථයෙන් නෙවෙයි - මේ පින්වතුන් දන්නවා - ශාසනයේ කළ්‍යාණ මිත්‍රයා කියලා කියන්නේ, අර කරට අත දාගන්න කෙනෙක් නෙවෙයි. මිත්‍රයා කියලා කියන්නේ, යාළුවා කියලා කියන්නේ සමාජයේ එකට හොඳ හෝ නරක හෝ ඒවායේදී සමාගම් පවත්වන කෙනෙක්. එහෙම එකක් නෙවෙයි මෙතන කළ්‍යාණ මිත්‍රයා. කියලා කියන්නේ. ඒ වචනය යෙදුවේ. දැන් බුදු පියාණන් වහන්සේ කළ්‍යාණ මිත්‍රයා කියලා කියන කොට අපිට තේරුම් ගන්ට පුළුවන් එතන කොයිතරම් ගැඹුරු වචනයක්ද මේ මිත්‍ර කියන එක - කළ්‍යාණ මිත්‍රයා. උන්වහන්සේ වැදලා පුදලා උපදෙස් ලබාගත යුතු ගුරුවරයෙක්. මෙතන කියන්නේ එතකොට පළමුවෙනි කාරණය ගුරු ඇසුර. දෙවැනි කාරණය තමන්ට අයිති ශීලයෙන් ශීලවන්ත වීම. තුන්වෙනි කාරණය අර විදියට දස කථා වස්තු. සංසයා වහන්සේලා පිළිබදව කිව්වා වගේ එසේ පින්වතුන්ටත් තමන්ගේ භාවනාවට උපකාර වන අන්දමට නිවන පිළිබදව, නිවනට අදාල ධර්ම සාකච්ඡා, ධර්ම කථා, ධර්ම දේශනා, ආදිය ඇසීමට අවස්ථාව ලැබීම. ඊළහට හතරවෙනි කාරණය තමනුත් ඒ අනුව වීර්යයක්, දැඩි වීර්යයක්, නොපසුබස්නා වීර්යයක් යෙදීම. පස්වෙනි කාරණය තමන්ගේ ඒ ප්‍රඥා ශක්තිය. එළඹ සිටි හොඳ සිහිය යොදලා, ප්‍රඥාව යොදලා, ඒ කටයුත්තේ යෙදීම. මෙය කාරණා පහ මූලිකයි, ප්‍රාථමිකයි, ගැඹුරු අදහසින්ම නිවන් කටයුත්තට බසින කෙනෙකුට. ඔය ටික කියලා ඊළහට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා “මේඝිය ඔන්න ඔය ධර්ම පහ උපකාර කරගෙන, ඔය කාරණා පහ උපකාර කරගෙන, තමාගේ සමාධිය මේරුණු තත්ත්වයට පත්කර ගත්තු කෙනා විසින් ඊළහට භාවනා හතරක් වැඩිය යුතුයි. මොනවද ඒ? ඔන්න ඒකත් දක්වනවා. අසුභය වැඩිය යුතුයි රාගය ප්‍රහාණය කිරීම සදහා. මේ පින්වතුන් දන්නවා අසුභ භාවනාව කරන්නේ දීර්ඝ කාලයක් සංසාරයේ අරගෙන එන බරපතල ක්ලේශයක් වන ඇල්ම -”රාගය” - කියල කියන ඒ ක්ලේශයෙන් සිත මුදා ගැනීමටයි. ඊළහට ඒ වගේම මෛත්‍රීය වැඩිය යුතුයි. ව්‍යාපාදය කියලා කියන ද්වේශය, තරහ, ඉවත් කර ගැනීම සදහා. දැන් දන්නවා එතකොට ඇළීම ගැටීම දෙකට බොහෙත් ටික බුදු පියාණන් වහන්සේ ඔය දෙකෙන් ප්‍රකාශ කලේ. ඊළහට තුන්වෙනුව දක්වනවා - තුන්වෙනි භාවනාව හැටියට - ආනාපාන සතිය වැඩිය යුතුයි. ආශ්වාස ප්‍රශ්වාස පිළිබදව සිහිය පිහිටුවීම කියල කියන ආනාපාන සති භාවනාව වැඩිය යුතුයි. ඒකෙන් වෙන කෘත්‍යය, ප්‍රධාන පරමාර්ථය, මොකද්ද “විතක්කුපච්ඡේදය” විතර්කයන් කපා හැරීම සදහා. විතර්කයන් කපා හැරීමට උපකාර වෙනවා තමාගේ ආශ්වාස ප්‍රශ්වාසයට හිත යෙදීම. සාමාන්‍යයෙන් විතර්ක ගලාගෙන එන කොට හුස්ම ගන්න බවවත් තමන්ට මතක නෑ. නමුත් අමාරුවෙන් හරි මේ සියුම් ක්‍රියාවලියට හිත යොමුකරන කොට විතර්ක වලට ඉඩ නැතිවෙලා යනවා. අන්න ඒකයි ඒ විතර්ක කපා හැරීමට විශේෂයෙන් ආනාපාන සතිය උපකාරී වෙනවා කියල ප්‍රකාශ කලේ. ඊළහට හතර වෙනුව දක්වන භාවනාව මොකද්ද? අනිත්‍ය සංඥාව වඩන්නෙයි කියල වදල බුදු පියාණන් වහන්සේ. අනිත්‍යතාව, අනිත්‍ය සංඥාව නිතර ඇතිව සිටින්න. ඒක උපකාරී වෙනවා අස්මිමානය මුලිනුපුටා දැමීමට. අස්මිමානය කියලා කියන ගැඹුරු මාන්නය සාමාන්‍ය ලෝකයේ මාන්නය, ආඩම්බරය, කියලා කියන, උඩඟුකම කියලා කියන එකේ යටින් තියෙන ඉතාමත්ම සියුම් කොටසක් තමයි “වෙමි” කියන මානය, “අස්මි” කියන මානය. අන්න ඒක ඉවත් කිරීමට උපකාර වෙනවා අනිත්‍ය සංඥාව. ඔය විදියට භාවනා හතරක් බුදු පියාණන් වහන්සේ වදාළ. ඔහොම ප්‍රකාශ කරලා ඊළහට මේඝිය ස්වාමීන් වහන්සේට කියනවා ඒකේ සතේකුකත්වය. එහෙම දක්වන්න හේතුවත් පෙන්නුම් කරනවා. දැන් අනිත්‍ය සංඥාව කියලයි එතන ඒ භාවනාව හැටියට දුන්නේ. අනිත්‍ය සංඥාව තුළින්ම ඊළඟට නිවන කරා යන්න පුළුවන් බව දක්වනවා. “මේඝිය අනිත්‍ය සංඥාව ඇති කෙනා තුළ අනාත්ම සංඥාව ඇති වෙනවාය. අනාත්ම සංඥාව ඇති තැනැත්තා අස්මි මානය - වෙමි කියලා කියන සියුම් මානය - ඉවත් කරලා දිටු දැමියෙහිදීම, මේ ලෝකයේදීම, මෙහිදීම, ඒ සසර දුක් නිවන ඒ නිවීමට, උතුම් නිර්වාණ තත්ත්වයට, පත් වෙනවාය” කියලා ඒ විදියට ප්‍රකාශ කොට වදාළා. එහෙම ප්‍රකාශ කරලා උදාන ගාථා, ප්‍රීති වාක්‍ය, වශයෙන් ගාථා දෙකකුත් ඒ අවස්ථාවේ ප්‍රකාශ කළා. ඒක අපි අර කලින් මාතෘකා කළ ගාථා නෙවෙයි, ඊට අමතරවයි ඒ ප්‍රකාශ කළේ. බුදු පියාණන් වහන්සේ මේ විතර්ක වලින් කෙනෙකුට ඇතිවන පීඩනයත් එයින් තමන් වහන්සේ නිදහස් බවත් පෙන්නුම් කරන විදියේ ගාථා දෙකක් එතන වදාළා. ඛුද‍්දා විතක‍්කා සුඛුමා විතක‍්කා අනුග‍්ගතා මනසො උප‍්පිලාවා, එතෙ අවිද‍්වා මනසො විතක‍්කෙ හුරාහුරං ධාවති භන‍්තචිත‍්තො. ඒ කියන්නේ, කුඩා විතර්ක, සියුම් විතර්ක - ඛුද‍්දා විතක්කා, සුඛුමා විතක්කා, අනුග‍්ගතා මනසො උප‍්පිලාවා - සිත ඉල්ප වන අන්දමේ, සිත උලුප්පවන අන්දමේ, සිතෙන්ම ඇතුළතින්ම පැන නගින ඒ විදියේ විතර්ක - මෙන්න මේ විතර්ක - ඒතේ අවිද්වා - අඥාන පුද්ගලයා මෙබදු - මනසො විතක්කෙක - මනසේ ඇතිවන මේ විතර්ක - හුරාහුරං ධාවති හත්ත විතෙතා භ්‍රාන්ත වෙලා, භ්‍රාන්තියට පත්වෙලා, අන්ද මන්ද වෙලා, අර මේඝිය ස්වාමීන් වහන්සේට වුනා වගේ අන්ද මන්ද වෙලා, ඒ අතට මේ අතට මේ විතර්ක හිත ඇතුළේ දුවවනවා. එහාට මෙහාට දුවනවා වගේ - දැන් මේ පින්වතුන් දන්නවා හිතේ ඇතිවන ඒ විතර්ක අනුව කය එහාට මෙහාට නොගියත් තමන් හරියට එහාට මෙහාට දුවන්තා වගේ. වික්ෂිප්ත හිත ඇති තැනැත්තා, දැන් ඔය සාමාන්‍ය තිරිසන් සතෙක් ඒ සිතිවිල්ල අනුව එහාට මෙහාට දුවනවා පේන්නේ, අන්න ඒ වගේ එබදු නොසන්සුන් අවස්ථාවකට පත්වෙනවා කියලා ඒ සාමාන්‍යයෙන් විතර්කයන් හික්මවා ගන්ට බැරි පුද්ගලයා පිළිබදව එහෙම ප්‍රකාශ කරලා ඊළඟ ගාථාවේ දක්වනවා. එතේ ච විද්වා මනසො විතක්කෙක - ආතාපියො සංවරති සතීමා අනුගතේ මනසො උප්පිලාවේ - අසෙසමෙතේ පජහාසි බුද්ධො අන්න ඊළඟට තමන් වහන්සේ ගැන ප්‍රකාශ කළා. ඔන්න ඔය කියාපු විතර්ක ජාතිය, විතර්ක සමූහය - එතෙව විද්වා මනසො විතක්කෙක “ආතාපියො සංවරති සතීමා” - ඒ බුදු පියාණන් වහන්සේ එහෙම නැත්තම් ඒ නුවණැති පුද්ගලයා මොකද්ද කරන්නේ “ආතාපී” කියල කියන්නේ කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව සතිමන්තව මේවා සංවර කරනවා. මේ විතර්ක සංවර කරනවා. හික්මවා ගන්නවා. මෙතන මේ විදියට හිතේ ඇතිවන මේ විතර්ක සියල්ලෙන්ම බුදුවරයා නිදහස් කියන එකයි එතන ඒ උදන ගාථාව වශයෙන් ප්‍රකාශ කළේ. ඒ මේඝිය ස්වාමීන් වහන්සේ කළ වරද මොකක්ද? දැන් අපිට හිතාගන්ට පුළුවන් මේඝිය ස්වාමීන් වහන්සේ ගියේ හොඳ වැඩකට තමයි. ප්‍රධාන වීර්යයටයි. ඒකයි බුදු පියාණන් වහන්සේ අන්තිමට කිව්වේ “ආ එහෙම කියනවා නම් අපි මොනවා කියන්නද? එහෙනම් යන්න” කියලා නමුත් ඒ ගියේ නියම අවස්ථාවට පැමිණෙන්න කලින්. ඉක්මන් වුනා වැඩියි. ඔන්න ඕකයි අපිට හිතාගන්න තියෙන්නේ. භාවනාව කියන එක හොඳ අදහසක් නමුත් මේඝිය ස්වාමීන් වහන්සේ ඉක්මන් වුනා වැඩියි. ඒ වගේම බරපතල වරදක් කළා. බුදු පියාණන් වහන්සේගේ වචනෙට අකීකරුවීම. තුන්වෙනි වරටත් අර ඉල්ලීම කළා. ඒක ආර්යෝපවාදී කර්ම වගේ බරපතල කර්මයක්. ඒකේ විපාකෙම ඇති හිත නොසන්සුන් වෙන්න. ඒ තරම් බරපතල දෙයක්. උපස්ථායකයෙක් හැටියට ඇවිල්ලා, ඒ වත පිළිවෙතත් අමතක කරලා, බුදු පියාණන් වහන්සේ පිළිබද වත පිළිවෙතත් අමතක කරලා, උපදෙසත් තොතකා අර විදියට භාවනා කරන්න ගියා. ලොකු අදහසක් නමුත් වැඩේට සුදානම් නෑ. සිත සකස්වෙලා නෑ තාම. දැන් ඔය වාහනයක් එළවන්න වුනත්, අළුත් වාහනයක් ගත්තත් තමන් ඒ වාහනය එළවන්න දන්නේ නැත්තම් “L” අකුර ගහගෙනයි කලක් යන්නේ තවත් කෙනෙක් ළහ ඉන්දවාගෙන. ඒ වගේ මේ ස්වාමීන් වහන්සේත් බුදු පියාණන් වහන්සේගෙන් උපදෙස් අරගෙන නිසි අවස්ථාවට යායුතු පුද්ගලයෙක්. නමුත් ඉක්මන් වුනා. ආඩම්බරය, මාන්නය නිසාත්. ඒකයි අර “බුදු පියාණන් වහන්සේ නම් වැඩ ඉවර කරගෙනයි මම තාම නෑ” කියලා ඒ විදියට වචන හිටං ප්‍රකාශ කළේ. ඉතින් ඒකටත් හරියන්න ඊළඟට බුදු පියාණන් වහන්සේ ඔන්න හිතේ ස්වභාවය, සිතක ස්වාභාවය, හෙළිකරන, අපි අර කලින් මාතෘකා කළ ගාථා ටික වදාළා. එඤ්ඤාණං වපලං චිත්තං දුරක්ඛං දුන්නිවාරයං උජුං කරෝති මේධාවී උසුකාරෝව තෙජනං හොඳ උපමාවකුත් එක්කයි. මේ පින්වතුන් දන්නවා ඔය ධම්මපද ගාථාවල - දැන් මේකත් චිත්ත වග්ගයේ තියෙන ගාථාවක් - බුදු පියාණන් වහන්සේ පුදුම විදියේ උපමා දෙන්නේ. දැන් මෙතන කියන්නේ මේ හිතේ ස්වභාවය “එඤ්ඤාණං වපලං චිත්තං - දුරක්ඛං දුන්නිවාරයං.” මේ හිත කියන එක - “එඤ්ඤාණං” කියලා කියන්නේ සැලෙනවා. මේක තේරුම් කරන්නේ දැන් රූප ශබ්ද ආදී අරමුණු හමුවේ මේ සිතේ සැලෙන ස්වභාවයක් තියෙනවා සාමාන්‍ය සාංසාරික සත්ත්වයා තුළ. ඒ සිත සැලෙනවා - “එඤ්ඤාණං” - “වපලං” ඒ වගේම සිත චපලයි. දැන් අර මේඝිය ස්වාමීන් වහන්සේ නිවන් දකින අදහසින් ගියේ. නමුත් චපලයි. අන්තිමට අර කාම විතක්ක ආදියට පවා යටවුනා. සිතේ ස්වභාවය මේකයි. අමුතු දෙයක් නෑ. මේක බලාපොරොත්තු විය යුතු තත්ත්වයක්. මොකද, අර සංසාර වට වළල්ලේ මෙච්චර කාලයක් දුවපු හිත එක පාරටම මේකෙන් පන්නගන්න අමාරුයි. අර සාංසාරික ජවයයි තවම යන්නේ. මේකට සැහෙන ලොකු ජවයක් ඇතුළතින් එන්ට ඕන. ඒකටයි අර කියාපු කාරණා පහ, අර ගුරු ආශ්‍රය ආදිය, උපකාර වෙන්නේ. ඉතින් - එඤ්ඤාණං වපලං - මේ සිත චපලයි. චපල කියන එක මේ පින්වතුන් දන්නවනේ. අමුතුවෙන් කියන්ට ඕන නෑ. ඒක වචනය පිළිබද චපල බව පමණක් නොවෙයි මෙතන කියන්නේ. දැන් “චපල” කියන එක අපි බොහෝවිට යොදන්නේ වචනය පිළිබදව. නමුත් මෙතන “චපල” කියන්නේ හිත කරන්න ගිය වැඩේ නෙවෙයි වෙන එකක් කරන්නේ. ඒකයි “එඤ්ඤාණං චපලං චිත්තං.” “දුරක්ඛං” කියලා කියන්නේ ඒකට උපමාව දෙන්නේ ගොයම් පැහිච්ච කාලෙක ගොයම ආරක්ෂා කර ගන්න අමාරුව වගේ හරකුන්ගෙන්, ඒවගේ මේ කමටහන් අරමුණ ආරක්ෂා කරගන්න, කමටහන් අරමුණේ සිත පවත්වා ගන්න, අමාරුයි - “දුරක්ඛං” මේ සිත රැක ගන්න අමාරුයි, කොටින් කියතොත්. ඒවගේම “දුන්නිවාරයං” සිත අකුසල අරමුණුවලට යාම වළක්වා ගන්නත් අමාරුයි. සිත රැකගන්න අමාරුයි. මේක බිඳගෙන, කඩාගෙන, යන්න හදන කොට ඒක වළක්වා ගන්න එකත් ලේසි නෑ. ඒක හිතේ තත්ත්වයයි. ඇත්ත ඇති හැටියට ප්‍රකාශ කිරීමයි බුදු පියාණන් වහන්සේගේ ධර්ම දේශනාවක දකින්න ලැබෙන ලක්ෂණය. ඉතින් සිතේ ඔය දුර්වලකම් බලාපොරොත්තු විය යුතු දේවල්. “උජුං කරෝති මේධාවී” නමුත් “මේධාවී” කියල කියන ප්‍රඥාවන්තයා, ඥානවන්තයා, මොකක්ද කරන්නේ? කුටිල වංක චපල සිත සෘජු කරනවා, කෙලින් කර ගන්නවා. කොහොමද? ඔන්න ඊළඟට උපමාව දෙනවා. “උසුකාරෝව තෙජනං” ඊතල හදන වඩුවෙක් - හී වඩුවෙක් - ඊතලයක් කෙලින් කරන්නා වගේ. ඊතලයක් කෙලින් කරලා ගන්න එක. ඊතලයක් කියන එක, අපි හිතමු කැලෙන් ඒකට ගැලපෙන හොඳ අරුටුව ඇති ලීයක් අරගෙන ඇවිල්ලා ඒක ඇහැල කියලා, ඊළඟට ඒක ඇද නම් ඒකට කෙළින් කරන ආකාරයට කූඤ්ඤ වගේ මොනවා හරි ක්‍රමයකින් ඒක කෙළින් කරලා ඊළඟට තෙල් ගල්වලා පදම් කරලා හොඳට උල් කරලා තමයි ඊතලයක් හදන්නේ. ඊතලය හදලා ගත්තාට පස්සේ ඒක කොයි තරම් ශක්තිමත්ද කියතොත්, කොයිතරම් විශාල වැඩක් කරනවද කියතොත්, අර දක්ෂ දුනුවායෙකුට අශ්ව ලෝමයක් විදින්න පුළුවන් විදුලි කොටන එළියෙන්. පින්වතුන් මේ උපමාව අහලා තියෙනවනේ “අඳුරේහි අස්ලොම විදින්ට දුරදී - විදුලිය පැහැ වැරදුනාහොත් වරදී” කියලා ඔය විදියට කියන්නේ. ඒ වගේ දෙයක් තමයි ඔය නිවන් දැකීම කියන එක. නිර්වාණාවබෝධයක් කරන්න ප්‍රඥා ශක්තිය දියුණු කර ගැනීමයි එතන කියන්නේ. මේ ඔක්කොම කරන්නේ සිතෙන් නේ. සිත අර විදියට හී වඩුවෙක් ඊතලයක් ක්‍රමානුකු උත්සාහයකින් පදම් කරලා කෙළින් කරලා තියුණු කරලා ගන්නවා වගේ, ඥානවන්තයා තමාගේ සිත - අර විදියේ දුර්වලතා ඇති සිත - සෘජු කරනවා කියලා එහෙම වදාළා. ඒ වගේම ඔන්න ඊළහට ප්‍රකාශ කරනවා තවත් උපමාවක් දක්වලා - වාරිජෝව එලෙ ඛිත්තො - ඔක මොකත උබ්භතො පරිප්ඵන්දතිදං චිත්තං - මාර ධෙය්‍යං පහාතවෙ එතනත් උපමාවක් දෙන්නේ. මාලුවගේ නිවාසය ජලයයි. අන්න ඒ ජලය නමැති නිවාසයෙන් ගොඩ අරගෙන ගොඩබිමේ දමාපු මාළුවෙක් යම් ආකාරයකට ඒ අතට මේ අතට දඟලනවද , අර පුරුදු මාරයාගේ රාජධානියෙන් ඉවත් වෙන්ට උත්සාහ කරන අවස්ථාවේ මේ සිත හරියට අර ‘දියෙන් ගොඩලූ මසෙකු මෙන්’ ඒ මේ අත සැලෙනවය කියලා. ඔන්න සිතේ තත්ත්වය බුදු පියාණන් වහන්සේ දක්වා වදාළා ඒ ගාථා දෙකෙන්. එතකොට, මෙය අපට කීප අතකින්ම වටිනා සූත්‍ර දේශනාවක්. දැන් අර කථාන්තරය ආශ්‍රයෙන් අපිට මේවට අඩුපාඩු තව එකතු කරගන්න පුළුවන්. ගාථාවල සාමාන්‍ය අදහස අපි මෙතන දැක්වූවේ. දැන් කථාන්තරය ගැන හිතලා බැලුවත් අපි කලින් සඳහන් කළ ආකාරයට භාවනායෝගියෙකුගේ - යෝගාවචරයෙකුගේ - නිවන් දැකීමේ අදහස හොඳයි. ඒ ඕනකම හොඳයි. නමුත් ඒකට සුදුසු ආකාරයට සිත සකස් කර ගත යුතුව තිබෙනවා - ඒකට ඕන කරනව ඡන්දය. ඒ කියන්නේ බලවත් ඡන්දයක් ඕන කරනව. ඉස්සෙල්ලම, ප්‍රධාන කාරණය ගුරුහරුකම් ඕන. ඒකටයි කළ්‍යාණ මිත්‍ර ආශ්‍රය. ඊළඟට එකට ඕන කරන ඡන්දය කියලා කියන බලවත් ඕනෑකම. කෙනකු තුළ ඇත්ත වශයෙන්ම බලවත් ඔනෑකමක් ඇති වෙන්න ඕන. දැන් අර මේඝිය ස්වාමීන් වහන්සේ හිතුවා නිවන් දකින අදහසින්, එහෙම නැත්තම් ලොකු ශ්‍රද්ධාවකින්, මහණ වුනු පමණින්ම තමන්ගේ හිතට මේ කෙලෙස් ගලාගෙන එන්තේ නෑ කියලා. එහෙම හිතලා තමයි අර සංවේගයට පත් වුනේ. නමුත් මේක ධර්මතාවක්, දැන් අපි වාහනයක් ගැන කිව්වා වගේ කල්පනා කරල බලමු. දැන් ඔය වාහනය සාමාන්‍යයෙන් ගැරේජ් එකක නවත්තලා තියෙන කොට එකට අනතුරු වෙන්නේ නැහැ. ගැරේජ් එකක තියෙන වාහනයකට කවදාවත් ඔය වාහන අනතුරු කියන ජාතියක් වෙන්නේ නෑ. පාරට අරගත්තු හැටියේ ඉදලා තමයි ඔන්න අනතුරුවලට මුහුණ දෙන්ට සිද්ද වෙන්නේ. ඒ වගේ තමයි යෝගාවචරයා භාවනා කරන්න ඕන කියලා හිත හිත ඉන්න කාලෙදී මොකුත් අනතුරක් නෑ. ඒකට බැහැලා විවේකයට ගිය දවසට තමයි ඔන්න මාර පීඩන එන්නේ. අන්න ඒකයි තත්ත්වය. ඒක බලාපොරොත්තු විය යුත්තක්. ඒකට සුදානම් වෙලා යන්න කියන එකයි බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. අර විදියට ගුරු ආශ්‍රයක් තියෙන්න ඕන. ගෞරවයකින් ඒ උපදෙස් පිළිපදින්න ඕන. ඊළඟට බලවත් ඡන්දයක් තියෙන්න ඕන. ඊළඟට තමන්ගේ ශීලයෙන් සම්පූර්ණ වෙන්න ඕන. සිල්වත් වීම නැත්තම් පසුතැවිලි ඇති වෙනවා. ගිහිල්ලා ඉද ගත්තහම “අපෝ මං මෙහෙම මෙහෙම කරල තියෙනවා නේද” කියලා ඒ විතර්ක - පසුතැවිලි පිළිබදව. දැන් මේ පින්වතුන් දන්නවා. භාවනා කරන කෙනෙක්, සිත සමාධිමත් කර ගැනීමට උත්සාහ කරන කෙනෙක්, ඒ සමාධිය අවුරාලන නීවරණ ධර්ම 5ක් පිළිබදව දැනගෙන තිබෙන්නට ඕන. කොයි ආකාරයකින් නමුත් - වචන වශයෙන් හෝ සාමාන්‍ය වශයෙන්. කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන වචන වශයෙන් තිබෙන එක අපි සාමාන්‍යයෙන් සිංහලයට නැගුවොත් කාමයන් පිළිබද සිතිවිලි, එහෙම නැත්තම් කාම සිතිවිලි ඊළඟට ද්වේශ සිතිවිලි ඊළඟට නිදිමත අලසගති ඊළඟට උද්ධච්ච කුක්කුච්ච කියල කියන්නේ නොසන්සුන්තාවන්, නොසන්සුන්තාව කියලා කියන්නේ අනාගතය පිළිබද නොසන්සුන් සිතිවිලි. ඒ වගේම පසුතැවිලි. අතීතයේ කරපු කියපු දේවල් පිළිබද පසුතැවිලි. ඔය දෙක එකක් හැටියටයි දක්වන්නේ. විචිකිච්ඡා කියලා කියන දෙගිඩියාව. මේක හරියාදෝ නොහරියාදෝ කියලා ඔය විදියට දෙගිඩියාව. ඔය කාරණාවලින් සිත මුදගෙන තමයි යම්කිසි කෙනෙක් සිත තැන්පත් කරගන්නේ. සමාධිය කියල කියන්නේ තැන්පත් බව. ඔන්න ඕව නැති කර ගැනීමට උපකාර වෙනවා අර කියාපු කාරණා. දැන් ශීලය, විශේෂයෙන්ම ශීලය අපිරිසිදු නම් ඒ තැනැත්තාට අර විදියට කුකුස් ඇතිවෙනවා. තමන්ගේ අතීතය පිළිබදව සිතිවිලි ගලාගෙන එනවා. මෙහෙම මෙහෙම කරලා තියෙනවා නේද කියලා. ඉතින් ඒක නිසා ශීල සම්පන්න වෙන්න ඕන. ඊළඟට ඒ වගේම අර දස කථා වස්තු ඇසීමෙන් තමන් තුල මේ නිවන පිළිබද යම්කිසි අවබෝධයක්, ගමන් මාර්ගය පිළිබද යම්කිසි අවබෝධයක් ලබාගන්නවා වගේම ඒවා තුළින් කළ යුතු දේවල් - අල්පේච්ඡතාව, සන්තුෂ්ටිතාව ආදී ඒ ගුණ ධර්ම පිළිබද යම්කිසි අවබෝධයක් ලබාගෙන ඒක අනුව හික්මෙන්නත් ඕන. ඊළඟට ආරද්ධවීර්ය කියල කියන්නේ දැඩි වීර්යයක්, නොපසුබට වීර්යයක් අධිෂ්ඨාන කරගෙන යන්න ඕන. ඊළඟට ඒ වගේම ප්‍රඥව තියෙන තැනැත්තෙක් - ඥානවන්ත, ප්‍රඥාවන්ත පුද්ගලයෙක් - වෙන්න ඕන. ඔය විදියේ කාරණා. ඒවා මුකුත් තොතකා, විශේෂයෙන්ම අර බුදු පියාණන් වහන්සේගේ උපස්ථානය ගැන කිසිත් නොතකා, එහෙම යාම තුළින් කෙනෙකුට භාවනාව සාර්ථක කර ගන්න බැහැ. ගුරු ඔවදනට පිටුපෑ අවස්ථාවේ දියුණුවක් බලාපොරොත්තු වෙන්න බෑ. ඉතින් ඒ කථාවෙනුත් අපට බොහොම ආදර්ශ ගන්න පුළුවන්. ඊළඟට මේ අනිකුත් කාරණා. අපි හිතල බලමු. මේ කියපු භාවනා හතර ගැන. ඒක පිළිබදවත් කල්පනා කරලා බැලුවොත් දැන් බුදු පියාණන් වහන්සේ මෙතන මේ භාවනා 4 දෙන ආකාරයත්, සමහර විට ක්‍රමානුකූලයි කියලා හිතන්න පුළුවන්. බොහෝවිට බුදු පියාණන් වහන්සේගේ දේශනා - බොහෝ විට නෙවෙයි හැමවිටම - කොටින්ම කියතොත් බුදු පියාණන් වහන්සේගේ දේශනාවක්ද මේක, නැද්ද, කියන එක තේරුම් ගන්න හොඳම ක්‍රමය තමයි මේ කාරණාවල ගැලපීම කොහොමද කියල බැලීම. ඒතරම් පුදුම විදියට ගැලපෙන්නේ. පළවෙනි එක ළහට, දෙවෙනි එක. දෙවෙනි එක ළහට, තුන්වෙනි එක. තුන්වෙනි එක ළහට, හතරවෙනි එක. හතරවෙනි එක ළහට, පස්වෙනි එක. ඔය විදියට. දැන් මෙතනත් දක්වන්නේ - භාවනා වශයෙන් දක්වන කොටත් කලින්ම දක්වනවා. මේ සත්ත්වයා සාංසාරික සත්ත්වයා තුළ තිබෙන ප්‍රබලම - මේ පින්වතුන් කවුරුත් දන්නවනේ - ප්‍රබලම සාංසාරික පුරුද්ද තමයි ඇල්ම. ඇලීම, රාගය. ඒක කොයි ආකාරයෙන් ගත්තත් සියුම් හෝ රළු හෝ දැඩි ඇලීම් තමයි, ඇලීම ස්වභාවයයි. මේ සංසාරයේ තිබෙන්නේ තණ්හාව කියලා කියන්නේ වෙන අර්ථයකින් ඕකමයි. එතකොට ඒකට ප්‍රතිකර්මය තමයි අසුභය. විශේෂයෙන්ම මේ ඇලීම ඇතිවන්නේ තමන්ගේ ශරීරයට තිබෙන ඇල්ම නිසයි. එතකොට අසුභය වැඩීමෙන් කරන්නේ ශරීරයේ අසුභ ස්වභාවය වටහා ගැනීමයි. මොකක් නමුත් කමටහනක් - කෙස්, ලෝම්, නිය, දත් ආදී ඒ දෙතිස් කුණුප කොට්ඨාශවලින් යම්කිසි දෙයක් හෝ එහෙම නැත්නම් උද්ධුමාතකාදි මළමිනී පිළිබද යම්කිසිවක්. මේ ශරීරයේ අසුභය මෙනෙහි කරන කරන එකටයි අසුභ සංඥාව කියල කියන්නේ. ඒ අසුභ සංඥාව වැඩිය යුතුයි, රාගය ප්‍රහාණය කිරීම සදහා. ඊළඟට, ඒ වගේම ඊළඟ එක තමයි - ඒ එක පැත්තකින් ඇලීම - අනික් පැත්තෙන් කියෙන්නේ ගැටීම, ඇලීම සම්පූර්ණ නොවීම නිසා හෝ බොහෝවිට ගැටීම කියන එකත් සිතේ ඇතිවන බරපතල දුර්වලතාවක්. ඒකට ප්‍රතිකර්මය තමයි මෛත්‍රී භාවනාව. ඒක මේ පින්වතුන්ට බොහොම පහසුවෙන් හිතාගන්න පුළුවන්. ඔන්න ඊළඟට - දැන් මේ සිත සකස්කර ගැනීම, සිත ඍජු කර ගැනීම, නේ මේ කථාව. දැන් සිත කුටිල - වංක වෙලා යන්නේ, චපල වෙන්නේ, ඔන්න ඔය දෙක අතරෙයි - ප්‍රධාන වශයෙන්. නමුත් ඒතනින් වැඩි ඉවර නෑ. සාමාන්‍යයෙන් අපි පංච කාම සම්පත්තිය ගැන කථා කරනවා. පංච කාමය කියල කියන්නේ මේ බාහිර ඉන්ද්‍රිය පහෙන් - ඇස, කණ, නාසය, දිව, කය කියන ඉන්ද්‍රියයන් පහෙන් - එන අරමුණු. මේවා නිසයි අපේ හිත් කැළඹෙන්නේ කියන එකයි සාමාන්‍ය ලෝකයා හිතන්නේ. ඒක නිසා සමහර කෙනෙක් හිතනවා දැන් ඉතින් මේවායින් ඇහැත් වහගෙන, කණත් වහගෙන, ඇතිත් ඒවත් පුළුවන් තරම් වහගන, විවේක තැනකට ගියොත් මට පුළුවන් නිවන් දකින්න කියලා. ඒක වැරදි අදහසක්. මොකද, මේ ඉන්ද්‍රියයන් පහෙන් ගත්තු අරමුණු ඔක්කොම හිතේ එකතු වෙනවා. දැන් මේ පින්වතුන් දන්නවා මේ ඉදිරිපිට තියන යන්ත්‍රය වගේ දැන් මේ කාලේ නොයෙකුත් යන්ත්‍ර පහළ වෙනවා. ඒවා වගේ දෙයක් තමයි මේ අපේ විඤ්ඤාණය කියන එකත්. අතීත සංසාරයේ ගත්තු ඒ සාංසාරික පුරුදු රාශිය ඔක්කොම මේ විඤ්ඤාණයේ තැන්පත් වෙලා තියෙනවා. ඇලුම්, ගැටුම්. ඊළඟට ඒ වගේම ඔය පංචේන්ද්‍රියයන්ගෙන් ගත්තු අරමුණු යම්කිසි ආකාරයකින් ඒවා හිතේ තැන්පත් වෙනවා. මේ පහ වටේට ඉදගෙන ඔක්කොම දූතයෝ වගේ ගෙනල්ලා හිතේ තැන්පත් කරනවා. ඉතින් ඒ හිතේ තැන්පත් වෙච්ච ඒවා මතු වෙන්නේ අන්න අර අවස්ථාවේදී ගිහිල්ලා තනිව ඉදගත්තට පස්සේයි. ඇහැට රූපයක් එන්නේ නෑ. කණට ශබ්දයක් එන්නේ නෑ. මේ ඔක්කොම ගෙන්ම ආරක්ෂා වෙලා. නමුත් සිත ඇතුළෙන් පැන නගිනවා. අර සාංසාරික වශයෙන් චරිතානුකූලව, ඒ වගේම කර්මානුරූපව, මේ විඤ්ඤාණය තුළින් මතුවන නානාවිධ කෙලෙස් විතර්ක. අන්න ඒවට තමයි මේ මේඝිය හාමුදුරුවෝ යටවුනේ. ඉතින් ඔන්න ඔය තත්ත්වයයි දැන් තිබෙන්නේ. ඒකට ප්‍රතිකර්මය තමයි බුදු පියාණන් වහන්සේ ඊළඟට දෙන්නේ - ආනාපාන සතිය. ආනාපාන සතිය කියන එක ඉතාම සියුම් භාවනාවක්. ඒක අපි සාමාන්‍යයෙන් උපමාවකට කිව්වොත් - දැන් භාවනා කර්මස්ථාන කොතෙකුත් තියෙනවා. නමුත් ආනාපාන සති භාවනාව තමයි රජ මාවත. අපිට කියන්ට පුළුවන් ඒක රජ මාවත වගේ කියල. මොකද, හැම බුදු වරයෙක්ම බුදුබව ලැබුවේ ආනාපාන සති භාවනාවෙන්. කල්පනා කරලා බැලුවොත් තමන්ට තේරෙනවා අනිකුත් අතුරු අසුභ භාවනාවකින් හෝ මෛත්‍රී භාවනාවකින් හෝ සිත තැන්පත් කර ගත්තු අවස්ථාවේ, හරියටම තමන්ගේ ආශ්වාස ප්‍රශ්වාසය පිළිබදව නිරායාසයෙන්ම තමන්ගේ සතිය එළඹෙන්නේ. ආනාපාන සති කියලා කියන්නේ ආශ්වාසයත්, ප්‍රශ්වාසයත් පිළිබදව සිහිය. ඒකට සිහිය සාමාන්‍යයෙන් යෙදෙන්නේ නෑ. හුස්ම ගන්න බවවත් මතක නෑ බොහෝ දෙනාට. මේක මේ සදාකාලිකව ක්‍රියාකරන යන්ත්‍රයක් කියලයි හිතන්නෙ. මේකට යටින් තියෙන පණ කෙන්ද උඩයි මේ ඔක්කොම රඳා පවතින්නේ කියන එකත් සාමාන්‍ය ලෝකයාට අමතකයි. නමුත් අන්න අර විදියට මේ බරපතල ක්ලේශ දෙක රාගයත්, ද්වේෂයත් මට්ටු කරනවා, අසුභ භාවනාවෙනුත්, මෛත්‍රියෙනුත්. එහෙම කර ගත්තට පස්සේ, ඔන්න ආනාපාන සතිය බොහොම පහසුයි. හැබැයි ආනාපාන සතිය මෙතන කියල තියෙන්නේ විතර්ක කපා හරින්න. සමහර යෝගාවචරයින් කියනවා. “බුදු පියාණන් වහන්සේ මෙහෙම කිව්වට මොකද විතර්ක කපා හරින්න කියලා, මෙන්න ආනාපාන භාවනාවට ඉදගත්තහම තමයි මේ විතර්ක ගලාගෙන එන්නේ”. ඒක අහන්ට දෙයක් නෑ. දැන් ලෙඩක් මතු වෙන්නේ ලෙඩේට බෙහෙත් කරන්න ගත්තහමයි. සමහරවිට. ඇතුළේ තියෙන ලෙඩේ. ඉතින් ඒකට මුහුණ දෙන්ට සුදානම් වෙන්ට ඕන. ඒකට ඕන බෙහෙත් තිබෙන්න ඕන. ඔන්න ඔය විදියේ තත්ත්වයක් තියෙන්නේ, ආනාපාන සතියේ. ලෙඩේ නොතිබුනා නොවේ. තිබෙන ලෙඩේ මතුවුනා. සමහර වෙද්දු එහෙමනේ කරන්නේ. ලෙඩේ මතු කරලා ගන්න ඉස්සෙල්ලා දෙනවා හොඳට විරේක කසායක්. මොකක් හරි දීලා ලෙඩේ මතු කරලා තමයි ඊළඟට ඊට ඕන බෙහෙත් රසායනය දෙන්නේ. ඒ වගේ, විරේක කරනවා අර විදියට. නමුත් ඔන්න යටින් එනවා විතර්ක සමූහය. විතර්ක සමුදාය එනවා. කොයිතරම් බලසම්පන්නද කියන එක දැන් මේ ස්වාමීන් වහන්සේගේ මුළු හවසම උත්සාහ කරන්න ඇති අර ලස්සන, රමණීය, අඹ ගහ යට ඉදගෙන - හොඳ හැටි පර්යංකයෙන් ඉදගෙන - බෑ හිත එකඟ කරගන්ට. බැරිම තැන තමයි ගියේ. ඒ තරම් බලගතුයි මේ විතර්ක වේගය. ඒක තමයි මහ පුදුම විදියේ දේ. මේ ලෝකයා මැඩලන්නේ මෙන්න මේ විතර්ක සමුහයයි. මේක හිත තුළින් එනවා කර්මානුරූපව ඒ ඒ පුද්ගලයාගේ චරිතානුකූලව. මේවා කපා හරින්ට උපකාර වෙනවා ආනාපාන සතිය. ආනාපාන සතිය තුළින් අරව එක එක මට්ටම්වලින් තමන්ට අවබෝධ වෙනවා. ලෙඩේ ඒ ඒ මට්ටම් මතුවෙන කොට තමයි ඒකට ප්‍රතිකර්ම යෝදන්ට පුළුවන් වෙන්නේ. ඉතින් ඒ ඇතුළතින් එන විතර්ක - මේවා තුළින් අන්තිමට හිත විසිරෙන කොට මේ තැනැත්තාට අවබෝධයක් එනවා. දැන් අපි අනිත්‍ය සංඥාව ගනිමු. ඔන්න දැන් හතරවෙනිව බුදු පියාණන් වහන්සේ අනිත්‍ය සංඥාව ගැන කියන්නේ මොකද කියන එකත් අපි තේරුම් ගනිමු. එක ටිකක් ගැඹුරු අදහසක්. මේ ටික තේරුනා නම් මේ පින්වතුන්ට - රාගය, ද්වේශය ඒ දෙකට ප්‍රතිකර්ම යොදලා ආනාපාන සතිය තුළින් ලෙඩේ මතු කර ගත්තා. ඒ කියන්නේ විතර්කයි. මට තියන්නේ දැන් විතර්ක එක්ක සටනයි. විතර්ක කියලා කියන්නේ මොකක්ද? අර ඉන්ද්‍රිය පහෙන් මේ තාක් සංසාරයේත්, මේ ජීවිතේදිත්, අද ඊයේ හෝ වේවා අතීතයේ හෝ වේවා, ගත්තු අරමුණු මේ හිතේ තැන්පත්වෙලා තිබෙනවා. ඒවා මතුවෙලා මේ යෝගියාට කරදර කරනවා. ඉතින් ඒවා ඒ මතුවෙන අවස්ථාවලදී මේ තැනැත්තාට ඒවා එක්ක සටන් කරන්න සිද්ද වෙනවා. ඒකටයි අර “ආතාපියො සංවරති සතීමා” කිව්වේ. අර බුදු පියාණන් වහන්සේ දේශනා කළ ඒ මුල් ගාථාවල ‘කුද්ද වීතක්කා සුඛුමා වීතක්කා අනුගතා මනසො උප්පිලාවා’ ආදී වශයෙන් ප්‍රකාශ කළේ, කුඩා විතර්ක, බොහොම පොඩි දේවල් - ලොකු දේවල් නෙවෙයි. සමහර විට අවුරුදු ගණනකට කලින් කවුරු හරි කියාපු වචනයක්. ඉතින් ඒක උඩ සමහර විට ද්වේෂයක්. එහෙම නැත්නම් අවුරුදු ගණනාවකට කලින් යන්තම් කොහේදි හරි දැක්ක රූපයක්. මේක උඩ විතර්ක එනවා. ඒවා ඉවත් කර ගන්ට බැරි තරමට කඩාගෙන එනවා. ඔන්න ඔය විදියේ තත්ත්වයක් යෝගාවචරයෙකුට අත් දකින්න ලැබෙනවා. ඉතින් එබඳු අවස්ථාවල ඔන්න පේනවා, මේ විතර්ක කොයිතරම් බරපතල බාධකයක්ද භාවනාවට කියලා. මේවා කපා හරින්ට ශක්තිමත් වෙන්ට ඕන. ඉතින්, අර කුඩා විතර්ක, සුළු විතර්ක, ඕවා හිත ඇතුළෙන්ම ඇවිල්ලා සිත ඉල්පවනවා. උලුප්පනවා. අන්න මේවා සංවර කරන්නේ කොහොමද - “ආතාපියො” - කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව ඉඩ නොදී. ඒකට උපකාර වෙන්නේ කර්මස්ථාන අරමුණයි. දැන් මේ පින්වතුන් දන්නවා - දැන් ගොයම් පැහෙන කාලේ කෙනෙක් හරකෙක් බදින්නේ ඒ අර ගොයම්වලට ඇදෙන එක වළක්වන්නයි. ඒ හරකත් පුළුවන් තරම් උත්සාහ කරනවා ගොයමට ඇදෙන්න. බැහැ, ආයෙත් එනවා. පස්සේ බැරීම තැන කණුව ළහ ඇවිල්ලා ලගිනවා. අන්න ඒවගේ සිත කමටහනක බැඳීමේ වටිනාකම ඒකයි. යම්කිසි කමටහනකට සාපේක්ෂකවයි - කමටහනක් අල්ල ගත්තහම තමයි - එයින් පිට යනවා කියන අවබෝධයක් ලබාගන්ට පුළුවන් වෙන්නේ. ඇතැම් කෙනෙක් කල්පනා කරනවා මේ හිත ඔහේ යන හැටි බලාගෙන සිටි පමණකින් මේ හිත තැන්පත් කර ගන්ට පුළුවන් වේවි කියලා. ඒක හරියන්නේ නෑ. අර කුළු ගොනෙක් දුවන කොට ඒකත් එක්ක දුවලා කවදාවත් බෑ මේක කරන්න. ඒ වෙනුවට කරන්න ඕන යම්කිසි කමටහනක් දෙන්ට ඕන. කණුවක බඳින්න ඕන. බැන්දට පස්සේ තමයි ඇදෙන ඇදෙන වාරයක් පාසා කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව, සිහියෙන් යුක්තව - සතිය එතන උපකාර වෙනවා. සති සම්පජඤ්ඤය කියන වචන දෙක, සිහියයි, නුවණයි, ඒ දෙක යොදලා - ඒ ඒ අවස්ථානුකූලව ඉතාම ශීඝ්‍රයෙන් පුළුවන් ඉක්මනින්, ආයෙත් අර කණුව ළහට ගේනවා. කමටහනට ගේනවා, හිත ඈතට යන්න නොදී. හිත ඈතට යන්න දුන්නොත් දන්නෙම නැතිව තමන් ඉන්නේ කොහෙදවත් දන්නේ නැති තත්ත්වයට පත්වෙනවා. ඔය විතර්කවල ස්වභාවයයි. ඒක නිසා තමයි මේ පින්වතුන් දන්නවා, දැන් ඔය සිතේ ස්වභාවය ගැන සාමාන්‍ය අවබෝධයක් තියෙන කෙනෙකුට යම්කිසි දෙයක් ස්පර්ශ වෙනවා. තැවරෙනවා. ඒක අනුව වේදනාවක් එනවා. ඒ වේදනාව කමන්ට සැප වේදනාවක් වෙන්ට පුළුවන් දුක් වේදනාවක් වෙන්ට පුළුවන්. මධ්‍යස්ථ වේදනාව නම් නොදැනෙන තරමයි. ඒ ගැන සාමාන්‍ය උපේක්ෂාවයි තියෙන්නේ. අඥාන උපේක්ෂාවයි, බොහෝ විට සැප වේදනාවක් හෝ දුක් වේදනාවක්. ඔය දෙක අනුව ඊළඟට යම්කිසි සංඥාවක් ගන්නවා. හොඳ හෝ නරක හෝ ඒ විදියට යම්කිසි සංඥාවක් ගන්නවා. ඒ සංඥාව උඩයි ඔන්න විතර්ක ගොඩ නැගෙන්නේ. ඒ විතර්කවලට යටවුනාට පස්සේ සිද්ද වෙන දෙයක් තියෙනවා. ඒකට කියන්ට පුළුවන් ප්‍රපංචය කියල. ප්‍රපංචය කියලා කියන්නේ අර විතර්ක නිසා, ඒවා ලියලා යාම නිසා, අන්තිමට මහා පුදුම මෝහනයකට පත් වෙනවා. බරපතල මෝහනයට පත්වෙනවා. විතර්ක තුළම ඒ අතට මේ අතට හැසිරෙනවා. අතීතයට අනාගතයට දුවමින් තමන් ඉන්නේ කොහේදවත් නොදන්නා තරමට. ඔන්න ඔය අවස්ථාවල් ධර්මයෙන් දක්වලා තියෙනවා. “යං වේදෙති තං සඤ්ජානාති” යමක් විඳීද එය හඳුනාගනී. “යං සඤ්ජානාති තං විතක්කෙති” හඳුනා ගත්තා දේ පිළිබදවයි විතර්ක සිතිවිලි පවත්වෙන්නේ. “යං විතක්කෙති තං පපඤ්චෙති” යමක් පිළිබදව විතර්ක කරනවා නම් ඒ තැනැත්තා ඒක පිළිබදව ප්‍රපංචයට පත්වෙනවා. තමන්ටම ඒ අගක් මුලක් හොයාගන්ට බැරි විදියේ මහා වැල් වටාරම් සිතිවිලි රාශියකට යටවෙලා අන්තිමට ඒ තමන්ම හදාගත්ත සිතිවිලි වලටම යටවෙලා තමන් ආපු පරමාර්ථයත් අමතක වෙනවා. අන්න ඔය විදියේ තත්ත්වයකට සිත වික්ෂිප්ත වෙනවා. මේ ඔක්කොම සිද්ද වෙන්නේ මක් නිසාද? අන්න අර “අයෝනිසෝමනසිකාරය” නිසා. අන්න එතෙන්දි අපිට අර බුදු පියාණන් වහන්සේ වදල “යෝනිසෝමනසිකාරය” කියන වචනයේ තේරුම වැදගත් වෙනවා. දැන් මෙනෙහි කිරීම කියන එක, මනසිකාරය කියන එක, සාමාන්‍ය ලෝකයා කවුරුත් දන්නවා. මෙනෙහි කරන්න පුළුවන් හැකියාවක් තිබෙනවා අපේ සිත්වල. මොකක් හරි මෙනෙහි කරනවා. මනසට, සිතට නගා ගන්නවා. මේ මෙනෙහි කිරීම සාමාන්‍ය ලෝකයා කරන්නේ “අයෝනිසෝ”. ඒක සමහර පරණ පොත්වල තියෙන්නේ “නුණුවනින්” කියලා. එහෙම නැත්තම් අඥාන විදියට. අපිට මේ කාලේ හැටියට තේරුම් කරන්න පුළුවත් “අනිසි මෙනෙහි කිරීම”, අඥාත මෙනෙහි කිරීම. ඒක වැරදි මෙනෙහි කිරීම, කෙලෙස්වලට ඉඩදෙන විදියට. යෝනිසෝමනසිකාර කියල කියන්නේ නුවණින් මෙනෙහි කිරීම, තවත් ගැඹුරින් කල්පනා කරලා බැලුවොත් “යෝනිසෝ” කියලා කියන්නේ විතර්කයක්, සිතිවිල්ලක්, ඇතිවෙන මූල තැනටම හිත යොදලා - ලෙඩක්හට ගන්න හේතුවටම හිත යොමු කරලා - මෙනෙහි කිරීමයි. ඒක තමයි භාවනායෝගියා කළ යුතු මෙනෙහි කිරීම. යෝනිසෝමනසිකාරය. දැන් මෙතනත් ඒකයි. අර ඇතට යන්න නොදී - ස්පර්ශය ආවා ඊට ඇතට යන්න නොදී - වේදනාවට ඉඩ දුන්න හැටියේ ඊළඟට ඒක අනුව සංඥාවල් එනවා. සංඥාවල් ආව හැටිය ඒ සංඥා පුවරු අනුව ගිහිල්ලා විතර්ක - සිතිවිලි - හිතේ ගොඩනගා ගන්නවා. ඒ විතර්කවලට යටවීම තමයි ප්‍රපංචය කියලා කියන්නේ. ඔන්න ඔය විදියේ තත්ත්වයක් මේ ලෝකයේ තියෙනවා. මේක තුළයි මුළුමහත් සංසාරය තිබෙන්නේ. මේ සිතිවිලි තුළයි, සිතෙන්මයි මේ සංසාරය මවන්නේ, සිතෙන්මයි, සංසාරයෙන් මිදෙන්නේ. එතකොට මේක ආශ්‍රයෙන් අපිට හිතාගන්ට පුළුවන් බුදු පියාණන් වහන්සේ දුන්න මේ අනිත්‍ය සංඥාව. ඇත්ත වශයෙන් අනිත්‍ය සංඥාව කියන එක සාමාන්‍ය ලෝකයේ හැම දෙනාටම හිතාගන්ට පුළුවන්. මේ අනිත්‍ය සංඥාව කියන එක එදිනෙදා ජීවිතයේදී නම් අපි කවුරුත් දකිනවා. ඔන්න මොකක් හරි තිබුණ එක දිරාපත් උනා. ඒක අර රළු පැත්ත, ඕලාරික පැත්ත - අනිත්‍ය සංඥාවේ ගැඹුරුම පැත්තෙන් අනිත්‍ය සංඥාව මතු වන්නේ සිතිවිලිවල අනිත්‍ය ස්වභාවය දැකීමෙනුයි. මේ සිතිවිලි - දැන් අපි “මගේ සිතිවිලි” කියලා ගන්න එක පවා මේ විදියට මෙහෙම විසිරෙනවා නේද? එහෙම නැත්නම් අතීත කෙලෙස්වල බලපෑම නිසා මේ සිත විසිරෙනවා නේද කියන ඒ විසිරෙන ස්වභාවය ගැනත් යම්කිසි අවබෝධයක් ලබනවා - අර ශික්ෂණය තුළින්ම. අර ශික්ෂණය කරනවා. ශික්ෂණය කරන්නේ සමාධියෙන් සිත තැන්පත් කර ගන්ට. නමුත් තැන්පත් සිතට වැටහෙන්නේ - යථාභූත වශයෙන් වැටහෙන්නේ - මේ සිතේ ස්වභාවයයි. මේ එක හිතක් නෙවෙයි “මමයි” කියලා කියන්ට දෙයක් නෑ මෙතන. එක එක සිතිවිලි එනව එක එක මොහොතකට. මේ මොහොතකට ඇතිවෙන සිතිවිලි. මේක අපි දැඩිව උපාදාන වශයෙන් අල්ලා ගැනීම නිසයි මේ ඔක්කොම සංසාරයක් මැවෙන්නේ, පැවැත්මක් ඇතිවෙන්නේ, කියන අවබෝධය එනවා. ඒක තමයි බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කලේ. අනිත්‍ය සංඥාව ඇති තැනැත්තාට අනාත්ම සංඥාව පිහිටනවය. අනාත්ම සංඥාව ඇත්තේ මේ “අස්මිමාන” කියලා කියන - “වේමි” කියලා කියන - සියුම් මානය ඉවත් කරලා දිට්ඨධම්මයෙහිම උතුම් අමා මහ නිවනින් සැනසෙනවය කියලා වදාළේ ඒකයි. මොකද, අර හිතේ වික්ෂිප්ත වන, විසිරෙන, ස්වභාවය නිසා මෙතන “මමෙයි” කියලා ගන්න, මෙතන ආත්මයක් කියලා දෙයක් නෑ කියන අවබෝධය එනවා. මේ සිතිවිලි එනවා. එන එන එක ඒ ඒ තැන්වල ලත් තැන ලොප් කරනවා වගේ ලොප් කරන අතරෙම තමන්ට අවබෝධයකුත් එනවා මෙතන මමෙයි කියලා අල්ල ගන්න දෙයක් නෑ. “මගෙයි” කියලා ගන්න දෙයක් නෑ. දැන් “මමෙයි” කියලා අල්ලගත්ත සිතිවිල්ල තව මොහොතකින් ඉවර වෙනවා. නැතිවෙලා යනවා. ඒ ටික අවබෝධ වෙන්නේ අර සති සම්පජඤ්ඤය කියලා කියන සිහිය හා දැනුවත් බව - සිහිනුවණ - කියන එක හොඳට යෙදුණු අවස්ථාවෙදීයි. ඉතින් ඒකත් ඇත්ත වශයෙන්ම සමාධියක්. මොකද, බුදු පියාණන් වහන්සේ එක් අවස්ථාවක දක්වනවා, සමාධි භාවනා 4ක් දක්වන තැන - අපි අදාළ දේ පමණක් කියමු - එක සමාධි භාවනාවක් මොකද්ද? “මහණෙනි සති සම්පජඤ්ඤය දියුණු කර ගැනීම සදහා උපකාර වන සමාධි භාවනාවකුත් තියෙනවා” මොකද්ද ඒ සමාධි භාවනාව? ඒක දක්වන්නේ, ඔන්න යම්කිසි භික්ෂුවකට දැනුවත්වම වේදනාවක් හට ගන්නවා. දැනුවත්වම ඒවා පවතිනවා. දැනුවත්වම ඒවා නැතිවී යනවා. ඒ වගේම දැනුවත්වම සංඥාවල් ඇතිවෙනවා. දැනුවත්වම ඒවා පවතිනවා. දැනුවත්වම ඒවා නැතිවී යනවා. ඒ වගේම දැනුවත්වම විතර්ක (සිතිවිලි) පැන නගිනවා. දැනුවත්වම පවතිනවා. දැනුවත්වම නැතිවෙලා යනවා. මේක තුල තියෙන ධර්මතාව මොකද්ද? අර වචන තුනටයි එන්නේ ඇතිවීම, පැවතීම, නැතිවීම, ඇතිවෙනවා, පවතිනවා, නැතිවෙනවා. අපි කෙටියෙන් ගත්තොත් ඇතිවීමයි, නැතිවීමයි, දෙක පමණයි තිබෙන්නේ. නමුත් අර පැවතීම කියල කියන්නේ අන්න අර උපාදනය - අල්ලා ගැනීම. ඒ අවස්ථාව තුළ , ඒ තුළ ඒක “පවතිනවා”. ඒක තුළ “කෙනෙක්” පවතිනවා. ඉතින් අන්න ඔව්වරයි ලෝකයේ තිබෙන්නේ. ඇතිවෙනවා, පවතිනවා, නැතිවෙනවා. මේක හොඳට ගැඹුරින්ම ප්‍රත්‍යක්ෂ වෙන්නේ - දැන් දුව්‍ය ලෝකයේ ඇතිවීමත් නැතිවීමත් අතර වෙනස බොහෝ දෙනාට අවබෝධ කරගන්ට අමාරුයි. මේවා දීරාපත් වීම සාමාන්‍ය ලෝකයේ අවබෝධ වෙන්නේ නෑ. මේක අහක දාන දවසට, කුණුගොඩකට දාන දවසට තමයි. මේක දැන් වැඩක් නෑ කියලා දැන් මේක ඉවරයි වැඩක් ගන්න බෑ කියල ඉවත් කරන්නේ. නමුත් ඒ විදියේ ද්‍රව්‍ය ලෝකයේ ඒ ඇතිවීම, නැතිවීම කියන එක එහෙම නැත්තම් අනිත්‍යතාව ඉතාමත්ම ඕලාරික රළු මට්ටමක්. සියුම් වශයෙන්ම මේ අනිත්‍යතාව වැටහෙන්නේ අන්න අර විදියට මේ සිතිවිලි දැකීමෙනුයි. මේව එනවා පවතිනවා, නැතිවෙලා යනවා කියලා. ආනාපානයෙන් තැන්පත් වුනු තමන්ගේ සිතට වැටහෙන්ට පටන් ගන්නවා. ඒ කමටහනේදී උත්සාහ කරන්නේ ආනාපානයෙන් ගැටෙන තැන සතිය රදවා ගන්නයි. නමුත් ඒ අතරේ අර සිතිවිලි එනවා. ඒ අතීතයේ ගත්තු සිතිවිලි හෝ යම් යම් දේවල් එනවා. ඒවා මට්ටු කරන්නත් සිද්ද වෙනවා. ඔය තත්ත්වයයි මේ සිතේ තියෙන්නේ කියන අවබෝධය තුළින් තමයි අන්තිමට මේ විඥ්ඥාණයෙත් ආත්මයක් කියලා ගන්න දෙයක් නෑ කියලා වැටහෙන්නේ. රූපයේ ආත්මයක් නැතිබව මේවා දිරාපත් වෙන කොට අපට සාමාන්‍යයෙන් පහසුවෙන් හිතා ගන්ට පුළුවන්. වේදනාවත් - එක වේදනාවක් එනවා තව වේදනාවක් එනවා - ඔය විදියට ඒකත් තව ටිකක් අමාරුවෙන් හරි තේරුම් ගන්න පුළුවන්. සංඥාවත් තවත් ටිකක් අමාරුවෙන් හරි තේරුම් ගන්න පුළුවන්. සංස්කාර කියල කියන චේතනාවල් පිළිබද අනිත්‍යතාවත්, ඒකත් තරමක් හරි අමාරුවෙන්. නමුත් විඤ්ඤාණය කියලා කියන මහා මායාව, ලොකුම මායාවයි මේ ලෝකයේ සත්ත්වයාගේ. බුදු පියාණන් වහන්සේත් මායාවකට උපමා කළේ මේ විඤ්ඤාණයයි. අන්න ඒක තමන්ම අත් දැකිය යුතු දෙයක්. ඒකට මාර්ගයයි මේ බුදු පියාණන් වහන්සේ කමටහන් ක්‍රමානුකූලව ඉදිරිපත් කිරීමෙන් මෙතන දක්වලා කියෙන්නේ. එතකොට අන්න ඒ ආශ්‍රයෙන් මේ පින්වතුන්ටත් හිතාගන්ට පුළුවන් මේ යෝගාවචර ජීවිතය බලාපොරොත්තු වෙන කෙනෙක්, මේකට බහින්න බලාපොරොත්තු වෙන කෙනෙක්, මේක ලේසි වැඩක් කියලා හිතන්න නරකයි. මේක ලේසි කරලා හිතාගත්තොත් ඉක්මනින්ම මේ ගැන කල කිරෙනවා. මේක අමාරු වැඩක් කියලා දැනගෙන, ඒකට හිත සකස් කරගෙන, ලොකු වීර්යයක් වඩාගෙන, මේ වැඩේට බහින්ට ඕන. එහෙම නැත්නම් කරන්නේ මොකද්ද? එක්කෝ ගුරුවරයාට දොස් කියනවා. භාවනාවට දොස් කියනවා. දැන් මේ වාහන අනතුරු සිද්දවුනු පමණින් කෙනෙක් වාහන එළවීම නතර කරනවද? නෑ. ඒ වාහන අනතුරට නොයෙකුත් හේතු තියෙන්න පුළුවන්. සමහර විට ඒ රියැදුරාගේ නොදැනුවත්කම වෙන්නත් පුළුවන්. අන්න ඒ විදියට භාවනාවෙන් ඇතැම් කෙනෙක් මානසික පීඩනවලට, නොයෙකුත් පීඩා වලට පත්වෙනවා කියලා සමහර අය මේ කාලේ භාවනාව සිත වික්ෂිප්ත කර ගැනීමට ලේසි මාර්ගයක් හැටියට හිතනවා. ඒක වැරදි අදහසක්. අන්න අර මේඝිය හාමුදුරුවෝ වගේ ඉක්මන් වෙච්ච කට්ටියයි එහෙම කරන්නෙත්, හිතන්නෙත්. ඒ විදියේ තත්ත්වයකට පත්වෙන්නෙත්. නුවණැති පුද්ගලයා බුදු පියාණන් වහන්සේ දුන් අර උපදෙස් සිහිපත් කරගන්නවා. අපි වැඩීකට බහින්ට ඕන හිත සකස් කරගෙනයි. ඒකට උපකාර වෙන්නේ, ප්‍රධාන වශයෙන්ම, ගුරු ආශ්‍රය. බුදු පියාණන් වහන්සේ, අපි කලින් ප්‍රකාශ කළ ආකාරයට, ලෝකයේ අසහාය කළ්‍යාණ මිත්‍රයා. එතකොට බුදු පියාණන් වහන්සේ නැති වුනාට පස්සේ, එහෙම නැත්නම් උන් වහන්සේ වැඩ සිටින කාලයේ පවා, සාරිපුත්ත ස්වාමීන් වහන්සේලා මුලගත් මහ රහතන් වහන්සේලා හරියට අර සඟ සිරිසට මව්පියන් වගේ ඉදලා රහත් තත්ත්වය දක්වා ගෙන යාමට උන් වහන්සේලා දෙනමක් උපකාර වුනා, බුදු පියාණන් වහන්සේ වගේ. ඊළඟට අසු මහ ශ්‍රාවකයන් වහන්සේලා. ඊළඟටයි ඒ අනුව සිටි අනිකුත් සංඝයා වහන්සේලා තම තමන්ගේ ශක්තියේ හැටියට. ඊළඟට උන් වහන්සේලා නැතිවුනාට පස්සේ මේ බුද්ධ ශාසනය පවතින තාක් කල් ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා යම් කෙනෙක් මේ භාවනා මාර්ගයේ ගමන් කරලා යම්කිසි දියුණුවක් ලබාගෙන තියෙනවා නම්, ඒවා පිළිබද අවබෝධයක්ට් තිබෙනවා නම්, අන්න ඒ තැනැත්තයි කළ්‍යාණ මිත්‍රයා, ගුරුවරයා. ඒ අයගේ බසට කීකරුව අවස්ථානුකූලව පියවරක් ගන්ට සුදානම් වෙන්ට ඕන. ඒකට ඕන නිහතමානීත්වය තියෙන්ට ඕන. ඊළඟ අනිකුත් කාරණා තමයි අර ශීලය, ධර්ම ශ්‍රවණය ආදියෙන් සිත ශක්තිමත් කර ගැනීම, බලවත් ඡන්දයක් ඇතිකර ගැනීම, ඕනෑකමක් ඇතිකර ගැනීම, ඊළඟට වීර්ය දැරීම, ඥානවන්තව, නුවණැතිව සිත යෙදීම, ප්‍රඥාව. ඔන්න ඔය විදියේ කාරණා උපකාර වෙනවා. ඒ වගේම තමයි අර කියාපු භාවනා මාර්ගයත්. ඒවා කවලම් කරගන්නේ නැතිව, අවුල් කර ගන්නේ නැතිව, ඒ භාවනා මාර්ගයට පිවිසෙන්ට ඕන. පළමුවෙන් කළ යුතු දේ පසුව කරන්න නරකයි. පසුව කළ යුතු දේ පළමුවෙන් කරන්න නරකයි. ඇතැම් කෙනෙක් ආනාපාන සතිය ඉතාමත්ම වටිනා භාවනාවක් කියලා ඒකට බහිනවා. නමුත් ඒකට සුදානම් නෑ. ඉතිං ඊළඟට දොස් කියනවා - “බුදු පියාණන් වහන්සේ මේ විතර්ක කපා හැරීමට ආනාපාන සති භාවතාව කරන්න කිව්වට මොකද මට නම් මේක කරන්න යනකොට විතර්කමයි එන්නේ” කියලා සමහරු බුද්ධ දේශනාවටත් දොස් කියනවා. මොකද මේකට හේතුව? අන්න අර කලින් කිව්ව රළු මට්ටම. දැන් මේ පින්වතුන් දන්නවා, වඩුවෙක් වුනත් ඒ යතු කැටය යොදන හැටි. හිතලා බලන්න. ඉස්සෙල්ලම යොදන්නේ ඒ යතුකැටේ අර රළු කොටස කපා හැරීමට. ඒ ටික කරලා, යතුකැටේට තට්ටු කරලා හරි වෙන යතු කැටයක් අරගෙන හරි, ඊළඟ ටික ගානවා. ඊළඟට ඊළඟ යතුකැටේ ගන්නවා. ඔය විදියේ දෙයක් මේ සිත පිළිබදවත් තියෙන්නේ. හිතේ රළු මට්ටම් තියෙනවා, සියුම් මට්ටම් තියෙනවා, ඉතින් රළු මට්ටම් නැති කරන්නේ රළු දෙයකින්මයි. ඒක උපකාර වෙනවා. ඇතැම් කෙනෙක් හය වෙනවා - ගිහියන්ට අසුභ භාවනාව හොඳ නෑ කියලා මතයකුත් කියනවා. ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා නිවන බලාපොරොත්තු වෙනවානම් මේක උපකාර වෙනවා. මේ සමාජය ගැන හිතලා බැලුවත් මේ රාගාදී කෙලෙස්, ගිහියන් පිළිබදව හිතලා බැලුවත් කොයිතරම් මේවා පිළිබද නොදනුම්කම් නිසාද මේතරම් අපරාධ ඇති වෙන්නේ. ඒවා පිළිබද යම්කිසි සංවරයක් සංයමයක් තියෙනවා නම් සමාජය පවා මීට වඩා සන්සුන් ස්වභාවයකට පත්වෙනවා. ගෙදරක පවා, නිවෙසක පවා, සංයමයක් සංවරයක් තිබෙනවා. ඒ වගේ තමයි අනිත් එකත්, ව්‍යාපාදය. ඉතින් ඔය දෙක - ඇලීම්, ගැටීම් දෙක තුළයි මේ ලෝකයා බොහෝ විට ජීවත්වෙන්නේ. නමුත් ඒවා මට්ටු කළාට පස්සේ තව ඉදිරියට යන්ට තියෙනවා. ඔන්න ඔතන ඉඳලා තියෙන්නේ= සියුම් යතු කැට උපමාව. ඒකයි එතන ගන්න තියෙන්නේ. “කුද්ද විතක්කා සුඛුමා විතක්කා” කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙන්නේ. හොඳ අඹ වනයක් දැක්ක පමණින්, මම මෙතනට ගිහිල්ලා භාවනා කරහම එක පාරටම නිවන් දකින්න පුළුවන් බුදුරජාණන් වහන්සේ අච්චර මහන්සි වෙලා කරපු දේ මට පුළුවන් එක හවස වරුවකම කරගන්න කියලා හිතාගනයි මේඝිය හාමුදුරුවෝ ගියේ. නමුත් ඒ ඔක්කොමත් හරි. බොහොම රමණීයයි අඹ වනය. හොඳ සෙවන, හොඳ ආසනය. ඔක්කොම හරි නමුත් හිත හික්මවා ගන්ට බැහැ. මොකද, යටින් එනවා, අර විතර්ක. කුණු කන්දල් ටික ඔක්කොම, හරියට අර වැස්සෙන් පස්සේ දොළ පාරක් ගලාගෙන යනකොට ඒ තියෙන කුණු කන්දල් ඔක්කොම ගලාගෙන යන්නා වගේ. එබදු අවස්ථාවකට පවා මුහුණ දෙන්ට සිද්ද වෙනව නිවන් සදහා උත්සාහ කරන යෝගාවචරයාට. එබදු අවස්ථාවල කලකිරෙන්ට නරකයි. ඒක බලාපොරොත්තු විය යුතු දෙයක්. අර කුණු කන්දල් කොහෙන් හරි ගලාගෙන යන්ට ඕන. දැන් මේ පින්වතුන් දන්නවා විරේක කසායක් ගත්තට පස්සේ - ඒක ගැන ඉතින් මේ පින්වතුන්ට විස්තර කියන්ට ඕන නෑ. ඉතිං විරේක කසායක් ගත්තට පස්සේ ඔන්න හිතනෙවා අපොයි මෙහෙම තේද තත්ත්වය? මේ මගේ කියලා හිතගෙන හිටිය ශරීරයේ තත්ත්වය මේක නේද? මේ ආහාරවල තත්ත්වය මේක නේද කියලා ඔන්න හොදට එබදු අවස්ථාවල ප්‍රත්‍යක්ෂ වෙනවා. අන්න ඒ වගේ තමයි ආතාපානසතියට ඉදගත්තට පස්සේ අර මුල් කාරණා ටික ඉෂ්ට කරලා, ඔන්න ඒ අවස්ථාවේ මේ සිත ඇතුලෙන් එන කුණු කන්දල් ධාරාව. නමුත් ඒවා තුළින් ශික්ෂණයකුත් කෙරෙනවා. ශික්ෂණය තුළින් අවබෝධයකුත් එනවා. මේක හික්මවන්න බැරි දෙයක්. නමුත් හික්මවන්නේ මොකටද? මේ අවබෝධය තියුණු කර ගන්න. මේකයි මධ්‍යම ප්‍රතිපදාව. ඉතාම ගැඹුරු කාරණයක් මෙතන තියෙන්නේ. මේක අන්ත වශයෙන් ගත්තොත් දියුණුවක් නෑ. බුදු පියාණන් වහන්සේ වෙන කිසිම ශාස්තෘවරයෙකුට බැරුව තිබුණු මේ සංසාරයෙන් මීදීම පිළිබද ගැටළුවට, ප්‍රශ්නයට, විසදුමක් ඉදිරිපත් කළේ මධ්‍යම ප්‍රතිපදව තුළින්. හිතේ තැන්පත් කර ගැනීමක් අවශ්‍යයි මූලිකව. සිත එක්තැන් කර ගැනීමත් අවශ්‍යයි. “එක්තැන් කර ගැනීම” කිව්වට මේක “එකක්” නොවේ. එක්තැන් කර ගත්තු අවස්ථාවේ තේරෙනවා මේකේ විසිරෙන ස්වභාවය. මොහොතක් මොහොතක් පාසා විසිරෙනවා. අතීතයේ එකතු කරගත්තු මේ කර්ම, චරිත, වාසනා ගුණ ආදී වශයෙන් දක්වන නානාප්‍රකාර චරිතානුකූලව එන පුරුදු ආදිය නිසා නොයෙකුත් විදියේ සිතිවිලි විතර්ක පැන නගිනවා. ඒවායින් අධෛර්ය වෙන්නේ නෑ. නමුත් ඒක තුළින් අන්තිමට කරන්නේ මොකද්ද? මෙතන අල්ල ගන්න දෙයක් නෑ. අල්ල ගත්තු තැන මාරයා. අල්ල ගත්තු තැන තමයි “මම” ඉන්නේ. අල්ල ගත්තු තැන තමයි මේ ඔක්කොම කරදර කියලා අන්න ඊළඟට දකිනවා. යථාභූත වශයෙන් ඇත්ත ඇති සැටි දකිනවා. මේ සියල්ල අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් ඒක දුකයි. ඒ අනිත්‍ය දේ අල්ලගෙන සිටින නිසා දුකට පත්වෙනවා. ඒ වගේම එතන “මමය, මගේය” කියලා මගේ වසයේ පවත්වන්ට බෑ, කිසිම දෙයක්” කියන අවබෝධය එනවා. ඔන්න ඒ අවබෝධය ආපු අවස්ථාවේ තමයි, ගැඹුරින්ම ආපු අවස්ථාවේ තමයි, යම්කිසි කෙනෙක් අර බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ආකාරයට “අස්මි මාන” කියල කියන අන්තිම කුෂ්ඨය ගලවන්නේ. “වෙමි” - කියලා කියන කුෂ්ඨය තුළින් තමයි මේ මුළුමහත් ලෝකයම මනින්නේ. දැන් “මම” කියලා කියන එක සාමාන්‍යයෙන් ඕලාරික, රළු වශයෙන් ගත්තු හැඟීමක්. ඒකට තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ “මමය මාගේය” කියන එක නැති කළ පමණින්ම වැඩේ ඉවර වෙන්නෙ නෑ. ඉතාමත්ම සියුම් මට්ටම තමයි “වෙමි” කියන එක. “මම වෙමිත්” නෙවෙයි. - “වෙමි” - ඒක ඉතාම සියුම් මට්ටමකින් තිබෙනවා හිතේ තැන්පත් වෙලා. ඒක හරියට දකින්න පුළුවන් වෙන්නේ අන්න අර විදියේ සිතේ විසිරෙන ස්වභාවය හරියාකාර ප්‍රත්‍යක්ෂ කරගෙන, අර අල්ලා ගැනීම අත හැරිය තැනයි. අල්ලාගත්තු තැන - දැන් ස්පර්ශ වෙන කොට ඒක අල්ලා ගැනීමෙන් තමයි වේදනාව වෙන්නේ. එතන අල්ල ගත්තහම සංඥාවට හැරෙනවා. සංඥාව විතර්කයට හැරෙනවා. විතර්කයට හැරිලා විතර්කය අල්ල ගත්තු තැන ප්‍රපංචය, එතනින් එහාට ඉතින් අන්තිමට පිස්සන් කොටුවක් වගේ තත්ත්වයකට හිත පත් වෙනවා. ඒක වළක්වන්ට අයෝනිසෝමනසිකාර කියලා කියන අර වැරදි ක්‍රමය අතහරින්න ඕන. එහා කොනේ ඉදලා නෙවෙයි පටන් ගන්නට තියෙන්නේ. මේ සටන පටන් ගන්ට කියෙන්නේ අර බුදු පියාණන් වහන්සේ ධම්ම පදයේ මුල් ගාථාවෙන් ප්‍රකාශ කළා වගේ :- “මනො පුබ්බංගමා ධම්මා - මනො සෙට්ඨා මනොමයා” ඔය විදියට මේ හැම එකක්ම හිතෙන්ම පැන නඟිනවා කියන අවබෝධය හරියාකරව මතුවෙන්නේ අන්න අර කියාපු භාවනාවේ ගැඹුරු අවස්ථාවේදීයි. අන්න ඒක නිසා මේ පින්වතුන් කල්පනා කරගන්ට ඕන. අද මේ වටිනා පෝය දවසේ අපි බුදු පියාණන් වහන්සේගේ චරිතය ගැන පමණක් හිතලා ශ්‍රද්ධාව ඇති කර ගන්න නරකයි. බුදු පියාණන් වහන්සේ හරියට අඳුර ගන්නේ ඇත්ත වශයෙන්ම නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරගත්තු කෙනායි. එතෙක් අපි දකින්නේ රූප ටික විතරයි. එහෙම නැත්තම් සිතිවිලි වලින් මවාගත්කු බුදු කෙනෙක්. එම නිසා බුදු පියාණන් වහන්සේ දකින්න බලාපොරොත්තු වෙනවා නම්, උන් වහන්සේ අඳුනගන්න බලාපොරොත්තු වෙනවා නම්, අපි නිර්වාණ මාර්ගයේ ගමන් කරන්න ඕන. මේ කියාපු මේ සත්‍යය අවබෝධ කරගන්ට ඕන. එදාටයි බුදු පියාණන් වහන්සේ හරියට දකින්න වෙන්නේ. එදාටයි බුදු පියාණන් වහන්සේ පිළිබද ශ්‍රද්ධාව සම්පූර්ණ වෙන්නේ. ඒක නිසා මේ පින්වතුන්ට අද මේ වටිනා දවසේ මේ ධර්ම ශ්‍රවණය තුළිනුත් අර කලින් කියපු ආකාරයේ දස කථා වස්තුවලට අදල යම් යම් දේවල් කියවෙන්නට ඇති. මේ ජීවිතේදිම තවමත් පුළුවන් මේ ශාසනයෙන් වැඩගන්න. ඇතැම් කෙනෙක් මේක යල් පැනපු දෙයක් හැටියට හිතනවා. නමුත් එකම ගිනි තමයි බුද්ධ කාලෙත්, දැන් කාලෙත් දැල්වෙන්නේ - රාග, ද්වේෂ, මෝහ ගිනි. එතකොට ගිනි නිවීමයි නිවන කියල කියන්නේ. වෙන දෙයක් නෙවෙයි, වෙන අමුතු ලෝකයක් නෙවෙයි, අමුතු දිව්‍ය ලෝකයක් වගේ තැනක් නෙවෙයි නිවන කියන්නේ. ඇතැම් කෙනෙක් එහෙමත් හිතනවා. නිවීමයි. එතකොට මෙතන සංසාරේ තියෙන්නේ දැවීමයි. ඒ වෙනුවට බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ නිවීමයි. සංසාරයේ තියෙන්නේ පැවැත්මයි. මේ පැවැත්ම දුකක් බව තේරුම් අරගෙන මේකේ නැවැත්ම ඉදිරිපත් කර ගැනීමයි, ඒකයි අපි අර කිව්ව සංසාර වට වළල්ලෙන් ඉවතට පැනීම. සංසාර වටවළල්ලේ කරකැවීමයි සංසරණය. ඒයින් ඉවතට පැනීමයි නිස්සරණය. මාරයාගේ රාජධානියෙන් මිදීමයි, මේ නිවන කියලා කියන්නේ අනිත් පැත්තෙන් - කෙලෙස් වශයෙන් සැලකුවොත්! අත්ත ඒ කියන තත්ත්වය තමන්ගේ ජීවිතේ පරමාර්ථය හැටියට අරගෙන මේ දුර්ලභ මනුෂ්‍ය ආත්මභාවයෙන් දුර්ලභ බුද්ධෝත්පාද කාලේ, මේ ශාසනයේ අවසාන භාගයේ - සමහර විට තව පරම්පරා කීපයක් යනකොට ඇත්ත වශයෙන් මේ ධර්මයෙන් වැඩ ගන්න බැරිවෙන තත්ත්වයකටයි එන්නේ. මක්නිසාද, ගුරු ආශ්‍රය නැති වෙනවා. මේ නිවන් මග ගමනට උපදෙස් දෙන්ට පුළුවන්, ඒවායේ කටයුතුවල යෙදෙන අය, සොයා ගන්න බැරි වෙනවා. කළුනික තව පහසුවෙන් සොයා ගන්ට පුළුවන් වෙනවා. ඒක බැරි වෙනවා - අන්න එක නිසා මේ පින්වතුන් අප්‍රමාදව බුදු පියාණන් වහන්සේගේ අප්‍රමාද පදය සිහිකරගෙන මේ කියාපු නිර්වාණ මාර්ගයේ ගමන් කිරීමට දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න ඕන. මේතෙක් මේ පින්වතුන් ධර්ම දේශනාවට සවන් දීමෙන් තම තමන්ගේ චිත්ත සන්තානයේ මේ අවස්ථාවේ පවා වැදගත් කුසල් ධර්ම කීපයක් මතු වූනා කියලා හිතාගන්න ඕන. විශේෂයෙන්ම ශ්‍රද්ධාව, වීර්යය, සතිය, සමාධිය, ප්‍රඥාව කියන ධර්ම සත්තිස් බෝධි පාක්ෂික ධර්ම අතර දක්වලා තිබෙනවා. ඉන්දිය ධර්ම, බල ධර්ම, හැටියට කාර්ය දෙකක් ඉෂ්ට කරන එකම ධර්ම හැටියට - ශ්‍රද්ධාව ඉන්ද්‍රියයක් වගේම බලයක්, හපන්කමක් වගේම බලසම්පන්නකාරකමක් පෙන්නුම් කරන්න පුළුවන් ධර්මයක් ශ්‍රද්ධාව කියන්නේ. ඒ වගේම වීර්යය, ශ්‍රද්ධාව අනුව ගිය වීර්යය. ඊළඟට වීර්යය නිසා ඒ කෙලෙස් තවලා කුසල් ධර්ම ළංකර ගන්න යොදන වීර්යය තුළින් සතියක් මතුවෙනවා, සතිය, සිහිය. සිහිය බොහෝ වේලාවක් පවත්වා ගන්ට පුළුවන් තත්ත්වයම තමයි සමාධිය වෙන්නේ. අන්තිමට සිහිය උතුරලා ගිහිල්ලා සමාධියට හැරෙනවා. සමාධිමත් හිතට යථාභූත වශයෙන් ඇත්ත ඇති හැටියට පෙනීම - ප්‍රඥාව - ඇති වෙනවා. ඔන්න ඔය සද්ධා වීරිය සති, සමාධි, පඤ්ඤා ඇත්ත වශයෙන් මේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම හැටියට ක්‍රියාත්මක වෙන්නේ අන්න නිවන් ලබන භාවනාවට හරියාකාරව බැස්ස අවස්ථාවෙදියි. නමුත් සුළු මට්ටමකින් හෝ එවා මතුකර ගැනීමට - මේ පින්වතුන්ගේ භාවනාවේ යෙදීමේ ශක්තිය අනුව - මේ ධර්ම දේශනාව උපකාර වෙන්ට ඇති කියලා හිතනවා. ඒ විදියේ දේශනාවකට සවන් දීමෙන් ශ්‍රද්ධා ,විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඒ ධර්මයන් ඇති කර ගැනීමේ බලයෙන්ම මේ ජීවිතයේදීම හැකිතාක් උත්සාහ කරලා සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරහත් කියන මාර්ගඵල ප්‍රතිවේධයෙන් මේ මුළ මහත් සංසාර දුක්බයෙන් අත් මිදිලා උතුම් අමා මහ නිවනින් සැනසෙන්ට ශක්තිය බලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කර ගන්න. ඒ වගේම මේ අපි ධර්ම දේශනාමය වශයෙන් ධර්ම ශ්‍රවණමය වශයෙන් රැස්කර ගත්තු පුණ්‍ය සම්භාරය ශාසනාරක්ෂක දෙවි දේවතාවන් ඇතුළු යම්තාක් අවිචියේ සිට අකනිටා දක්වාවූ කුසල් අනුමෝදන්වීමට බලාපොරොත්තු වන අය සිටිතොත් - තම තමන්ගේ ඥාතීනුත් ඇතුළු - ඒ හැම දෙනෙක්ම අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වී කලයාණ මිත්‍ර ආශ්‍රය ලබාගෙන හැකිතාක් ඉක්මණින් සියලු සංසාර දුකින් අත්මිදලා උතුම් අමාමහ නිවනින් සැනසෙත්වා කියන මේ ප්‍රාර්ථනාව ඇති කරගෙන, ඊළඟට මේ විදියට මේ ගාථා කියල පින් පමුණුවන්න. එත්තාවතා ච අම්හේහි . . . . . 9 වන දේශනය අත්තනාව කතං පාපං අත්තජං අත්ත සම්භවං අභිමත්ථති දුම්මේධං වජිරං වසමයං මණිං - අත්ත වග්ග, ධම්ම පද ශුද්ධාවන්ත පින්වතුනි, සමාජයේ හොඳ ජීවිතයක් ගත කරන කෙනෙක්, හදිසි අනතුරකින් හරි, සතුරු උපද්‍රවයකින් හරි, මරණයට පත් වෙනවා දකින සමහර කෙනෙක්, “අන්න හොදින් ඉඳලත් වුන දේ” කියලා, ප්‍රතිපත්ති ගරුක ජීවිතේ අගය ගැන සැක හිතනවා. කුසල් අකුසල් වල ඵල විපාක ගැන ඇති විශ්වාසය අඩපණ කරගන්නවා. ඒ විදියට එහෙම සැක හිතන්නේ කර්ම චක්‍රයේ සියුම් ක්‍රියාකාරීත්වය ගැන හරියාකාර අවබෝධයක් නැති නිසයි. බුදුපියාණන් වහන්සේ දක්වා වදාළා සත්ත්වයා අවිද්‍යාව නිසාත්, තණ්හාව නිසාත් - අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා - කරන කුසලාකුසල කර්මයන්න, තමා කියලා ඒ හැඟීම ඇතිව ආත්මාතකාමීව කරන කුසලාකුසල කර්මයන්න - තමාම වග කිව යුතු බව. ඒවායේ එල විපාක විඳිය යුතු බව. කවදා හෝ ඒවායේ විපාක විඳින්නට සිද්දවෙන බව බුදුපියාණන් වහන්සේ දක්වා වදාළා. කර්මයේ සියුම් ක්‍රියාකාරීත්වය අනිකුත් ශාස්තෘවරුන්ට පෙනුනේ නැතත් බුදුපියාණන් වහන්සේට හරියාකාර පෙනී ගියා. ඒක නිසා උන්වහන්සේ සමහර අවස්ථාවල, සමාජයේ අර විදියේ වැරදි අදහස් ඇතිවෙන අවස්ථාවලදී, ඒ වර්තමාන සිද්ධියට අදල අතීත කථාන්තරයත් දක්වලා නිදසුන වශයෙන් - සාධක වශයෙන් - ඒ විදියේ ප්‍රත්‍යක්ෂ සාධකයන් ලෝකයාට ඉදිරිපත් කරලා, ලෝකයා දුගති මාර්ගයෙන් මුදවලා සුගතියට - නිවනට - යොමු කරන්න අවස්ථාව සලසා ගත්තා. දැන් අපි අද මේ මාතෘකා කරගත්තු ගාථාවට අදාළ නිදාන කථාවත් ඒ වගේ එකක්. බුදුපියාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ වසන කාලයේ, ඒ සැවැත් නුවර වාසය කළා මහාකාල කියලා ශ්‍රද්ධාවන්ත සෝවාන් උපාසක මහත්මයෙක්. නිතිපතා අටසිල් සමාදන් වන්න පුරුදු වෙලා හිටියා. මාසෙකට අට දවසක් විහාරයට ඇවිල්ල ඒ විදියට සිල් සමාදන් වෙලා මුළු රෑම බණ අහනවා. ඔය විදියට ඒ පිළිවෙතට නැඹුරු වෙලා හිටියා. එක දවසක් ද ඒ උපාසක මහත්මයා එහෙම ඇවිල්ලා ජේතවනාරාමයේ සිටින අවස්ථාවේ රාත්‍රි කාලයේ හොරු රංචුවක් ඒ අසල ගෙයක් බිඳල බඩුගන්න සුදානම් වෙනකොට සද්දේ ඇහිලා ගෙහිමියන් නැගිටලා මේ හොරුන් පසුපස එලවන්න පටන් ගත්තා. හොරුත් ඒ ඒ තැන බඩු දමලා දුවන්න පටන් ගත්තා. මේ පිරිසෙන් එක හොරෙක් තමන් අරගත්තු බඩු ටිකත් එක්ක මේ ජේතවනාරාමයට යන මාර්ගයේ දුවගෙන යනවා. ඒ අවස්ථාව වෙන කොට උදෑසනම අර මහාකාල උපාසක මහත්මයා පොකුණ ළඟට ඇවිල්ල මුණ කට හෝදනවා. මේ හොරා කළේ මොකද්ද, අර උපාසක මහත්මයා ඉන්න තැන බඩු පොදිය දාල - අර මිනිස්සු පස්සෙන් පන්නන නිසා රවට්ටන්න හිතාගෙන වෙන්න ඇති - බඩු පොදිය දමලා දුවලා ගියා. අර ගෙහිමි කට්ටිය ඇවිල්ල බලන කොට මේ බඩු පොදිය තියෙනවා. උපාසක උන්නැහෙ ඉන්නවා. ඊළඟට අල්ල ගත්තා. “උඹ මේ අපේ ගේ බිඳලා මෙතන බොරුවට බණ අහනවා වගේ පෙන්නලා උපාසක කමට ඉන්නවාය. හොර උපාසකයෙක්”ය කියලා, අල්ලලා හොදටම තලලා, මරලා එතනම දමලා ගියා. ඒ පොකුණ ළඟට උදෑසන සාමණේර හාමුදුරුවරු ආවා වතුර ගෙනියන්න. මේ උපාසක මහත්මයා මේ විදියට මැරිලා ඉන්නවා දැකලා බුදුපියාණන් වහන්සේට ගිහිල්ලා ප්‍රකාශ කළා. “අන්න අර අහිංසක උපාසක මහත්මයා, අර හොඳට බණ අහන උපාසක මහත්මයා මරල දාල ඉන්නවා” කියලා. බුදුපියාණන් වහන්සේ වදාළා, “මහණෙනි, මේ ජීවිතයේ පැවැත්ම හැටියට ඒ උපාසක මහත්මයාට ලැබුනේ නුසුදුසු මරණයක් හැටියට පෙනුනත්, අතීතයේ කළ පාප කර්ම අනුව නම් හරියටම ගැලපෙන මරණයක්ය” කියලා ඔන්න ළඟට අතීත කථාව වදාළා. අතීතයේ බරණැස් රජ්ජුරුවන්ගේ රාජධානියේ මායිම් ගමක කැලෑවට ඇතුල් වන තැන, ඒ කැලෑවේ වැදිලා සිටින හොරුන්ගෙන් මගීන්ට උපද්‍රව ඇතිවන නිසා රජ්ජුරුවො එක්තරා රාජ භටයෙක් එතන නතර කරලා තිබුණා. රාජ භටයාට අයිති කාර්යය මොකක්ද, ඒ කැලෑ මාර්ගයේ යාමට ඒමට ඉන්න අයට ආරක්ෂාව සැළසීමයි. එක දවසක් දා මෙතනට ආවා එක්තරා මනුෂ්‍යයෙක් රථයක නැගිලා තමන්ගේ රුමත් භාර්යාවත් එක්ක. ඒ භටයා ඒ තැනැත්ති දැක්ක හැටියේ යම්කිසි ඇල්මක් ඇති කරගෙන උපාය මාර්ගයක් කල්පනා කළා මේ අය රඳවා ගන්න. හොඳට යන්න වෙලාව තිබුණත් කිව්වා - “දැන් අද හැන්දෑ වුණා වැඩිය. ඒක නිසා අද නවතින්න. මගේ ගෙදර නවාතැන් දෙන්නම්. හෙට උදේට යන්න” කියලා. නමුත් අර මනුෂ්‍යයා කිව්වා. “නෑ නෑ, ඕන තරම් වෙලාව තියෙනවා. අපිට යන්න සලස්වන්න” කියලා. අර රාජ භටයා කළේ මොකද්ද, තමන්ගේ මනුෂ්‍යයින් යොදවලා බලහත්කාරයෙන්ම අර රථය නවත්වලා අර මනුෂ්‍යයාටත්, ඒ භාර්යාවටත්, එතන නවාතැන් දුන්නා. ආහාරපාන එහෙම දුන්නා. රාත්‍රියේ එක්තරා උපක්‍රමයක් යෙදුවා. තමාගේ මනුෂ්‍යයින් ලවා ගෙදර තිබුන මැණිකක් අර රථයේ සැඟවුවා. සඟවන්න සැලැස්සුවා. ඒ වගේම ගෙදරට හොරු ආපු හැටියට යම්කිසි ශබ්දයකුත් ඇතිකළා. ඊළඟට පස්සෙන්දා උදෑසන අර දෙන්න පිටත්වෙලා ගියාට පස්සේ අණ කළා. “දැන් මේ ගමෙන් පිටවෙන්න ඉන්න අය පරීක්ෂා කරන්න. අපේ ගෙදර තිබුන මැණික නැතිවුණා. හොරු ඒක අරන් ගියා” කියලා, ඉතින් අර පිරිස ගිහිල්ලා, රථය අල්ලගෙන පරීක්ෂා කරලා තමන්ම සඟවල තිබුන මැණික අරගෙන අර මනුෂ්‍යයාව ඉදිරිපත් කළා ගම්පතියාට අවනඩුවකුත් එක්ක. “මේ තමන්ට නවාතැන් දුන්න රාජ භටයගේ මැණික හොරකර්ම කළා” කියලා. අර ගම්පතියාත් කාරණය හරියට දන්නේ නෑ. ඒ නිසා මේ මනුෂ්‍යයාට තලලා වධයට පත්කරන්න අණ කළා. ඒ කළ ප්‍රාණඝාත අකුසලයේ විපාක බුදුපියාණන් වහන්සේ වදාළා. විපාක වශයෙන් අර රාජ භටයා දීර්ඝ කාලයක් අවීචියේ පැසිලා, ඒ විපාකවල කෙළවර හැටියට, ඉතිරි කොටස හැටියට, ආත්ම භාව සියයක්ම අර විදියටම තැළුම් කාලා මරණයට පත්වන්න අවස්ථාව සැලසුණ බවත්, මේ අවස්ථාවේ සිදුවුණෙත් ඒකම බවත්, මේ මහාකාල පිළිබදවයි මේ කථාව කියලා අන්න ඒ විදියට බුදුපියාණන් වහන්සේ ඒ කාරණය දැක්වුවා. මෙහෙම දක්වලා “මහණෙනි යම්කිසි කෙනෙක් ඒ විදියට මුළාවෙලා තමා විසින් යම්කිසි පාපකර්මයක් කළොත් ඒක මේ ආකාරයට විපාක දෙනවාය” කියලා එක්තරා උපමාවකුත් එක්ක අපි අර කලින් සඳහන් කළ ගාථා ධර්මය වදාළා. අත්තනාව කතං පාපං අත්තජං අත්ත සම්භවං අභිමත්ථති දුම්මේධං වජිරං වසමයං මණිං තමා තුළින්ම උපන්නාවූ, තමා තුළින්ම හටගත්තා වූ, පාපකර්මය, ගලින් හටගත් වජ්‍ර මාණික්‍යයක්, ගලින්ම හටගත් මැණිකක් විදලා සිදුරු කරලා විනාශ කරන්නා වගේ අඥාන පුද්ගලයාව විනාශයට පත් කරනවාය කියන එකයි ඒ ගාථාවේ අදහස. එතකොට මෙතන මේ ගාථාවෙත් මැණිකක් පිළිබදව සඳහන් වෙනවා. අර කථාන්තරයටත් යන්තම් හරි සම්බන්ධතාවක් වගේ පේනවා. ඊට වඩා ගැඹුරු අදහසක් මෙතන තිබෙනවා. මේ තමා විසින්ම කරන ලද කියන කොට, මේ තුළින් අපට පේනවා අන්න අර වගකීම පිළිබද හැඟීම. අර උපාසක මහත්මයා අතීතයේ ආත්මාර්ථකාමිව තමා කියන හැඟීම අරගෙනයි අර විදියට පාප කර්මය කළේ. එහි අනිවාර්ය විපාකය, ඒ පැවරූ අවනඩුවේ - ඇත්ත වශයෙන්ම අවනඩුවක් පැවරූවේ - ඒ අවනඩුවේ විපාකයයි මේ ආත්ම භාවයේදී විඳින්ට සිද්ද වුනේ. එතකොට ලෝකයේ බොහෝ විට අපට පේනවා අහිංසක මනුෂ්‍යයින් මරා දමනවා වගේ. නමුත් බුදුඇසට සමහර විට පෙනෙනවා ඇති එවායේ අතීත සම්බන්ධතාව. දැන් මේ කථාන්තරය ආශ්‍රයෙන් අපට හිතාගන්ට පුළුවන්. ඉතින් මෙතන විශේෂයෙන්ම අපට පේනවා අර ඒ මහාකාල උපාසක මහත්මයා අතීතයේ රාජ භටයෙක් වෙලා, තුන් වන ශික්ෂා පදයට අදලව, ඒ වගේම පළමුවන ශික්ෂාපදය කැඩීම් වශයෙන්, අර ප්‍රාණසාතය පැමිණෙව්වා, අහිංසක මනුෂයකුට. ඒ පැවරූ අවනඩුවේ තීන්දුවයි. එතකොට ඒ අනුවයි අර හොරුත් බඩු පොදිය එතන දලා ගියේ. හොරුන්ට ඒක දලා යන්න හිත් දුන්නෙත්. අන්න ඒ විදියේ මහ පුදුම කර්ම සම්බන්ධයක් තිබෙනවා මේ සිද්ධි වල. අපිට අහන්ට ලැබෙන හැම දෙයක් තුළම මේ තත්ත්වය තිබෙන බව අපිට පෙනෙනවා. අපිට හිතාගන්ට පුළුවන් මේ ආශ්‍රයෙන්. අදත් මේ විදියේ සිද්ධි කොතෙකුත් සිද්ද වෙනවා. මේ වර්තමාන කථාවෙත් අතීත කථාවෙත් දක්වෙන විදියේ සිද්ධි, අදත් ලෝකේ අපිට දකින්ට ලැබෙනවා. මේ හැම එකක් තුළම සියුම් ආකාරයෙන් මේ කර්මයත් විපාකයත් පිළිබද ධර්මතාව සැගවිලා තිබෙන බව අපිට මේ ආශ්‍රයෙන් හිතාගන්ට පුළුවන්. ඊළඟට අපි දැන් විශේෂයෙන් කල්පනා කරලා බලන්ට ඕන මේකේ ගැඹුරු අංශය ගැන. දැන් මේ ගාථාවේ කීප තැනක සඳහන්වුනා. “තමා විසින්ම කරන ලද”, “තමා තුළින්ම උපන්”, “තමා තුළින් හටගත්” කියලා. මේ විදියට “තමා” ගැන විශේෂයෙන් සඳහන් වෙනවා. ඇත්ත වශයෙන්ම මේ ගාථාවත් - “අත්ත වග්ග” කියලා කියන කොටසෙයි එන්නේ. ආත්ම වශයෙන් කියලා බොහෝ දෙනා පහසුවට ඒක පරිවර්තනය කරන්නේ. නමුත් මේ ධම්මපදයේ එක කොටසක් තියෙනවා තමා ගැන. ඒක බොහෝ දෙනා ආත්මයක් කියලා ගන්නවා. නමුත් මෙතන කියවෙන්නේ නිත්‍ය ආත්මයක් නොවෙයි. සමහර තර්ක කාරයින් ප්‍රශ්න කරනවා. “මේ බුද්ධ ධර්මය අනාත්ම ධර්මයක් නම්, කොහොමද තමන් කරපු ක්‍රියාවට වග කියන්නේ? වගකීමක් කොහොමද පෙන්නුම් කරන්නේ? ඇයි, මේකේ විපාක විඳින්නේ තමා නොවෙයිනෙ?” ඔය විදියට තර්ක කරලා බේරෙන්න බලනවා. නමුත් මෙතන තිබෙන අදහස මොකක්ද? අවිද්‍යා කඩතුරාවෙන් වැහිලා, තණ්හා බැම්මෙන් බැඳිලා, ලෝක සත්ත්වයා ඇති කරගන්නා චේතනාවල් - මේ පින්වතුන් අහලා තියෙනවා “චේතනාහං භික්ඛවෙ කර්මමං වදාමී” කියන පදය. කොතෙකුත් අහන්ට ලැබිලා ඇති. චේතනාවම කර්මයයි කියලා බුදුපියාණන් වහන්සේ දක්වල තිබෙනවා. එතකොට ඒ චේතනාවට උපකාර වන අවිද්‍යාව - “මමය මාගේය” කියන හැඟීම - තුළින් තමයි, තමා කියන හැඟීම, අදහසක්, එන්නේ. ඒ තමා කියන හැඟීම ඇතිකරගෙන තමාගේ සැප, එහෙම නැත්නම් ආරක්ෂාව, දියුණුව, ලාභ ප්‍රයෝජන ඔය විදියේ දේවල් ගැන හිතලා කරන ක්‍රියාවල විපාක තමාට. කවද හෝ විඳින්ට සිද්ද වෙනවා. මේකට හේතුව මොකද, වේදනාව ඉතාමත්ම ශීඝ්‍රයෙන් සිදුවන දෙයක්. සිතේ ක්‍රියාකාරීත්වය ඉතාමත්ම ශීඝ්‍රයි. මේක නුහුරට , නුහුරු පැත්තට, යෙදුණොත් මහා විනාශයකට හේතුවන බව අපට හිතාගන්ට පුළුවන්. දැන් වේගයෙන් දුවන වාහනයක රියැදුරෙක් තමන්ට අයිති, අතිනුත් පයිනුත් ක්‍රියා කරන ඇණ පිළිබද නොසැලකිලිමත්කමින් හෝ නිදිමතකින් හෝ ටිකක් හරි සුක්කානම එහෙ මෙහෙ ගිය හැටියේ කොතනද කෙළවර වෙන්නේ? අන්න ඒ වගේ දෙයක් මේ සිත පිළිබදවත්. ඉතාම ශීඝ්‍රයෙන් ක්‍රියා කරන දෙයක්. ලෝකයේ කිසිම දෙයකට සමාන කරන්න බැරි තරම් - “ලහු පරිවත්තං” කියල කියන්නේ - ඉතාම ශීඝ්‍රයෙන් වෙනස් වන දෙයක් මේ සිත. එතකොට එබදු ඒ සිත බුදුපියාණන් වහන්සේ දක්වා වදාළ ඒ න්‍යායයට, ක්‍රමයට, අනුව අධර්මයට අකුසලයට පවට නැඹුරු වුනොත් අන්න ඒ අවස්ථාවේ අර විදියේ බරපතල විපාක දීර්ඝ කාලයක් විඳින්ට සිද්ධ වෙනව. එක ආත්ම භාවයක නොවෙයි - ඒ චේතනාවේ ශක්තිය අනුව - බුදුපියාණන් වහන්සේ දක්වල තියෙනවා ඇතැම් කර්මවල විපාක “දිට්ඨ ධම්ම වේදනීය” වශයෙන් මේ ජීවිතයේදීම විඳින්ට වෙනවා. තවත් කර්මවල විපාක “අපරාපරිය වේදනීය” කියලා මතු කවර හෝ ආත්මභාවවල. ඔය විදියට නොයෙකුත් ආකාරයෙන් කර්මයේ විපාක පිළිබදව සාමාන්‍ය වශයෙන් දක්වල තියෙනවා. නමුත් ගැඹුරින් කල්පනා කරලා බලන කොට කර්ම විෂය අචින්ත්‍යයි කියල බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. එතරම් හයානකයි කර්ම පටලැවිල්ල. එක් එක් ආත්මවල කරන කර්ම රාශිය එකතුවෙලා මේ විඤ්ඤාණයේ තැන්පත් වෙනවා. තැන්පත් වෙලා ඒවා කවද හෝ මතුවෙනවා විපාක වශයෙන්. අන්න එතකොට ඒ විදියේ භයානක තත්ත්වයක් මේ ලෝකයේ තියෙන බවයි අපට මේ කරුණෙන් හිතාගන්ට පුළුවන් වන්නේ.. ඒ වගේම කර්මයත් විපාකයත් අතර ඇති සම්බන්ධතාව අපි නිතර මෙනෙහි කළ යුතුව තිබෙනවා. මොකද දැන් ඔන්න සමහර කෙනෙක් හිතනවා අර කලින් කිව්වා වගේ තමා කරන කර්මයට තමා නෙවෙයි නේද විපාක විඳින්නේ වෙන කෙනෙක් නේද කියලා. ඊළඟ ආත්මභාවයේ සමහර විට දන්නේ නෑ තමා මේක කළ බව නමුත් මේක අපි සාමාන්‍ය උපමාවකට කිව්වොත් දැන් ගලා යන වතුර පාරක එක තැනකට වස විසක් විසක් දැම්මොත් ගහ පහළින් වතුර ගත්තහම ඒ වස විස නිසා තමාට අනතුරක් වෙන්න පුළුවන්. මේ චිත්ත සන්තානයත් ඒ වගේ දෙයක්. චිත්ත සන්තානයට යම්කිසි අකුසලයක් - කිළුටක් - එකතුවුණොත් ඒක දීර්ඝ කාලයක් විපාක වාර වශයෙන් මතුවෙලා තමන්ට විපාක දෙනවා. දැන් මේ කර්ම විපාකය ගැන අපේ බෞද්ධයින් අතර “කර්ම සරික්ඛතාව” කියල ව්‍යවහාරයක් තියනවා. කර්මයයි විපාකයයි අතර තියෙන සම්බන්ධය බොහෝ දුරට සමාන බවක් - එක්තරා සමාන්තර බවක් - දක්වන්ට පුළුවන්, මේ කථාන්තර දෙකෙන් පෙන්නුම් කරන ආකාරයට. ඒ වගේම දැන් ඒක ගැන අවදිමත් වන බටහිර උගතුන් පවා මේකට අළුත් උපමාවකුත් දක්වනවා, මේ කර්මයේ ක්‍රියාකාරීත්වය පිළිබදව. ඒවා තමන් කරාම එන හැටි. තමා විසින්ම කරන ලද කර්මය තමා කරාම එන හැටි. සමහර විට දක්වනවා සමහර නොදියුණු ගෝත්‍රිකයන් අතර තියෙනවා එක්තරා ආයුධයක් “බූමරෑංගය” කියලා. ඒ බූමරෑංගය සතෙකුට දමා ගැසුවම ඒක ගිහිල්ලා ඒ සතාට වැදිලා ආපහු තමා අතටම එනවා. අන්න ඒ වගේ ආපසු කරකැවිලා එන ස්වභාවයක් මේ කර්මයේ තියෙනවා. මේ කර්මය යම් චිත්ත සන්තානයකින් හටගත්තා නම් ඒ චිත්ත සන්තානය කරාම ආපසු එනවා. ඒක නිසා ආත්මයක් නැත කියලා බේරෙන්ට බෑ. මොකද මේ ස්කන්ධ පරම්පරාව - ආත්මයක් නැතත් - රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ කියන ස්කන්ධ පරම්පරාව නොසිදී පැවැත්මයි සංසාරය කියන්නේ කියන එක අපි දන්නවා. අන්න ඒ ස්කන්ධ පරම්පරාව තුළින් කවදා හෝ ඒ කර්ම නියාමයට අනුව විපාක මතුවෙනවා. ඔය විදියේ තත්ත්වයක් ලෝකයේ තිබෙන නිසා අපි ඒ ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්ට ඕන. මේ භීෂණ යුගයේ බොහෝ දෙනාගේ කර්මය පිළිබද අවබෝධය, එහෙම නැත්නම් විශ්වාසය, ශ්‍රද්ධාව, තුරන් වෙන ස්වභාවයක් තිබෙනවා. අමතක වෙනවා බොහෝ විට. ඒ තරම් භයානකයි මේ ලෝක තත්ත්වය. අන්න ඒක නිසා මේ කර්මය පිළිබද නියාමතාව නිතර සිහිගන්වන්ට බුදුපියාණන් වහන්සේ දක්වා වදාළ එක්තරා වටිනා සූත්‍රයක් තිබෙනවා. “ඨාන සූත්‍රය”. ඒ සූත්‍රයේ බුදුපියාණන් වහන්සේ කාරණා 5ක් දක්වනවා. විශේෂයෙන්ම මේ අවසානයේදී දක්වන කාරණාවයි අපි මෙතනදී ගන්නේ. කෙනෙකුට මේ කර්මය ගැන සිහිපත් කරලා, තමන්ගේ හිත දුසිරිතෙන් මැත් කරලා, සුසිරිතට යොමු කරගන්න උපකාර වන විදියට එක්තරා සාධයක් දක්වනවා, “අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං” කියලා නිතර ප්‍රත්‍යවේක්ෂා කළ යුතු දෙයක් හැටියට. ගිහි හෝ වේවා. පැවිදි හෝ වේවා. ස්ත්‍රී හෝ වේවා. පුරුෂ හෝ වේවා. ඕනෑම කෙනෙකුන් විසින් නිතිපතා ප්‍රත්‍යවේක්ෂා කළ යුතු කාරණයක් හැටියට දක්වනවා මෙන්න මේ පාඨය :- “කර්මමස්සකෝම්හි කර්මමදායාදෝ කර්මමයොනි කර්මමබන්ධු කර්මම පටිසරණෝ. යං කර්මමං කරිස්සාමි කලයාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමීති අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං.” කියලා ඔය විදියට දක්වල තිබෙන්නේ. මෙන්න මේ විදියට කල්පනා කරන්නය. “කර්මමස්සකෝම්හි” කියල කියන්නෙ - අන්න එතනත් ඒ “තමා” කියලා එහෙම නැත්නම් “තමාගේ” කියල ගත හැකි යමක් තියෙනවා නම් ඒක කර්මයමයි. “කර්මමස්සකෝම්හි” කියල කියන්නේ - “සකෝ” කියල කියන්නේ “තමාගේ” කියන එකයි. එතකොට මම කර්මය මගේ කොට ඇත්තෙක්මි කියන එකයි සාමාන්‍ය අදහස. “කර්මම දායාදෝ” - කර්මය මගේ දායාදය වශයෙන් තිබෙන කෙනෙක්මි. “කර්මම යොනි” - මා ඇති වූ තැන, මගේ ප්‍රභවය, මා ආරම්භ වෙලා තිබෙන්නෙත් මේ කර්මයෙන්. මමය කියල කියන්නෙත් චේතනාවම නේ. මමෙයි කියල ගත්තු එක. අන්න ඒකයි මේ කියන්නේ - “කර්මම යොනි” - කර්මය හටගන්නෙත් “මමය” “තමාය” කියන හැඟීම තුළින්. “කර්මම බන්ධු” - කර්මයමයි මගේ ඤාතිවරයා. කෙනෙකුට පිහිට හැටියට තියෙන්නෙත් මේ කර්මයයි කර්මම බන්ධු. “කර්මම පටිසරණෝ” මට පිළිසරණ වශයෙන් පිහිට වශයෙන් තියෙන්නෙත් මේ කර්මයමයි. “යං කර්මමං කරිස්සාමි කලයාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමී” හොඳ හෝ නරක හෝ යම් කර්මයක් මම කරන්නෙම්ද, එහි දායාද කරුවෙක් වන්නෙමි. කියන මෙන්න මේ කාරණය නිතිපතා ගිහි හෝ පැවිදි හෝ ස්ත්‍රී හෝ පුරුෂ හෝ හැම කෙනෙකුන් විසින්ම නිතර ප්‍රත්‍යවේක්ෂා කටයුතුයි කියලා දක්වල තිබෙනවා. එතකොට එහි ප්‍රතිඵලය හැටියට, ආනිසංසය හැටියට, දක්වල තිබෙන්නේ - ඒ විදියට නිතර මෙනෙහි කරන පුද්ගලයා තුළ ඇති කාය දුශ්චරිත, වචී දුශ්චරිත, මනෝ දුශ්චරිත වශයෙන් තිබෙන, කයෙන්, වචනයෙන්, සිතින් කෙරෙන දුසිරිත් - ඒවා එක්කෝ සම්පූර්ණයෙන්ම නැති භංග වෙලා යනවා. එහෙම නැත්තම් ඒවා තුනී වෙලා යනවා. ඒ කියන්නේ ඒ දුසිරිතෙන් වැළකෙන්ට ඉතාමත්ම හොඳ උපක්‍රමය නිතිපතා තමන්ගේ හිතට මේ කර්මය පිළිබද ධර්මතාව යොද ගැනීමයි. “මගේ” කියල තිබෙන්නේ කර්මයයි. ඒ විදියට හිතන කොට අර හදිසි අදහසකින්, එහෙම නැත්තම් ඉක්මන් වීමකින්, සමාජයේ නොයෙකුත් ඉක්මන් අවස්ථාවල ඒ “මමෙයි” කියල ගන්න දේවල් නොවෙයි බුදුපියාණන් වහන්සේ පෙන්නුම් කරලා තියෙන්නේ. තමාගේම සිත් තුළින් ඇති කරගන්න කර්ම වේගයයි අන්තිමට තමාට ඉතිරි වන්නේ. තමාට සැප හෝ දුක ගෙන දෙන්නේ කියන අන්න ඒ කාරණයයි. අන්න ඒක අනුව අපි කල්පනා කරන්න ඕන, මේ කර්ම පටලැවිල්ලේ ඇති හයානකත්වය බුදුපියාණන් වහන්සේ බොහෝ අවස්ථාවල දක්වල තියෙනවා මෙන්න මේ විදියට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කර්මයක විපාකයක් විඳින කොට අපට අවබෝධ වෙන්නේ නෑ මේක කර්ම විපාකයක්ය කියල, බුදු ඇසට පෙනී ගියත්. ඉතින් හිතන්නේ මේක අනිත් අය කරන දෙයක් කියල. අර මහාකාල උපාසක මහත්මයාත් සමහර විට, අපිට එතන විස්තර කියල නෑ - උපාසක මහත්මයෙක් නිසා සමහර විට හිත හදාගන්න උත්සාහ කරන්න ඇති - නමුත් අර විදියට අර ගෙහිමියන් ඇවිල්ල මරණ කොට “අනේ නිරපරාදෙ මා මරනවා” කියල සමහර විට ද්වේෂයක් ඇතිකර ගන්න ඇති. තමා නීරපරාධී කියල මහාකාල උපාසක මහත්මයාත් කල්පනා කරන්න ඇත්තෙ . ඒ විදියේ අකුසල සිතිවිල්ලක් උනත් ඇති කරගන්ට ඉඩ තියෙනවා. නමුත් මේක ගැඹුරින් කල්පනා කරනවා නම් අර විදියට - අර පාඨය අනුව - කෙනෙකුට කොයියම් ආකාරයකින් විපතක් පැමිණියත් සතුරු උපද්‍රවයක් ආවත් හිතන්න තියෙන්නේ, “මේක මම කරගත්තු එකක්”. දැන් අර මහාකාල උපාසක මහත්මයගේ වධකයා කවුද? තමන්මයි. ධර්මනුකුලව කල්පනා කරලා බලනවා නම් ධර්මයේ දක්වෙන කාරණා අනුව, හැම කෙනෙකුගේම මරණයට හේතුවන්නේ අතීතයේ තමාම කළ ප්‍රාණඝාත අකුසලයක්මයි. අන්න එහෙමයි කල්පනා කරන්න තියෙන්නේ. හැම කෙනෙකුගේම මරණයට ආසන්න හේතුව, මරණයට හේතුව-මරණ අවස්ථාවේ සිත නෙවෙයි මෙතන කියන්නේ - මරණයට හේතුව වෙන්නේ තමා විසින්ම අතීතයේ කළ ප්‍රාණසාත අකුසලයක්. දැන් මේක පැහැදිලි වෙනවනෙ මෙතන. මේ මහාකාල උපාසක මහත්මයගේ මරණය සිද්දවුනේ තමාම කළ ප්‍රාණසාතයකින්. තමාමයි වධකයා. එතකොට අනුත් තෙවෙයි. තමන්මයි වධකයා. අන්න ඒ විදියට කල්පනා කරන්න පුරුදු වුනොත් අපිට අර විදියෙ අවස්ථාවල සිත පහසුවෙන්ම උපේක්ෂාවට ගන්ට පුළුවන්, බුද්ධ වචනය අනුව. තමන්ට ප්‍රත්‍යක්ෂ නැති වෙන්ට පුළුවන්. අභිඥා ආදී ඒ ශක්තීන් අප තුළ නැති නිසා අපිට පේන්නේ නෑ මේ මේ කර්මය නිසා මේ මේ දේවල් මට සිද්ද වෙනවා කියල. නමුත් පොදු ධර්මතාවයක් හැටියට අපි මෙනෙහි කරන්න පුරුදු වුනොත් - බුද්ධ වචනය සත්‍යයි. ඒ විදියට බුදුපියාණන් වහන්සේ මේක ප්‍රකාශ කරල තිබෙනවා. මේ කර්මයමයි මගේ දායාදය. කර්මයමයි නෑයා. නෑයා හෝ සතුරා හෝ. ඉතින් මෙතන කල්පනා කරන්න තියෙන්නේ කුශලකර්මයයි. තමන්ගේ නෑයා වෙන්නේ. අකුශල කර්මය තමන්ගේ සතුරා. එකත් බුදුපියාණන් වහන්සේ දක්වල තියෙනවා. කර්මය පිළිබදව කියන කොට. චරන්ති බාලා දුම්මේධා අමිත්තෙනෙව අත්තනා කරොන්තා පාපකං කර්මමං යං හොති කටුකප්ඵලං කියල බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. මෝඩ, අඥාන පුද්ගලයින් හැසිරෙනවයි, තමන්ටම තමන් සතුරු වෙමින්. කර්මයේ සතුරන් හැටියට හැසිරෙනවය. “අමිත්තෙනෙව අත්තනා” - තමන්ටම සතුරන්වගේ වෙමින් හැසිරෙනවය. මොකද, “කරොන්තා පාපකං කර්මමං-යං හොති කටුකප්ඵලං” - කටුක විපාක ගෙන දෙන පාප කර්මයන් කරමින් මේ මෝඩ පුද්ගලයින් තමන්ට තමන් සතුරන් හැටියට ජීවත් වෙනවය. අන්න එතකොට මේ කර්මබන්ධු කියල කියන්නේ නෑයා තමයි. නමුත් සතුරන් වෙන්ට පුළුවන් අර විදියට කල්පනා කළොත් - අකුසල් හැටියට. අන්න ඒකනිසා අපට අපට වෙන සිදුවීම් හැම එකක් තුළම මේ කියාපු කර්ම නියාමතාව - කර්ම ධර්මතාව - ගැබ් වෙලා තියනවා කියලා කල්පනා කිරීම බොහෝ විට අර හදිසි දේවල් ඉක්මන් වීම්, කෝපවීම්, ඒවා යටපත් කරගන්න අපට උපකාර වෙනවා - බුද්ධ වචනය අනුව. අන්න ඒක ප්‍රායෝගික වශයෙන් නිතර කල්පනා කළ යුත්තක්. ඉතින් ඒ විදියටම දැන් මේ කථාන්තරය ආශ්‍රයෙන් අපිට තවත් වැදගත් කාරණයක් හෙළිවෙනවා. පංචශීලයේ වැදගත් කම. බුදුපියාණන් වහන්සේ දේශනා කළ මේ පංචශීලය සුළුපටු දෙයක් නොවෙයි. මේ ශීලය තුළ මේ දීර්ඝ සංසාරයේ සත්ත්වයාගේ සිත අකුසලයට තැඹුරු වී ඇති අවස්ථා සියල්ලම අඩංගු වෙනවා කෙටියෙන් - සරල වශයෙන්. අප විසින් කරන ලද අකුසල කර්ම පොදුවේ ගත්තම කොයියම් ආකාරයකින් හෝ එක්කො පළමුවෙනි ශික්ෂාපදයට - ප්‍රාණසාත අකුසලයට - අහුවෙනවා. එක්කො අදින්නාදානයට, එහෙම නැත්නම් කාමමිථ්‍යාචාරයට. එහෙම නැත්නම් මුසාවාදයට, සුරාපානයට - ප්‍රධාන වශයෙන්. තව ඕවායේ අතු ඉති කියන්න පුළුවන්. නමුත් මෙන්න මේවයි ප්‍රධාන හැටියට සලකන්ට පුළුවන්. එකකොට අතීතයේ ඒ සංසාරයේ අප විසින් කරන ලද පස්පවට අදල පාපකර්ම වල විපාකයි අපි එදිනෙදා නොයෙකුත් ආකාරයෙන් විඳින්නේ. අර කියාපු විදියට මරණය පමණක් නොවෙයි. ලෙඩරෝග, නොයෙකුත් ව්‍යසන, ඊළඟට ධනධාන්‍ය විනාශවීම්, ඒ විදියේ ඒදිනෙදා පැමිණෙන නොයෙකුත් උපද්‍රව මේ හැම එකකටම හේතුව අතීතයේ තමන් විසින්ම කරනලද භයානක අකුසල්මයි. එතකොට එපමණක් තොවෙයි මේ කර්මයේ තියෙන හයානකත්වය. අර දැන් කිව්වා වගේ කර්මයේ ඇති යථා තත්ත්වය නොදැනීම නිසා කර්ම නුල් බෝලය තමන් පටලවා ගන්නවා. ඇත්ත වශයෙන්ම බුදුපියාණන් වහන්සේ මේ සංසාරය සමාන කරලා කියනවා අවුල් වූ නූල් බෝලයකට. මේක අවුල් වූ නූල් බෝලයක් වෙන්නේ කොහොමද? අපට අප කරන ලද කර්මය අනුව යම්කිසි විපාකයක් එනවා. ඒ විපාක එන අවස්ථාවේ අපි දන්නේ නෑ මේක කොහොමද වුනේ කියලා. අපි ඒක අවුල් කරගන්නවා. අවුල් කරගන්නේ ඒක තුළින් තවත් කර්ම ඇති කරගැනීමෙන්. ඒ තමන්ට විපාක දෙන්න උපකාර වුනු පුද්ගලයන් පිළිබදව ද්වේෂය ඇති කරගෙන - එපමණක් නොවෙයි තවත් ඒක නිසා ඇතිවුන නොයෙකුත් විදියේ කෙලෙස්වලට යටවෙලා කර්මය පටලවා ගන්නවා. තව තවත් කර්ම රැස්කරගන්නවා. ඉතින් අන්න ඒ විදියේ භයානක තත්ත්වයක් තියෙනවා කර්ම පටලැවිල්ලේ. තමා විතරක් නෙවෙයි ඒ පටලැවිල්ලට අහුවෙන්නේ. කර්මයක් කරන කොටත්, ඒකේ විපාක විඳිනකොටත්, ඒකට එකතු වන තවත් පිරිසක් ඉන්නවා. ඒකට අනුමෝදන් වන පිරිසකුත් ඉන්නවා. දැන් අපි දන්නවා දානයක් දීලා, එහෙම නැත්තම් වෙන වටිනා පින්කමක් කරලා, අපි පින් අනුමෝදන් කරනවා අනිත් අයට. ඒ අවස්ථාවේ ඉඩකඩ තිබෙනවා අනිත් අයට ඒ කුසලය අනුමෝදන් වෙලා දුගතියට යන්නේ නැති විදියට සුගතියම යම්කිසි කුසලයක් ඇතිකරගන්න. ඒ හොඳ පැත්ත. අනුමෝදනා කියන වචනය අපි සාමාන්‍යයෙන් යොදන්නේ කුසල් පිළිබදවයි. නමුත් පින්වතුනි, අපිට කොතෙකුත් සමාජයේ දකින්ට ලැබෙනවා අකුසලුත් අනුමෝදන් වෙන අවස්ථාවල් තිබෙනවා. දැන් විශේෂයෙන්ම මේ යුගයේ මේ පින්වතුන් දන්නවා හොදට. තමන්ගේ හිතවතුන්ට අනියම් ආකාරයෙන් හෝ යම්කිසි ලාභයක් සිද්ද වෙන කොට ඔන්න ඒ ගැන සතුටු වෙනවා. ඒක අකුසලයක් නම්, වැරදි විදියට නම්, ඒ පුද්ගලයා ඒ කටයුත්ත කරගත්තේ එතනදි අපිත් කරන්නේ ඒ අකුසලය අනුමෝදන් වීමක්. එහෙමත් නැත්තම් විශේෂයෙන්ම යම්කිසි බරපතල දෙයක් - අපි හිතමු - මිථ්‍යාදෘෂ්ටිය. හොරකම් කිරීම්, තව නොයෙකුත් දූෂණ ආදී කටයුතු තමන්ගේ හිතවතෙක් කරල තිබුණොත්, එක්කෝ තමන් කය වචනයෙන් ඒකට උදව් වෙනවා. එහෙම නැත්තම් හිතෙන් සතුටු වෙනවා. “අනේ බොහොම හොදයි”. වෙන එකක් කියා තමන්ගෙ සතුරෙක් මැරුණොත් “සාදු” “සාදු” කියල ඒකත් අනුමෝදන් වෙන සිරිතකුත් සත්ත්වයා තුළ තිබෙනවා. ඒ තරමට මුළාවෙලා. එයින් කරන්නේ මොකක්ද? අර අහක යන - එහෙම නැත්තම් තමන්ට අයිති නැති - දෙයක් තමන්ගෙ ඇගේ දාගෙන තමන් ඒ අකුසලයේ බැදෙනවා. එතකොට මේ “අනුමෝදනා” කියන වචනය කුසල් පිළිබදව යෙදුනට මොකද, අපි නොදැනුවත්වම අකුසලුත් අනුමෝදන් වෙනවා. ඒක වෙන්නේ අන්න අර අවිද්‍යාව නිසා. අර අනුමෝදනාව කියන එකත් කර්මයක්. අනිත් කෙනෙක් කළා වුනත් තමන් සිතෙන් සතුටු වෙන කොට තමන්ගෙත් වේදනාව එයින් කිලිටි වෙනවා. ඒ තුළින් තමනුත් අකුසලයක් රැස්කරගන්නවා. අන්න ඒ විදියේ අවස්ථාවලින් පරිස්සම් විය යුතුව තිබෙනවා. එතකොට දැන් ලෝකයේ නොයෙකුත් විදියේ පක්ෂ තියනවා. නමුත් සනාතන වශයෙන් ලෝකයේ තිබෙන පක්ෂ දෙකක් ධර්මයේ සඳහන් වෙනවා. සුර-අසුර කියලා. ඒ පක්ෂ දෙක අතර කවදත් සටනක් තිබෙනවා. බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා යම් කාලයක තථාගතයන් වහන්සේලා ලෝකයේ පහළවෙද්ද ඒ කාලයේ සුරයින්ගේ - ඒ කියන්නේ දෙවියන්ගේ - පක්ෂය තර වෙනවය - අසුර කියල කියන යක්ෂයන්ගේ පක්ෂය හීන වෙනවය - දුබල වෙනවය, ඒ පිරිස අඩු වෙනවය කියල. එහි තේරුම මොකක්ද, සත්ත්වයා කුසලට නැඹුරු වෙනකොට වැඩියෙන් දෙවිවරුන් ලෝකයේ පහළවෙන්නේ. ඊළඟට අකුසලයට නැඹුරුවෙන්න නැඹුරුවෙන්න, අර යක්ෂ - ප්‍රේතාදී පහත් ලෝකවල උපදින අය වැඩිවෙනවා. ඔන්න ඔය විදියේ තරඟයක් ලෝකයේ තිබෙනවා. මේකයි කළු - සුදු වශයෙන් දක්වන්න පුළුවන්. ධර්මය වශයෙන් කල්පනා කරල බලන කොට කුසල් - අකුසල් අතර තරඟය සුදු - කළු කියල ගන්නත් පුළුවන් - සුදු පක්ෂය කුසල්, කළු පක්ෂය අකුසල්. ඔන්න ඔය පක්ෂ දෙක තමයි සනාතන වශයෙන් ලෝකයේ පවතින්නේ. අනිකුත් ඔය අපි හිතන පක්ෂ නොවෙයි. අන්න ඒක නිසා අපි කල්පනා කරන්න ඕන අපි මොන පක්ෂයටද අයිති කියල. මොන පක්ෂයටද ඡන්දය දෙන්නේ කියලා. කළු පක්ෂයටද සුදු පක්ෂයටද කියලා. සුදු පක්ෂයට දෙන ජන්දයට කියනවා කුසලච්ඡන්දය කියලා ධර්මයේ - කුසලච්ඡන්දය. කුසලයට ඡන්දය දෙනවා. ඡන්දයේ නරක පැත්තකුත් තියෙනවා. ඒකට ඡන්දරාග කියල කියනවා. අන්න අකුසලය පැත්තට යනවා. ඡන්දරාග කියන ඒ රාගයට නැඹුරු වන විදියේ ඇල්ම ඇති කර ගත්තොත් ඒක නරකට යනවා. කුසලච්ඡන්දය හොඳ දෙයක්. මොකද, ඒක නිවනින් කෙළවර වන යම්කිසි වැදගත් ඕනෑකමක්, එහෙම නැත්තම් ධර්මයට කැමැත්තක්. ඔන්න ඔය විදියේ බලවේග දෙකක් ලෝකයේ තිබෙන බව අපි කල්පනා කරන්න ඕන. ඒ විදියට තම තමන්ගේ ජීවිතය හරියාකාරව සකස් කරගත්තෙ නැත්තම් මේ බුදුපියාණන් වහන්සේගේ ධර්මයට අනුව, අපි මේ යන ගමන මොන ප්‍රපාතයකින් කෙළවර වෙනවද කියල කියන්න බෑ. අන්න ඒ විදියේ තත්ත්වයක් තිබෙන්නෙ. ඒ නිසා විශේෂයෙන්ම ශීල සමාදනය ගැන කල්පනා කරන්න ඕන. දැන් මේ අවස්ථාවෙත් ආජීව අෂ්ටමක ශීලය. ඒ වගේම පොහොය අටසිල්. ඇතැම් කෙනෙක් දසසිල්. ඔය විදියට මේ ශීලයක් සමාදන් වුනා. මේකෙ වටිනාකම ගැන හිතල බලන්ට ඕන. කොයි තරම් වටිනා දෙයක්ද මේ බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙන්නේ ශීලය හැටියට. මේ ධර්ම මාර්ගයේ ශීලය කියන එක මුල් පියවර පමණයි. නමුත් ඒක තුළත් තියෙන්නේ කොයි තරම් වටිනා දෙයක්ද? මේ කය, වචනය හික්මවා ගැනීමත් ක්‍රමානුකූලව කළ යුත්තක්. ශීලය කියල කියන්නේ “හීලෑකම”. අපි සිංහල කරල ගත්තොත්, හිංගල කරල ගත්තොත්, ශීලය කියල කියන්තෙ හීලෑකම. මේ හීලෑකමේ අගය අපට පේනවා හික්මවා ගත්තු ඇතෙකුගේ චර්යාව දිහා බලනකොට. ඒ ඇත්ගොව්වා අර තරම් විශාල සතෙකුගේ පිට නැගලා ඌට කියල යම් යම් වැඩ කරවගන්නවා. ඒ වගේම වේගයෙන් දුවන අශ්වයෙකුගේ පිටනැගල, හීලෑ කරගෙන, ඒ විදියට කටයුතු කරනවා. ඒ විදියට තිරිසන් සතෙක් පවා ක්‍රමානුකූලව හීලෑ කරගත්තම කොයි තරම් පුදුම විදියේ වැඩ කරවාගන්ට පුළුවන්ද? තමන්ට එයින් ප්‍රයෝජනයක් ගන්ට පුළුවන්ද? ඒ විදියට බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කළ මේ ශීලය අනුව අපි කය, වචනය හික්මවා ගත්තොත් - ඊළඟට ඒ තුළ තිබෙන්නෙ කය, වචනය පමණක් තොවෙයි. යන්ත්‍ර නොවෙයි මේ අපේ ශරීර. මේ, කය, වචනය කියන දේවල් ක්‍රියාත්මක කරන්න උපකාර වන්නේ “මනො පුබ්බංගමා ධම්මා” කියන ඒ පදයට අනුව සිතයි. මේකට මූලික හේතුව වෙන්නේ සිතයි. ඇත්ත වශයෙන්ම මේ ශීලය තුල තිබෙන්නේත් - මේක සංඝයා වහන්සේලා ප්‍රකාශ කරන ආකාරයට, - අර කතාව කියන්නේ “ගමරාළ සිල් සමාදන් වුනා වගේ” - එහෙම ශික්ෂාපද කීමක් නොවෙයි තේරුමක් නැතුව. හිතට දාගන්න ඕන. සමහර විට අපි ඒක චාරිත්‍රානුකූලව, වඩා ගෞරවයක් ඇති වෙන්න පාලියෙන් කිව්වට මොකද, ඒහි අදහස තේරුම් ගන්න ඕන. සතුන් මැරීම පිළිබද මේ ශික්ෂාපදය, එහෙම නැත්තම් සතුන් මැරීමෙන් වෙන්වීම - වේරමණී කියල කියන්නේ වෙන්වීම - මෙතන “වේරමණි” කියල කියන්නෙ , “විරතිය” කියල කියන්තෙ, වෙන්වීම. එකයි අමාරුව. කිරීමයි පහසුව. වෙන්වීමයි අපහසු. ඒ වෙන්වීම පිළිබද ශික්ෂාපදය, ඒ හික්මීම පිළිබද නීතිය, “මම පිළිඅරගෙන සමාදන් වෙනවා” කියල කියන්නෙ. මම අරගෙන - කවුරුවත් කිව්වට නොවෙයි ස්වේච්ඡාවෙන් - ඒක රැකීම කියල ඒ විදියට යම්කිසි අධිෂ්ඨානයක් සිතේ තැන්පත් කරගැනීමයි. තමන්ගේ නුවණට අණ කිරීමක් වගෙයි. මේ අපේ ක්‍රියාකාරීත්වය - සාමාන්‍යයෙන් හිතුමතේට කෙරෙන දේවල් තියෙනවා. නුවණින් කල්පනා කරල කරන දේවල් තියෙනවා. මේ දෙක අතර ලොකු වෙනසක් තියෙනවා. අප එක් එක්කෙනා තුළ තියෙනවා යම්කිසි ශක්තියක්, “නුවණ” කියල දෙයක් - සිහි නුවණ කියල කියන්නෙ - කල්පනාකාරීව යමක් කරන්න පුළුවන්කම තියෙනවා. නමුත් ඒක මතු කරගත යුත්තක් -උත්සාහයෙන්. මොකද? සංසාරයේ ස්වභාවය පහළට ගලායන දිය දහර වගේ අකුසලයට යාමයි. ඒක නිසා ඒක යටපත් වෙලයි තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් ක්‍රියාකරන්නේ සිතැඟි අනුව, සිතට අනුව, ඒ හිත කියලා උඩින් තියෙන හිත බොහෝවිට අකුසලයට නැඹුරුයි. නමුත් නුවණ කියන එකක්, යම්කිසි ශක්තියක්, ප්‍රඥාවක් අප තුළ තියෙනවා. වැටහීමක් අප තුළ තියෙනවා. ඒ අදහසම තමයි ප්‍රත්‍යවේක්ෂා කියල කියන්නේ. ප්‍රත්‍යවේක්ෂා කියන වචනය ගැඹුරින් කල්පනා කරල බැලුවොත් - දැන් කෙනෙක් කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ල තමන් දිහා බලන්නා වගේ දෙයක්. යමක් පිළිබදව නැවතිල්ලෙ හිතල බලන එක. ගමනක් යන්න සූදානම් වෙලා මඟුල් තුලා ආදියට යන්න සූදානම් වෙලා, තමන් සැරසිලා අඩුපාඩුවක් තිබෙනවාද, ඒ ආභරණය හරි තැනද දාගත්තේ කියල ඒ විදියට බලන්නෙ අර කණ්ණාඩිය ඉස්සරහට ගිහිල්ල. ඒ වගේම අපේ සිත් තුළ තිබෙනවා නැවත සලකා බැලීමේ ශක්තියක්. නැවත ආවර්ජනා කර බැලීමේ ශක්තියක්. විශේෂයෙන් “මේක මෙහෙමද” කියල අපිට නැවතිල්ලේ කල්පනා කරන්න පුළුවන්කමක් තිබෙනවා. අන්න ඒකයි මේ ප්‍රත්‍යවේක්ෂා කියලා කියන්නේ. බුදුපියාණන් වහන්සේ පවා කන්නාඩියේ උපමාවෙන් දක්වලා තිබෙන්නේ හිතල බලන්නය මේක කොහොමද කියල. කුසල් - අකුසල් කියන එක කෙටියෙන් බුදුපියාණන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේට විග්‍රහකරල දීල තියෙන්නෙ - අකුසල කියල කියන්නේ තමාගේ පිරිහානියටත්, අනුන්ගේ පිරිහානියටත්, හේතුවන, සිතින්, කයින්, හෝ වචනයෙන් කෙරෙන යම්කිසි ක්‍රියාවල්. එතකොට අන්න ඒ විදියට හිතාගත්තම මේක මේ කෙටි කාලීන අදහසක් නෙවෙයි බුදුපියාණන් වහන්සේ දක්වන්නෙ. සමහර විට හිතන්න පුළුවන් මට මේ වෙලාවෙ ලාභයක් ලැබෙනව කියල. නමුත් මෙතන කර්මානුරූපව කල්පනා කරලා බලනකොට එහෙම කෙටි කාලීන හැඟීමක් නෙවෙයි ගන්න තියෙන්නෙ. දැන් යම්කිසි කෙනෙක් හොරකමක් ආදී දෙයක් කරන්න පුළුවන් මට මෙයින් ප්‍රයෝජන වෙනවා කියල. ඉන් හැබැයි අනුන්ට අයහපතක් සිද්දවෙන්නෙ. එපමණක් නොවෙයි. තමන්ගෙ සිත කිලිටි වෙනවා. ඔන්න ඔය විදියට නුවණින් කල්පනා කරන්න ඕන. එහෙම කල්පනා කරන්න ශක්තියක් අප තුළ තිබෙනවා. ප්‍රත්‍යවේක්ෂාව කියල. ඒක ඉදිරිපත් කරගන්ට ඕන. එවගේම අර නුවණ, යම්කිසි අධිෂ්ඨාන ශක්තියක් හිතට දමල, ළඟට ඒත් එක්කම යන එකක් තමයි ආවර්ජනාව කියන එක. ශීල ආවර්ජනාව. ආවර්ජනාව කියල කියන්නේ නැවත සළකල බලනවා තමන්ගේ ශීලය - මං මේ විදියේ ශීලයක් සමාදන් වුණා. මේ ශීලයට ගැලපෙන ආකාරයටද මේ පැවැත්ම කියලා - දැන් මේ අවස්ථාවේ නම් තමන් ශීලයක් සමාදන් වෙලා බව මතක් වෙන්ට ඇදුම් පැළදුම් පිළිබදවත් - සමහර කෙනෙක් වෙනසක් කර ගන්නවා. මේ කොයි එකෙනුත් කරන්නේ තමන් ශීලයක් උඩ ඉන්නවා කියත එක අඳුන්නල දීමයි. ඊළඟට ඒක හිතට නඟාගෙන ඒ පැවැත්මට අනුරූප විදියට ජීවත්වෙන්ට උත්සාහ කරනවා. ඒක තුළින් තමයි කෙනෙකුට හිත හික්මවා ගන්ට පුළුවන් වෙන්තේ. ඉස්සෙල්ලම කය වචනය හික්මවා ගන්නවා. ඒක තුළිනුත් විශාල සැපයක් තමන් එදිනෙදා ජීවිතයේදී ලබන බව බුදුපියාණන් වහන්සේ දක්වල තිබෙනවා. ඒකට කියනවා. අනවජ්ජ සුඛය කියල. නිරවද්‍ය භාවය. වැරද්දක් නැතිව අපි ජීවත් වෙනවා කියන ඒ සැනසිල්ල. දැන් අද කී දෙනෙක් පසුතැවිල්ලෙන් යුක්තව ගතකරනවාද? ශීලයේ ආනිසංස පසුතැවිලි වලින් තොරව - විපිළිසර බව කියල කියන පසුතැවිලිවලින් තොරව - එදිනෙදා ධර්මය සැනසීමකින් යුක්තව ජීවත් වීමයි. අර අකුසල කරන පුද්ගලයට එදිනෙදා ඒ ජීවිතයේ කටයුතු කරන අවස්ථා වල හිතට නාවත්, සමහර විට තමන් නින්දට යන වේලාවට ඔන්න මතක් වෙනවා. මං මේ විදියේ දේවල් කරලා තිබෙනවා නේද කියල. විශේෂයෙන්ම වයස්ගත අවස්ථාවේ. එහෙම නැත්තම් මැරෙන අවස්ථාවේ. අර අකුසලයක් හිතට එනව. මැරෙන අවස්ථාවේ, බරපතල අකුසලයක් හිතට ආවොත් කෙළින්ම යන්තේ දුගතියටයි. ඔන්න ඔය විදියේ භයානක තත්ත්වයක් සංසාරේ තිබෙනවා. මේක නිසා තමයි බුදුපියාණන් වහන්සේ අවසාන වශයෙන් ප්‍රකාශ කරන්නෙ මේ මුළ මහත් සංසාරයෙන් මිදෙන්න කියලා. සංසාරයෙන් මිදෙනවා කියල කියන්නෙ අන්න අර කියාපු කර්ම පටලැවිල්ලෙන් සම්පූර්ණයෙන් බේරෙන එකයි. එසේ මෙසේ ක්‍රමයකින් එකෙන් බේරෙන්න බෑ. එක මහ පුදුම විදියේ අවුල්වූ නූල් බෝලයක් වගේ දෙයක්. එකමයි මේ කර්ම පටලැවිල්ලෙන් බේරීම - එහෙම නැත්තම් සංසාරයෙන් බේරීම - සදහා බුදු කෙනෙක් අවශ්‍ය වන්නෙ. බුදු කෙනෙක් කියල කියන්තේ තමන් බේරුන වගේම අනිත් අයටත් බේරෙන්ට උපකාර වන ධර්මය සත්ත්වයාට පැහැදිලි කර දෙන කෙනෙකුයි. ඉතින් ඒ ක්‍රමය තමයි ලෝකෝත්තර විමුක්තිය. බුදුපියාණන් වහන්සේලා මේ දක්වන ලොවුතුරු විමුක්තිය - ලෝකයෙන් එතෙරවීම. ඒක තුළිනුයි මේ කර්ම පටලැවිල්ල බේරගන්න පුළුවන් වන්නේ. මේ හැම එකකටම මූලික හේතුව හැටියට දක්වනවා සංස්කාර. මේ සංස්කාර නිසායි ඒවා සිද්ධ වෙන්නෙ කියලා. මේ පින්වතුනුත් ඇතැම් කෙනෙක් අහල ඇති අවිද්‍යාව නිසා සංස්කාර ඇතිවෙනවයි කියල. ඉතින් අර කියාපු “මමය” “මගේය” කියාපු ඒ “තමාය” කියල ගත්තු හැඟීම නිසා - නොයෙකුත් විදියේ සිත - ඇතුලේ - සකස්වීම් රාශියක් සිද්ධ වෙනවා. කෙටියෙන් හඳුන්වතොත් චේතනාව කියල ගන්නත් පුළුවන්. චේතනාව, ප්‍රාර්ථනාව, බලාපොරොත්තුව කියල ඇතිවන යම්කිසි සිතිවිලි පරම්පරාවක්. සිතේ ක්‍රියාකාරීත්වයක් තිබෙනවා. ඒ ක්‍රියාකාරීත්වය අන්න අර කියාපු විදියේ මහා නූල් බෝල පටලැවිල්ලක් වගේ තත්ත්වයකට සංසාරයේ අපව ගෙනයනවා. දීර්ඝ කාලයක් අපව ජීවත් කරවන්නෙ අප කරන ලද ඒ කුසලාකුසල කර්මයි. එතකොට මෙයින් බේරෙන්න නම් මෙතන මේ කියන චේතනා ශක්තිය, මේ කර්ම ශක්තිය. එහෙම නැත්තම් මේ සංස්කාර වේගය, සංසිඳවන්ට ඕන. සමනය කරන්න ඕන. නිවන්ට ඕන. අන්න ඒ විදියේ දෙයක් බුදුපියාණන් වහන්සේලා දක්වන්නේ, ලෝකෝත්තර විමුක්තිය හැටියට. මාඟී එල ප්‍රතිවේධයෙන්, මාර්ග ඥානවලින්, සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් කියල මාර්ග හතරක් තුළින් මේ මුළු මහත් සංසාර ගැටළුව - මේ කර්ම පටලැවිල්ල - බුදුපියාණන් වහන්සේලා විසඳනවා. එතකොට කෙටියෙන් සලකා ගත්තොත් මෙන්න මෙහෙම හිතාගන්න පුළුවන්. මේ කවුරුත් අහල කියනවා සෝවාන් වුන කෙනෙක් - ඒ කියන්තේ අර විදියට ශීලය පදනම් කරගෙන, සමාධියෙන් සිත තැන්පත් කරගෙන, ප්‍රඥාව කියල කියන චතුරාර්ය සත්‍යය - ලෝකයේ පැවැත්ම දුකක්. මේකට හේතුව තණ්හාවයි. මේ තණ්හාව සංසිඳීමමයි නිවන. ඒකට මාර්ගය වන්නේ ආර්ය අෂ්ටාංශික මාර්ගයයි - අන්න ඒ විදියට ඒ හතර කාරණය තමන් ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන එක්තරා මට්ටමකින්. වෙනත් විදියකින් කියනවා නම් මේ මුළු මහත් පැවැත්මේ ඇති අනිත්‍ය දුඃඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය අවබෝධ කරගන්න ඕන. ඒ විදියට අවබෝධ කරගෙන මේ සංසාර පැවැත්ම පිළිබද නොඇල්මක්, එපාකමක්, හිතේ ඇතිවෙන්ට ඕන. මේක පිලිබඳ එපාකමක් ඇතිවන තාක් මේ සංසාරයෙන් බේරෙන්නට බෑ. එක මේ එදිනෙදා ජීවිතයේ තොයෙකුත් අර විදියේ උපද්‍රව , ව්‍යසන ආවම හැම කෙනෙකුටම මොහොතකට හිතේ ඇතිවෙනවා අපොයි මේ සංසාර පැවැත්මේ කිසි සාරයක් නැහැයි කියල. නමුත් අර භයානක අන්දමින් අවිද්‍යාව, තණ්හාව, හිතේ බලපවත්වන නිසා, ඒක අමතක වෙලා යනවා. අන්න ඒ විදියේ තත්ත්වයක් තිබෙනවා. ඉතින් බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ ක්‍රමානුකූලව අර විදියට ශීලය, සමාධිය, ප්‍රඥාව වඩල, හරියාකාරව නුවණින් මෙනෙහි කිරීම තුළින් ප්‍රඥාව වඩල, ඊළඟට යම්කිසි අවස්ථාවක සිත සෝවාන් තත්ත්වයට පැමිණියා නම්, ඒ මාර්ග ඥානයෙන් මොකද්ද වෙන්නෙ - අර සංසාර පැවැත්මේ තව ආත්මභාව 7 කට පමණක් සීමා කරලා, එපමණක් ඉතුරු කරල, අනිකුත් සියල්ම කර්ම ශක්තීන් විනාශ කරල දමනවා. විශේෂයෙන්ම අපායගාමී කර්ම නැතිවීම. අන්න ඒක නිසා තමයි සෝවාන් කියල කියන ඒ ප්‍රථම මාර්ග ඥානයෙන් ලැබෙන විමුක්තිය පවා බුදුපියාණන් වහන්සේ චක්‍රවර්ති රාජ්‍යයටත් වඩා උතුම් කියල ප්‍රකාශ කරල තිබෙන්නේ. ඒ විදියට කල්පනා කරන්න ඕන. එතකොට ඒ පළවෙනි මට්ටම. ඊළඟට දෙවෙනි මට්ටම හැටියට දක්වනවා සකදාගාමී තත්ත්වය. සකදාගාමී කියල කියන්තේ ඒ පුද්ගලයාගේ ප්‍රඥාව දැන් දෙවැනි මට්ටමේදී නැවත එක් වරක් දිව්‍ය ලෝකයෙත් එක් වරක් මනුෂ්‍ය ලෝකයෙත් පැවැත්මට පමණක් ඉතුරු කරලා අතිකුත් කර්මයන් ක්ෂය කරනවා. ඇත්ත වශයෙන්ම සකදාගාමී කියල කියන්තේ නැවත එක් වරක් පමණක් මෙලොවට එන. ඉතින් ඒකට ඉඩ තිබෙනව, දිව්‍ය ලෝකෙ එක වරක් ඉපදිලා, ළඟට නැවත මනුෂ්‍ය ලෝකෙට එනවා. ඒකයි. ඊළඟට අනාගාමී තත්ත්වයට පැමිණිය ඒ තැනැත්තාගේ සිත අර භව සංයෝජන කියලා කියන, භවයට බැඳිච්ච ඒ බන්ධන රාශියක්ම කැඩිලා ඊළඟට සුද්ධාවාස කියල කියන බ්‍රහ්ම ලෝකවල උත්පත්තිය ලබලා එතනදිම පිරිනිවන් පානවා. එතකොට සුද්ධාවාස වල විඳින්ට වන සියුම් කර්ම ටික පමණයි ඉතිරි වන්නේ. ඊළඟට අර්හත්වයේදී, රහත් වීමේදී, කෙරෙන්නෙ දිට්ඨ ධම්ම වේදනීය වශයෙන් - මෙලොව වශයෙන් - විපාක දෙන යම්කිසි කර්ම තිබෙනවා නම් ඒවා පමණක් ඉතුරු කරලා අනෙක් සියල්ම කර්ම වේගයන් සංසිඳවනවා. තවත් උපතක් ගෙන දෙන්නේ නැති තත්ත්වයට සිත පමුණුවනවා - ඒ ප්‍රඥා ශක්තිය තුළින්. ඒකට තමයි සංස්කාර සංසිඳීම කියල කියන්තේ - “සබ්බ සංඛාර සමථෝ.” නිවනටම නමක් තමයි සියළුම සංස්කාරයන් සමනය කිරීම. එතකොට මේ සමනය කිරීම, සංසිඳවීම, සන්සුන් කිරීම, නිවීම, කියන මෙන්න මේ වචන රාශිය තුළින් පෙන්නුම් කරන්නේ, මේ සංසාර ගැටලුව බුදුපියාණන් වහන්සේලා විසදූ ආකාරයයි - අවබෝධය තුළින්, ප්‍රඥාව තුළින්, පාරිශුද්ධිය තුළින්. අන්න ඒ විදියට ඒ ධර්ම මාර්ගය බුදුපියාණන් වහන්සේලා දක්වලා තිබෙනවා. ඒක අනුව අපි කල්පනා කරගන්ට ඕන අපේ මේ ජීවිතය කොයි විදියටද ගෙවිය යුත්තෙ කියල. දැන් මේ පින්වතුන් තව දින කිහිපයකින් අළුත් අවුරුද්දකට, අළුත් ශත වර්ෂයකට, පා තියන්න සුදානම් වෙලයි ඉන්තේ. ටිකක් හිතල බලන්ට ඕන මොකක්ද මේ පසුගිය ශත වර්ෂය කියල. භෞතික වශයෙන් බලනවා නම් මේක ඉතාමත්ම පුදුම විදියේ නිෂ්පාදන තුළින් දියුණුව කරා ගිය ශත වර්ෂයක්. නමුත් ආධ්‍යාත්මික වශයෙන් බලන කොට හයානක පරිහානියකට මුහුණ දුන්නු යුගයක්. ඒකට සමහර විට හේතුව වන්ට පුළුවන් අර භෞතික දියුණුව ගැන - ඒකේ වටිනාකම ගැන - වැරදි විදියේ අවබෝධයක් ඇතිකර ගැනීම. ඒ භෞතික දියුණුව තුළින්ම බොහෝ විට තමන්ගේ ආධ්‍යාත්මික පිරිහානියට කාරණා රැස් කරගන්ට ඇති. මොකද, මේ පින්වතුන් දන්නවා දැන් එදිනෙදා ජීවිතයේ බණ භාවනා කරන්න අවස්ථාවක් නැහැ කියල කියනවා. දවසේ කාලයක් නැහැ කියල කියනවා. ඒකට හේතුව හිතාගන්ට පුළුවන් මොකද කියලා. ගෙදර දොරවල් වල කියන තත්ත්වය පිළිබදව. ඉතින් අපි දියුණුව කියලා කියන කාරණයම තමයි අපේ පරිහානියට හේතු වන්නෙ. අන්න ඒ නිසා නුවණින් මේ අපේ සාර ධර්ම කියල කියන ජීවිතයේ වටිනාකම් පිළිබද හරි අවබෝධයක් ඇති කරගන්ට උත්සාහවත් වෙන්ට ඕන. නුවණින් සළකලා බලලා, මෙන්න මේ විදියේ ධර්මකථාන්තර ආශ්‍රයෙන්. මේක අද ඊයේ පමණක් නොවෙයි. ඒ කාලයට පමණක් නොවෙයි, මහාකාල උපාසක මහත්තයට පමණක් වන දේවල් නොවෙයි, අපි කාටත් වන දේවල්. මේවා තුළ තියන ධර්මතාව බුද්ධ වචනය අනුව කල්පනා කරලා මේ සංසාරයෙන් මීදීම සදහා උපකාර වන ගතයුතු ගමන් මාර්ගය, ආර්ය අෂ්ටාංශික මාර්ගය, ත්‍රිවිධ ශික්ෂාව වඩන්න උත්සාහවත් වෙන්ට ඕන - බාධක මධ්‍යයේ හෝ. මක්නිසාද මධ්‍යකාල බුද්ධෝත්පාද කාලයක විතරයි මේක කරන්න පුළුවන් වන්නේ. අබුද්ධෝත්පාද කාලයක අපට මේ “නිවන” කියන වචනය වත් අහන්ට ලැබෙන්නේ නෑ. ඇහුනත් තේරෙන්නේ නෑ. අන්න ඒ විදියේ පුදුම යුගයක්. අන්න ඒක නිසා මොන විදියකට මේ ශත වර්ෂයක් ගැන කල්පනා කළත්, අපි ඇත්ත වශයෙන්ම මේ එක මොහොතයි ජීවත් වන්නේ. මේ මොහොත පමණයි අපි ජීවත් වන්නෙ. ජීවිතයයි ආත්ම භාවයයි කියලා අපි කියන හැම එකක්ම ඉතාම සුළු ක්ෂණයයි පවතින්නේ. ඒ ක්ෂණය බිඳිලා යනවත් එක්කම එතනින්ම ඉවරයි. නමුත් අපි මේ ගැටගහගන්නවා අවිද්‍යාවෙන්, තණ්හාවෙන්. එතකොට මෙන්න මේ සත්‍යතාවයි කෙනෙක් භාවනාව මගින් ප්‍රත්‍යක්ෂ කර ගත යුත්තෙ. මේ අනිත්‍යතාව කියලා කියන - බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කොට වදාළ මේ සත්‍යතාව අපි හිතෙන්ම ප්‍රත්‍යක්ෂ කරගන්ට ඕන. මේක දකින්ට ඕන. ඒ දැකීම තුළින් තමයි. අර ගැටගැසීම නතර වන්නේ. උපාදනය කියල කියන්තේ අල්ලා ගැනීම. හිත හැමතිස්සෙම යමක් අල්ලගන්නවා, ඉතාම ශීඝ්‍රයෙන්. කැලේක ගහකින් ගහකට පනින වඳුරෙක් වගේ මේ සිත අල්ලගෙන යනවා. එතකොට මේ සිතේ ක්‍රියාකාරීත්වය දැකීම තමයි අර විදර්ශනාවේදී මෙනෙහි කිරීම කියල කියන්නේ. සමාධිමත් සිතකින් මේ සිත ක්‍රියා කරන ආකාරය දකින්ට පුරුදු වෙන්ට ඕන. මේ අපේ කය වචනය කියල කියන තුන් දොර - බුදුපියාණන් වහන්සේ දක්වා වදාළ ශික්ෂා පද ආශ්‍රයෙන් - ජීවා පිළිබදව පාලනයක් කරගන්ට සිද්ධ වෙනවා. ඊළඟට ඇස, කණ, නාසය, දිව, කය, මන කියල කියන ඒ දොරවල් හය පිළිබදවත් - මක්නිසාද මෙන්න මේ දොරවල් තුළින් තමයි අකුසල් ආදිය ගලාගෙන එන්නේ. මේවායින් හිත මෑත් කරලා, ඊළඟට යම්කිසි පිරිසිදු කර්මස්ථානයක් තුළින්, කුසල නිමිත්තක් තුළ සිත බොහෝ වේලාවක් රදවා ගැනීමෙන් සමාධි ශක්තිය - තමාගේ සිතේ කියන ප්‍රබලතාව - ඒ ශක්තිය තමන් අත්දකින්ට ඕන. ඒ විදියට සමාධිමත් සිතකින් තමයි තමාගේ පංචස්කන්ධයේ යථා තත්ත්වය, ලෝකයේ යථා ස්වභාවය දකින්ට පුළුවන් වන්නෙ. අන්න ඒකයි මේ බුදුපියාණන් වහන්සේ දක්වා වදාළ ලෝකෝත්තර විමුක්තිය. ඇත්ත වශයෙන්ම මේ කර්ම පටලැවිල්ලෙන් බේරෙන්ට පුළුවන් වන්නේ ධර්මයෙන් පමණයි. මේ කර්ම චක්‍රයේ බලගතු ශක්තිය බිඳින්ට පුළුවන් වන්නේ ධර්ම චක්‍රයෙන් පමණයි. අන්න ඒක නිසා මේ පින්වත් පිරිස කල්පනා කරන්ට ඕන. අපේ එදිනෙදා ජීවිත රටාව පිළිබදව සැළකිය යුතු සංශෝධනයක් කරගන්ට උත්සාහවත් වෙන්ට ඕන. අඑත් ආරම්භයක් නම්, තමන් හිතතව නම් මොන ලෝක සම්මතයකට අනුව හෝ අළුත් ශතවර්ෂයකට අපි මූණ දෙනවා කියලා හිතනවා නම්, ඒ අනිකුත් නිසරු දේවල් නොවෙයි ජීවිතේ සාරධර්ම ගැන හිතලා ඒ අනුව තමන්ගෙ එදිනෙදා ජීවිත රටාව සකස් කරගන්ට ඕන. දින චරියාව සකස් කරගන්ට ඕන. කාල සටහන සකස් කරගන්ට ඕන. ඒ වගේම වැදගත් දෙයක් තමයි “ආජීවය” කියල කියන තමන්ගේ ජීවන මාර්ගය. ජීවන මාර්ගය භයානක අන්දමින් අධර්මයට නැඹුරු වන යුගයක්, අධර්ම ජීවිකාවන්ට ඉඩ දෙන යුගයක් හැම පැත්තෙන්ම. නමුත් තමන් කල්පනා කරන්න ඕන තමන් සංසාරය කෙටි කරගන්නවද? එහෙම නැත්තම් සංසාරයේ දිගින් දිගට යනවද? මේ විදියේ දුක් රාශියක් මැද්දෙන්. අපි අකැමැති දුක් වලට නම්, ඒ දුක් වලට හේතුවන දේවල් අපි කළ යුතු නෑ. අපි දැන දැන වසවිස පානය කරන්නේ නෑ. දැන දැන තමන් වතුර බොන ලිඳකට වසවිස දාන්නේ නෑ. අන්න ඒ විදියේ තත්ත්වයක් නම් අපි කල්පනා කරන්න ඕන තමන්ට තමන් හතුරෙක් නොවීමට. ඒ බුදුපියාණන් වහන්සේ දක්වා වදාළ ධර්ම මාර්ගය තුළින්ම අපි නැගී සිටින්ට ඕන. දැන් සමහර කෙනෙක් මේ කාලෙ කියනව අහෙනවා - සමහර තර්කකාරයින් - භවය වැඩෙනවය කියල කුසල් ධර්ම කිරීමෙන් පවා. ඒක නිසා ඒකත් නොකර ඉන්නෙයි කියල. ඒක වැරදි අදහසක්. මෙතන තියෙන්නේ මධ්‍යම ප්‍රතිපදාවයි. අකුසලයෙන් ඉවත් වෙන්න කුසලය උපකාර කරගන්නවා. ඒ කුසලය තුළින් ඇති කරගන්න සුචරිතය - ඒක තුළින් තමයි සමාධියක් ඇතිවන්නේ. සිතේ ඇති පසුතැවිලි ආදිය ඉවත් කරල හිතේ යම්කිසි සොම්නසක් තුළින් තමයි, ප්‍රසාදයක් තුළින් තමයි, සිතේ සමාධියක් ඇතිවන්නේ. ඒ නිසා දන් පින් ආදී හැම දේකම ප්‍රයෝජනයක් තියනවා මධ්‍යම ප්‍රතිපදාවට අනුව. එතැතින් නවතින්නෙ නෑ, හැබැයි. ඒ සිත සකස්කර ගත්තට පස්සේ කරන්නෙ මොකක්ද අර විදියට ප්‍රඥාවට උපකාර වන විදර්ශනා භාවනාව වඩනවා. ඔන්න ඔය තත්ත්වය. ඕවා පිළිබඳව පටලවා ගන්නෙ නැතිව, නයාගෙ වල්ගෙන් අල්ලගන්නෙ නැතිව, මේක මේ පහුරකින් එතෙර වන්නා වගේ, මේ හැම එකක්ම අපි උපකාරී කරගෙන, මේ අපේ සිත නිවන කරා පමුණුවා ගන්න උත්සාහවත් වෙන්ට ඕන. එතකොට ඊළහ ශතවර්ෂයක්, එහෙම නැත්තම් ඊළහ අවුරුද්දක් පිළිබදව අපි කල්පනා කරනවා නම්. අපේ දූදරුවන් ඒ හැමකෙනෙකුගේම ජීවිත හැඩ ගැහෙන ආකාරයට අපි උපදෙස් දෙන්න, කථා කරන්න, ඒ අයට අපි දන්නා ධර්මය කියා දෙන්න කලයාණ මිත්‍රයන් හැටියට, ඒ තරම් ශක්තියක් ඇති කරගන්ට ඕන. ඒ ශක්තිය ඇති කරගන්ට පුළුවන් වන්නේ තමනුත් ඒ ධර්මයේ යෙදීමෙන්. මේ විදියට සිල් සමාදන් වෙලා, තමනුත් භාවනා කරනවා නම්, විපතකට පැමිණි අවස්ථාවේ, කෙනෙක් හරියට අතමාරුවක් ඉල්ලනවා වගේ යම්කිසි ගැටළු අවස්ථාවකට මූණ පාලා ඉදිරිපත් වුනාම, ධර්මානුකුලව, ඒ තැනැත්තා හයානක විපතකට පත්වෙලා ඉන්නවා නම් ධර්මයට අනුව ඒකෙන් වළක්වා ගන්ට පුළුවන් වාග් ශක්තිය ඒ පුද්ගලයාට ඇති වෙනවා. එබදු කල්‍යාණ මිත්‍රයින් ඇතැම් විට සිටිනවා මේ ධර්ම මාර්ගයට යොමු වෙච්ච අය අතර. අපි එතකොට බලාපොරොත්තු වෙනවා මේ පින්වත් පිරිසත් මේ විදියට ධර්ම මාර්ගයේ ගමන් කරමින් මේ භයානක ප්‍රපාතයක් කරා යන යුගයක් නිසා අනූනවයෙන් හරි බේරිලා - “අනූනවයෙන්” - මේ ප්‍රපාතයෙන් බේරිලා - ධර්ම මාර්ගයට නැඹුරු වෙලා මෙතන මේ කියාපු සංසාරයේ භයානක තත්ත්වය අවබෝධ කරගෙන ඒ තුළින් තමතමන්ගේ දින චරියාවේ කොයි තරම් වැඩ රාජකාරි තිබුණත්, ආරම්භයක් කරන්න ඕන, සුළු වේලාවකින් හරි. සමහරවිට දවසේ මුළු කාලයම අපිට මේ මේ කටයුතු සදහා යොදන්න වෙනවා කියලා මැසිවිලි කියනවා. එබදු අය යටත් පිරිසෙයින් විනාඩි 10 ක් 15ක් කලින් නැගිටල හරි අමුතුවෙන් කාලය ලබාගන්නවත් ඕන. එහෙම යම්කිසි ආරම්භයක් කළොත්, එතන ඉඳල තිබෙන්නෙ අන්න අර කුශලච්ඡන්දය කියල කියන කුශලයේ ආනිසංසය එනකොට, සුළු භාවනාවක් කළත් එයින් එන ආනිසංසය තුළින් අන්න ඊළඟට උද්‍යෝගය වැඩෙනවා. ඕනෑකම වැඩෙනවා. ඒ වගේම කලයාණ මිත්‍ර ආශ්‍රය අත්‍යාවශ්‍යයි. බුදු පියාණන් වහන්සේ වදළ ඒ ප්‍රකාශයට අනුව මේ මුළ මහත් ශාසනයම කලයාණ මිත්‍රතාවයි. ඒක නිසා තමනුත් කලයාණ මිත්‍රයෙක් වෙන්ට උත්සාහ කරන අතර, ඒකට උපකාර කරගන්ට ඕන අනෙකුත් කලයාණ මිත්‍රයින්. අමාරුවෙන් හරි ඒ අය හමුවෙලා ඒ අයගේ උපදෙස් අරගෙන මේ කටයුතු ඉදිරියට කරගෙන යන්න උත්සාහවත් වෙන්ට ඕන. දැන් එතකොට මේ පින්වතුන් අර විදියට කල්පනා කරගෙන, තමන් මේ එදිනෙදා ජීවිතයේ කරන ක්‍රියාවලියත්, ඒළඟට සිතුවිලි පරම්පරාවත්, මේ හැම එකක්ම අර කර්මයේ ඇති හයානකත්වය මෙනෙහි කරමින් කරන්ට පුරුදු වුනොත් අන්න තමන් දුසිරිතෙන් වැළකීමටත්, සුසිරිතට නැඹුරු වීමටත් ඒක උපකාරයක් වෙනවා. ඒ විදියට කල්පනා කරගෙන දැන් අද මේ වටිනා පෝය දවසේ - මේ අවුරුද්දක් ඉවර වෙන පෝය දවස - ඒක නිසා යම් යම් විශේෂ අධිෂ්ඨාන ඇති කරගන්ට හොඳ අවස්ථාවක්. ඒ විදියට මේ අවස්ථාවේ වටිනා ශීලයක් සමාදන් වෙලා සිත, කය, වචනය හික්මවා ගෙන, ඒවගේම ශ්‍රද්ධාව, වීර්ය, සතිය, සමාධිය, ප්‍රඥාව කියල කියන ඒ ඉන්ද්‍රිය ධර්ම, බලධර්ම, ඇතිවන ආකාරයට එහෙම නැත්තම් ඒවා වැඩෙන ආකාරයට තමන්ගේ සිත කය වචනය පවත්වමින්, මේ පැය තුළ ධර්මශ්‍රවණය කළා. මේවායේ ආනිසංස හැටියට මේවා ඈත අනාගතයකට දාන්නේ නැතුව මේ මේ අවස්ථා වලම මේවායේ සම්පූර්ණ එල ප්‍රයෝජන ලබාගෙන මේ අති භයානක සංසාරයෙන් මිදෙන්ට අධිෂ්ඨාන කරගන්න ඕන. ඒ සදහා අද දින කරන ලද මේ කුසල සම්භාරය, එහෙම නැත්තම් සිත, කය, වචනය හික්මවා ගැනීමෙන්, ධම් ශ්‍රවණය කිරීමෙන් රැස්කර ගත්තු කුසල සම්භාරය, ඒකාන්තයෙන්ම අපිට හේතු වාසනා වේවා, මේ සංසාර දුකෙන් අත්මිදෙන්නට කියලා ඒ විදියට ප්‍රාර්ථනා කරගන්ට ඕන. ඒ වගේම අප විසින් ධම් ශ්‍රවණමය වශයෙනුත්, ධම් දේශනාමය වශයෙනුත්, රැස්කර ගත්තු කුසල සම්භාරය මේ විශ්වයේ යම්තාක් දිව්‍යබ්‍රහ්ම මණ්ඩලයක් සිටිනවා නම් ශාසනාරක්ෂක, ඒ හැමදෙනාම සතුටු සිතින් අනුමෝදන් වෙත්වා! උන්වහන්සේලාගේ පාරමී ශක්තීන් දියුණු කරගෙන, ලෝක ශාසනයේ පැවැත්ම සදහා උදව් කරන්න උන්වහන්සේලාට ශක්තිය බලය ලැබේවා! උන්වහන්සේලා හැම දෙනාම ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමා මහ නිවන් දකින්වා! කියලා, ඒ දෙවියන්ටත් අනුමෝදන් කරන්න ඕන. ඒ වගේම තම තමන් නමින් නැසී මිය පරලොව ගියාවූ යම්තාක් ඥාතීන් සිටිනවා නම් ඔවුනුත් ඇතුළු අවීචියේ සිට අකනිටාව දක්වා වූ සියළුම සත්ත්වයෝ මේ ධම් ශ්‍රවණමය ධම් දේශනාමය කුසලය අනුමෝදන් වෙත්වා! මේ අති භයානක ජාති ජරා ව්‍යාධි මරණාදී සංසාර දුකින් අත්මිදී උතුම් අමා මහ නිවනින් සැනසෙන්ට මේ කුසලය හේතු වේවා! කියලා මෙන්න මේ විදියට ගාථා කියල පින් දෙන්න. එත්තාවතා ච අම්හේහි . . . . . 10 වන දේශනය වාචානුරක්ඛී මනසා සුසංවුතො කායෙන ච අකුසලං න කයිරා එතේ තයෝ කර්මපථේ විසෝධයේ ආරාධයේ මග්ගං ඉසිප්පවේදිතං ශුද්ධාවන්ත පින්වතුනි, මේ දුරුතු පෝය දවස බෞද්ධ අපට වැදගත් වන්නේ ශාන්ති නායක තිලෝගුරු බුදුපියාණන් වහන්සේ කැළණියට වැඩම කළ යම්කිසි ඓතිහාසික සිද්ධියක් නිමිති කරගෙනයි. එහෙම නමුත් ලෝක සම්මත දින දර්ශනය අනුව හිතන මතන බොහොම දෙනෙකුට, විශේෂයෙන්ම මේ ලැබූ දුරුතු පෝය, අළුත් වර්ෂයක - අළුත් ශත වර්ෂයක - පළමුවෙනි පෝය දවස හැටියටත් වැදගත් වෙන්ට පුළුවනි. මේ රටේ වගේම ලෝකයේ බොහොම දෙනෙක් මෙන්න මේ දින දර්ශනය දිහා බලාගෙන, දින දර්ශනයේ ඉලක්කම් දිහා බලාගෙන, නව යුගයක් - නවෝදයක් - බලාපොරොත්තු වෙන අවස්ථාවක් මේක. තමන්ගේ ජීවන දර්ශනය ගැන සැළකීමක් නැතිව, ජීවන දර්ශනයේ අඩුපාඩුකම් සකස් කර ගන්න උත්සාහයක් ගන්නේ නැතිව, දින දර්ශනය තුළින්ම නවෝදයක් බලාපොරොත්තු වීම ලොකු මුළාවක්. ඇත්ත වශයෙන්ම කෙනෙක් තමන්ගේ ජීවිතය පිළිබදව නවෝදයක්, නව යුගයක් බලාපොරොත්තු වෙනවා නම් - තමන්ගේ ජීවන දර්ශනය ගැන සළකල බලලා පරිහානි මාර්ගයෙන් ඉවත් වෙලා, බුදු පසේබුදු මහරහතන් වහන්සේලා ගමන් කළ ධර්ම මාර්ගයට ඇතුල් වෙන්න ඕන. පිවිසෙන්ට ඕන. අන්න ඒ ධර්ම මාර්ගය ඉතාමත්ම සැකෙවින් සරලව ඉදිරිපත් කළ ගාථාවක් තමයි අපි අද මාතෘකා හැටියට තබා ගත්තෙ. ඒ ගාථාවට දැක්වෙන නිදාන කථාව තුළිනුත් පෙනෙන්නේ නවෝදයක් - නව යුගයක් - බලාපොරොත්තුවෙන් අධර්ම මාර්ගයකට බැස්ස භික්ෂුවකට අත්වුණු ඉරණමයි. බුදු පියාණන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයේ වැඩ වාසය කළ කාලයක, එක දවසක් මහා ඍද්ධිමත් මුගලන් මහ රහතන් වහන්සේත් ලක්ඛණ ස්වාමීන් වහන්සේත් - ගිජුකුළු පව්වෙන් - ගිජ්ඣකූට පර්වතයෙන් පහලට බසින අතරෙදි, එක තැනකදි මුගලන් මහ රහතන් වහන්සේ මද සිනාවක් පහළ කළා. මේක දැකල ලක්ඛණ ස්වාමීන් වහන්සේ ඇහුව ඒකට හේතුව. මුගලන් මහ රහතන් වහන්සේ වදාළා, “ඇවැත්නි, ඒ කාරණය මම මෙතනදී කියන්නේ නෑ. බුදු පියාණන් වහන්සේ ඉදිරියේදී විමසන්න” කියලා. ඉතින් මේ දෙනමම රජගහ නුවර පිණ්ඩපාතේ කරල ඒ අවසානයේ බුදු පියාණන් ළඟට වැඩම කළා. වේළුවනාරාමයට වැඩම කරලා ඒ අවස්ථාවේ ඔන්න ලක්ඛණ ස්වාමීන් වහන්සේ බුදු පියාණන් වහන්සේ ඉදිරිපිට ඇහුවා. “මොකද ඇවැත්නි, අර විදියට සිනාවක් පහළ කළේ” කියලා. ඒ අවස්ථාවේ මුගලන් මහ රහතන් වහන්සේ ප්‍රකාශ කළා. “මම දුටුවා ඒ අවස්ථාවේදී එක්තරා විශාල ප්‍රේත රූපයක්. ශරීරය මනුෂ්‍ය රූපයක්. නමුත් හිස ඌරෙකුගෙ හිසක් වගේ. ඊළඟට ඒ කටේ තියෙනවා ඌරු නගුටක්. කටෙන් පණුවන් වැගිරෙනවා. ඒක දැකල මම ‘මහා අද්භූත රූපයක් නේද මේ විදියේ රූපයක් කවදවත් මං දැක්කෙ නෑ’ කියල මට සිනා පහළ වුණාය” කියල වදාළා. ඒක අහල බුදු පියාණන් වහන්සේ ඔන්න සතුට ප්‍රකාශ කරනවා. “මගේ ශ්‍රාවකයින් ඇස් ඇතුව වාසය කරන බව පේනවා. මමත් ඔය කාරණය දැක්කා. බෝ මැඩදීම බුද්ධත්වය ලැබූ අවස්ථාවෙදීම ඔය සතා දැක්ක මම. නමුත් මම මෙතෙක් ප්‍රකාශ නොකළේ, මා කී දෙය විශ්වාස නොකර, ඒක බොරුවක් කියල හිතල, බොහෝ දෙනා අකුසලයට බැඳිල නිරාගත වෙන්න පුළුවන් නිසායි. දැන් මට මේ සාක්ෂි කාරයෙක් හැටියට මොග්ගල්ලාන මේ කාරණය කිවුව නිසා, මමත් ඒ කාරණය අනුමත කරනව. මොග්ගල්ලාන කී කාරණය ඇත්තයි” කියලා. අන්න ඒළඟට ඒ අවස්ථාවේදී සංඝයා වහන්සේලා ඇහුවා “භාග්‍යවතුන් වහන්ස, ඒ ප්‍රේත ආත්මය ලබන්න ඒ කිවු තැනැත්තා කළ අතීත අකුසලය මොකක්ද?” කියලා. මේ අවස්ථාවේ තමයි බුදු පියාණන් වහන්සේ අතීත ප්‍රවෘත්තිය ගෙන හැර දැක්වුවෙ. කාශ්‍යප බුද්ධරාජාණන් වහන්සේගේ කාලයේ - කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලය කියන කොට මේ පින්වතුන් හිතට නඟා ගන්න ඕන මනුෂ්‍යයින්ගේ පරමායුෂ අවුරුදු විසිදාහක්. ඒක පළමුවෙන්ම හිතට දමා ගන්න වටිනවා. මේ ධර්මයේ සඳහන් වෙනවා. විසිදාහක් අවුරුදු තරම් ආයුෂ ඇති කාල සීමාවල්. එපමණක් නොවෙයි, හතලිස් දහස්, හැට දහස්, අසූ දහස් ඇතැම් බුදුවරුන්ගේ කාල වල. ඊටත් වැඩි කාල සීමාවල්. ඒක ගැන හිතනකොට, දැන් මේ පින්වතුන්ට හිතාගන්ට පුළුවන්, ශත වර්ෂයක් ගතවුනා කියල උඩ පනින, නටන, විනෝද වන, අප - අපේ ජීවිත - ඒ තරම් දීර්ඝායුෂ්ක මනුෂ්‍යයින්ගේ කාල සීමාවල් ගැන හිතන කොට පළහැටියන්ගේ ජීවිත වගේ නේද කියල. හොදයි කොහොම නමුත් කාශ්‍යප බුද්ධ රජාණන් වහන්සේගේ කාලය ගැනයි දැන් බුදු රජාණන් වහන්සේ මේ සිත යොමු කරවන්නෙ, සංඝයා වහන්සේලාගේ. ඒ කාලයේ සංඝයා වහන්සේලා දෙනමක් ගමක ආවාසයක ඉතාමත්ම සමගි සම්පන්නව වාසය කළා. වැඩිහිටි ස්වාමීන් වහන්සේට උපසම්පදාවෙන් වස් හැටයි. දෙවෙනි ස්වාමීන් වහන්සේට වස් පනස්නවයි. ඒක වසක වෙනසක් තිබුන නමුත් අර දෙවෙනි ස්වාමීන් වහන්සේ ඉතාමත්ම නිහතමානීව, සාමණේර කෙනෙක් වගේ අර වැඩිහිටි ස්වාමීන් වහන්සේගේ පාත්‍ර සිවුරු අරගෙන යනවා. සියළුම වත පිළිවෙත කරනවා. එක මවකගේ දරුවන් දෙදෙනෙක් වගේ - එක මව් කුසක උපන්න දෙන්නෙක් වගේ - ඉතාම සමගි සම්පන්නව කාලය ගත කරනවා. ඔහොම ඉන්න අතරේ ඒ ස්ථානයට පැමිණියා ධර්ම ධම් කථික භික්ෂුවක්. එදා බණ අහන දවසක්. ඒ සංඝයා වහන්සේලා බණ ඇසීමට පුරුදුව සිටි දවසක් නිසා මේ ධම්කථික භික්ෂුවට ආරාධනා කළා, බණ ටිකක් කියන්න කියලා. උන්වහන්සේ බණ දේශනා කළාම බොහොම සතුට ප්‍රකාශ කළා මේ භික්ෂුන් වහන්සේලා දෙනම. ඊළහ දවසේ මේ භික්ෂුවත් එක්ක පිණ්ඩපාතේ වැඩිය ගමට. පිණ්ඩපාතෙන් පස්සේ අර ලොකු ස්වාමීන් වහන්සේ ආරාධනා කළා මේ ධම්කථික භික්ෂුවට මනුෂ්‍යයින්ට බණ කියන්න කියලා. ඔන්න ඉතින් බණ කිව්වම මනුෂ්‍යයිනුත් හුඟක් පැහැදිලා ඊළහ දවසටත් ආරාධනා කළා. ඔය විදියට මේ භික්ෂුව බොහොම ජනප්‍රිය වුණා. අර ස්වාමීන් වහන්සේලා දෙනමත් එක්ක අවට ගම්වලට පිණ්ඩපාතෙ වඩිනවා. ඔය අතරේ මේ භික්ෂුවට ඔන්න අදහසක් ආවා - පාපිෂ්ට අදහසක් - “අපොයි මේ ළාමක ස්වාමීන් වහන්සේලා දෙනමක්, මෝඩ ස්වාමීන් වහන්සේලා දෙනමක්, මං බලන්න ඕන මේ දෙන්නා මෙතනින් එලවලා මේ ස්ථානෙ අල්ලගන්න”. ඔහොම කල්පනා කරල ඒකට උපායක් යෙදුවා. මොකක්ද උපාය? ලොකු ස්වාමීන් වහන්සේ ළඟට - මහ තෙරුන් වහන්සේ ළඟට - ගිහිල්ල එක දවසක් දා ලොකු රහසක් කියන්න ඕනකම වගේ දක්වල, “ස්වාමීන් වහන්ස, මට මේ එක කාරණයක් කියන්න තියෙනවා” කියලා ඊළඟට “මොකක්ද? කියන්න කියන්න” කිව්වම, “අපොයි, මේ කථාව කියන එකෙන් බොහොම වැරදිත් සිද්ද වෙන්න පුළුවන්” කියලා මහ ඇරියා. ඒක කිව්වේ නෑ. ඒ වගේම දෙවෙනි ස්වාමීන් වහන්සෙ ළඟටත් ගිහිල්ල “මට කාරණයක් කියන්න කියනව” කියල ආරම්භ කරල, නොකියා ඉවත් වුනා. දෙවෙනි දවසෙත් තුන්වන දවසෙත් ඔහොම කළා. අර ස්වාමීන් වහන්සේලගේ කුතුහලය - කුහුල වැඩිවනකම්. වැඩි වුනාට පස්සෙ ඔන්න එක දවසක් දා ලොකු ස්වාමින් වහන්සේ කිව්වා, “කියන්න, කියන්න ඒකට කමක් නෑ” කියලා. ඔන්න එතකොට අහනවා, ස්වාමීන් වහන්සේට අර දෙවෙනි ස්වාමීන් වහන්සේ හොදට විශ්වාසද? “අපොයි ඔව්, අපි එක කුස උපන් දරුවන් වගේ බොහොම සමගි සම්පන්නයි. මට මෙතෙක් කාලෙකට ඒ ආයුෂ්මතුන්ගෙ අඩුපාඩුවක් පෙනුනෙ නෑ” කියල ප්‍රකාශ කළ. “ඒ වුනාට ස්වාමීන් වහන්ස. මෙන්න මං ආ දවසෙ ඉඳල ඒ ස්වාමීන් වහන්සේ කියනව, ලොකු ස්වාමීන් වහන්සේ එක්ක පරිස්සමෙන් ඇසුරු කරන්න කියලා. පරිස්සම් වෙන්න කියලා.” ඔන්න එතකොට අර ලොකු ස්වාමීන් වහන්සේට අර දෙවැනි ස්වාමීන් වහන්සේ ගැන ලොකු තරහක් ඇතිවුනා. “අපොයි මේ ආගන්තුක භික්ෂුවකට මෙහෙම දෙයක් කිව්ව නේද” කියල ද්වේෂයක් ඇතිවුනා. ඊළඟට දෙවෙනි ස්වාමීන් වහන්සේ ළඟටත් ගිහිල්ල, අර භික්ෂුව අර විදියෙම කේලමක් කිව්වා. “කේලමකුත් නෙවෙයි - ඒක බොරුවක් එහෙම පිටින්ම”. කිව්වම ඒ ස්වාමීන් වහන්සෙත් බිදුනා. හේද වුණා. වෙනාද සමගි සම්පන්නව එකට පිණ්ඩපාතේ වඩින දෙනම, ඊළඟ දවසේ වෙන් වෙන්ව පිණ්ඩපාතෙ වැඩියා. පිණ්ඩපාතෙ වැඩල, අර දෙවෙනි ස්වාමීන් වහන්සෙ පළමුවෙන් දාන ශාලාවට වැඩම කළා. ලොකු ස්වාමීන් වහන්සේ එනවා දැකල, වෙනාද පුරුද්දට පාත්‍ර සිවුරු ගන්න ඉස්සරහට යන්නේද නොයන්නේද කියල හිතල. “කමක් නෑ මං කළ වත කරන්නම ඕන” කියල ඉස්සරහට ගියා. යනකොට ලොකු ස්වාමීන් වහන්සේ එලවගත්තා. “අවීනීත භික්ෂුව, ඔබට මේ මගේ පාත්‍ර සිවුරු දෙන්න වටින්නෙ නෑ” කියල. ඔන්න ඊළඟට දෙනම කතා වුනා. “මොකද හිතන්නෙ මම මේ ආවාසෙ අල්ලගෙන ඉන්තවාද?” අනිත් භික්ෂුවත් ඒ විදියට කතාවුනා - හිතාගන්න පුළුවන් නේ ‘බහින් බස් වීම’ කියන එක කොයි විදියද කියල. එහෙම බහින් බස් වෙලා, ඒකෙ ප්‍රතිඵලය මොකක්ද, මේ දෙනම - එක නමක් ඉස්සරහ දොරින් පිටවුණා. අනිත් නම පස්ස දෙරින් පිටවුණා. පිටත්වෙලා ගියා. ඉතින් අර කපටි ධම් කථීක භික්ෂුවත් බොරුවට ඉස්සරහට ඇවිල්ල, “හා හා වඩින්න එපා, වඩින්න එපා” කියල. සමථයක් කරන්තා වගේ දක්වල, අර ස්වාමීන් වහන්සේලා කිව්වම” ඔය නමම ඉන්නෙයි” කියල ඔන්න නැවතුනා. ඊළහ දවසේ අර ධම් කථීක භික්ෂුව ගමට පිණ්ඩපාතෙ වැඩියම මිනිස්සු අහනවා. “කෝ අපේ ස්වාමීන් වහන්සේලා දෙනම?” “අන්න ඔය කට්ටියගෙ අර කුළුපග ස්වාමීන් වහන්සේලා දෙනම කලහ කරගෙන, කෝලහල කරගෙන, අන්න පිටත් වෙලා ගියා” කියා කිව්වම, මෝඩ මිනිස්සුත් මේක ඇත්තක් කියල කල්පනා කළා. නුවණැති අය හිතාගත්තා. “එකත් එකටම මේ භික්ෂුව තමයි මේ දෙනමට වඩින්න කටයුතු යොදන්න ඇත්තෙ” කියල., කොහොම නමුත් අර සංඝයා වහන්සේලා දෙනමත් ඉතින් ඇත පළාතකට වෙන් වෙන්ව ගිහිල්ල - මේ කාරණය නිසා හිතේ ඇතිවුණ ද්වේෂය ආදී ඒ කෙලෙස් කොයි තරම්ද කියතොත් ඒ ස්වාමීන් වහන්සේලාට හිත එකලස් කරගන්න බැරිවුණා. භාවනා කරගන්න බැරිවුණා. ඔහොම දීර්ඝ කාලයක් ගෙවී ගියා. අපි මේ “දීර්ඝ කාලයක්” කියල කියන්නේ, ඔන්න ඊළඟට දැක්වෙන සිද්ධිය මොකක්ද - බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා, අවුරුදු 100 කට පස්සේ - අවුරුදු 100 කියල කියන්නේ අන්න අර 20,000 අනුව බලන්න ඕන - අවුරුදු සීයකට පස්සෙ අහම්බෙන් වගේ මේ දෙනමම එක්තරා ඈත පළාතක සේනාසනයකට ආගන්තුක වශයෙන් වැඩම කළා. ඒ ස්ථානයේ සංඝයා වහන්සේලා එකම සේනාසනයක් මේ දෙනමටම දුන්නා. ඉතින් පළමුවෙන්ම මහ තෙරුන් වහන්සේ ඇවිල්ල සෙනසුනේ ඇඳේ ඉන්දගන්නවත් එක්කම, අර දෙවෙනි ස්වාමීන් වහන්සේත් වැඩියා. පුදුම විදියේ අමුතු සංයෝගයක් වගේ සිද්ධීමක් මේක. එතකොට ඒ වඩින කොටම වගේ අඳුනගෙන මේ ලොකු ස්වාමීන් වහන්සේට කඳුළු ගලන්න පටන් ගත්තා. බෙහොම කණගාටුවෙන් දෙවෙනි ස්වාමීන් වහන්සේගෙත් ඇසේ කඳුළු පිරිලා කියම්දෝ නොකියම්දෝ කියල හිතල ඇහුවා, “ස්වාමීනි මේ මං අච්චර කාලයක් ආශ්‍රය කළ එක, මගේ යම්කිසි වරදක් දුටුවද, කයින් වචනයෙන් එහෙම?” “නෑ නෑ, මම එහෙම කිසිම එකක් දැක්කෙ නෑ.” “එහෙනම් මොකද අර අලුතෙන් ආපු භික්ෂුවට අර විදියෙ දෙයක් කිව්වෙ මං ගැන විශ්වාස කරන්න එපා කියල.” “අපොයි මම එහෙම එකක් කිව්වේ නෑ” “මටත් එහෙම එකක් කියල තියෙනවා ඔබවහන්සෙ ගැන” ඔන්න එතකොට තේරුම් ගත්තා අර කපටි භික්ෂුවගෙ වචනෙ නිසාය මේ භේද වුනේ කියල. ඊළඟට දෙනමම සමගි වුණා ඇවැත් දේපල. ඊළඟට කථා කරගත්තා, “අපි දැන් යන්න ඕන අර කපටි භික්ෂුව පන්නන්න” කියල. ඊළඟට වැඩම කරලා, අර ආවාසෙ ළඟට එතකොට, අර ධම් කථීක භික්ෂුව ඈතදීම දැකලා ඉදිරියට ආවා පාත්‍ර සිවුරු ගන්න. මේ ලොකු ස්වාමීන් වහන්සෙ එතකොට අර - ධම් තේජස නිසා වෙන්නැති - අසුර ගසලා කිව්වා. “නුඹ වගේ අය මෙතන සිටින්න වටින්නෙ නෑ” කියලා, එලවන විදියට වචනයක් කිව්වා. අර භික්ෂුවටත් දරාගන්න බැරුව ඔන්න පිටත් වෙලා ගියා, ඒ ස්ථානය අත ඇරලා. ඒකයි සිද්ධිය. ඒක ආශ්‍රයෙන් ළහගට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. අර ධම් කථීක භික්ෂුව අර කියාපු බරපතල අකුසලය හේතුකොටගෙන, දීර්ඝ කාලයක් - එක බුද්ධාන්තරයක්ම - කාශ්‍යප බුද්ධ කාලයේ සිට මේ බුද්ධ කාලය දක්වාම, අවීචියේ පැසිලා එහි විපාක අවශේෂ වශයෙන් - ඒ පාප කර්මයේ වල්ග කොන හැටියට - කෙළවර හැටියට - ඔන්න ඔය ප්‍රේත ආත්ම භාවය ලබල ඉන්නවයි කියල. ඔන්න ඕකයි එතකොට සිද්ධිය. එහෙම ප්‍රකාශ කරලා මේ විදියට මේ සිත කය වචනය අසංවර කරගෙන එය පාපී විදියට පාරිවර්තී කිරීමේ විපාක - මේකයි තත්වය කියලා ඒ සිද්ධිය පසුබිම් කරගෙන, පදනම් කරගෙන බුදුපියාණන් වහන්සේ ලෝකයාට අනුශාසනයක් වශයෙන් තමයි අපි අර කලින් ප්‍රකාශ කළ ගාථා ධම්ය වදාළේ. වාචානුරක්ඛී මනසා සුසංවුතො කායෙන ච අකුසලං න කයිරා ඒතේ තයෝ කර්මමපථේ විසෝධයේ ආරාධයේ මග්ගං ඉසිප්පවේදිතං “වාචානුරක්ඛී” කියල කියන්නේ වචනය පිළිබදව රැක්මක් ඇතිව. “මනසා සුසංවුතො” - “මනසින්, සිතින් හොඳහැටි සංවරව, “කායෙන ච අකුසලං න කයිරා” - කයින්ද අකුසලයක් නොකරන්නේය. ඒ කියන්නේ තුන්දොරම රැකගන්න කියන එකයි. “ඒතේ තයෝ කර්මමපථේ විසෝධයේ” - “මෙන්න මේ කර්ම පථයන් තුනම පිරිසිදු කර ගන්න. මේ තිදොර නිසා නොයෙකුත් කර්මයන් ඇතිවෙනවා. ඒ කර්ම පථ - ඒවා පිරිසිදු කර ගන්න.” එහෙම පිරිසිදු කර ගැනීමෙන් “ආරාධයේ මගං ඉසිප්පවේදිතං” - “බුද්ධාදී ඍෂිවරයන් වහන්සේලා විසින් දේශනා කරන ලද, දක්වා වදාරන ලද, ඒ මාර්ගය සම්පාදනය කරන්නේය. ඒ මාර්ගයට අනුව පවතින්නේය” කියන එකයි ඒ අනුශාසනය. දැන් එතකොට අපි පළමුවෙන්ම මේ ගාථාවට අදල ඒ කථාව ආශ්‍රයෙන් අපට උපදේශ වශයෙන් ගතහැකි දේවල් මාතෘකා කරගන්න බලමු. සමගි සම්පන්නව සිටි භික්ෂුන් වහන්සේලා දෙනමක්, බොරුව කේලම කියන ඒ දෙක සම්බන්ධ කරල, අදින්නාදාන කියලා කියන තමන් සතු නැති දෙයක් ලබාගැනීමේ වේදනාවත් ඇතිව, ඒ විදියටම යම් කිසි වචන පටිපාටියක් - ක්‍රියා පිළිවෙලක් යොදා ගැනීමේ විපාක වශයෙන්, අර කියාපු භයානක තත්වය ලබාගත්තු බවයි අපට ඒ කථාන්තරයෙන් පේන්නේ. එතකොට විශේෂයෙන්ම අපි කල්පනා කරලා බලමු මේ වත්මාන කථාවේ කියන සූකර ප්‍රේතයා - ඒ ප්‍රේතයට නමදීල තියෙන්නෙ සූකර ප්‍රේතයා කියලා. මොකද ඌරු කටක් තියෙන නිසා. - මේ සූකර ප්‍රේතයා පිළිබද කථා වස්තුව, කථාව දැන් මේ කාලයෙත් ඔය “නොපෙනෙන ලෝකය” ගැන ලොකු උනන්දුවක් ඇතැම් අය අතර තිබෙනවා. ඔය භූත ආත්ම ගැන, ප්‍රේත ආත්ම ගැන යම්කිසි උනන්දුවක් මේ කාලයෙන් ඇතිවෙලා තිබෙනවා. මේ නොපෙනෙන ලෝකය පෙනෙන ඇස් ඇති අයත් සිටින බවයි අපට මේ වත්මාන සිද්ධියෙන් පේන්නේ. මුගලන් මහරහතන් වහන්සේට ඒ දිවැසට පෙනුණා ඒක. නමුත් ලක්ඛණ ස්වාමීන් වහන්සේට ඒක නොපෙනුන නිසා, ඒක ප්‍රකාශ කිරීමෙන් ලක්ඛණ ස්වාමීන් වහන්සේත් අකුසල් ඇතිකරගන්න පුළුවන් කියන අදහසිනුයි, ඒක නොකියා හිටියේ. ඊළඟට බුදුපියාණන් වහන්සේත් ඒ වගේමයි තමන් වහන්සේත් ඒක දැකලා, සාක්ෂිකාරයෙක් ලැබෙනකම් ඒක ප්‍රකාශ කළේ නෑ. එතකොට මේ නොපෙතෙන ලෝකය පෙනෙන ඇස තමයි දිවැස. භූත ආත්ම පමණක් නෙවෙයි. ප්‍රේත ලෝක පමණක් නෙවෙයි. අනිත් ලෝකත් - නිරය, අසුර ලෝකය, ඒ වගේම දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක පවා පෙතීමට ශක්තිය තිබෙනවා මේ දිවැසට. එතකොට මෙන්න මේ විදියේ ශක්තියක් තිබෙන බව අපි කල්පනා කරන්න ඕන. ධම්යේ සඳහන් වෙනවා ඇස් තුනක් ගැන. මංස චක්ඛු, දිබ්බ චක්ඛු, ප්‍රඥා චක්ඛු කියලා. සිංහලට ගත්තොත් මේක මසැස. දිවැස, පැණැස කියල කියන්න පුළුවන්. පැණැස කියන්නෙ ප්‍රඥා චක්ඛුෂය. ඔය විදියේ ඇස් තුනක් ගැන සඳහන් වෙනවා. දැන් මෙතන කියැවෙන්තෙ මේ දිබ්බ චක්ඛු ගැනයි. “මගේ ශ්‍රාවකයින් ඇස් ඇතිව සිටිනවා” කියල බුදු පියාණන් වහන්සෙ මෙතනදී ප්‍රකාශ කළේ මෙන්න මේ දිබ්බ චක්ඛුව ගැන කල්පනා කරලයි. එතකොට දැන් මේ කාලයේ ඇතැම් කෙනෙක් - තර්කය නඟා ගත්තු කෙනෙක් - කියන්න පුළුවන්, “මේ විදියේ අය අපට දකින්ට ලැබෙන්නෙ නෑ. මෙහෙම දෙයක් නෑ” කියල. ඒක ධර්මයේ සඳහන් වෙනවා දිවැස් උපදවගන්න බැරි අය දිවැසක් නැතෙයි කීම, හරියට අන්ධයින් ඉරහඳ තාරකා නැතෙයි කීම වගෙයි කියල. අනිත් අතට දැන් අර කියාපු විදියට නොපෙනෙන ලෝකය ගැන උතන්දුවක් තිබෙන නිසා, ඒ එකකම අපට ඒක ගැනත් යමක් කියන්න පුළුවන්. දැන් බොහොම දෙනෙක් මේ කාලෙ විශේෂයෙන් බටහිර මනෝ විද්‍යාඥයින් එහෙම - ඔය “අධි මානසික” “අතීන්ද්‍රිය” කියල නොයෙකුත් වචන දාගෙන - ලස්සන වචන දාගෙන - ඒ ගොල්ලො බලනවා මේ භුතලෝක ගැන යම් යම් පරීක්ෂණ මගින් ලෝකයට යම් යම් දේවල් දක්වන්න. මේක නිකං අර පොඩි දරුවන්ගෙ සෙල්ලම් වැඩක් වගෙයි. ඒ අය එකට උපකාර කරගන්නෙ බොහෝ විට - ඒ අධි මානසික පර්යේෂණ සදහා - වශීකරණය, මෝහන වගේ තවත් නොයෙකුත් ඒ විදියේ උපක්‍රමයි. ඒ මගින් මේ භූතලෝක ගැන යම් යම් දේවල් අනාවරණය කරගන්න උත්සාහ කරනවා. නමුත් ධම්‍යානුකූලව, නියම විදියට නම් - එකත් ඉතින් බොහෝ දෙනා ඒවා සැක කරන්න හේතු වෙන නිසා - තමන්ම ප්‍රත්‍යක්ෂ කර ගැනීමට නම් අන්න අර කියාපු දිවැස අවශ්‍ය වෙනවා. ඒක ශීල, සමාධි, ප්‍රඥා වැඩීමෙන්, එහෙම නැත්නම් විශේෂයෙන්ම ධ්‍යාන සමාපත්ති ඇතිකරගෙන - ඒ අභිඥා කියල කියන විශේෂ ශක්තිය සිත තුළ ඇති කර ගැනීමෙන් තමයි මේ මසැස පිහිට කරගෙන දිවැස මතුකර ගන්ට පුළුවන් වන්තෙ. එතකොට ඒ දිවැස ඇති අයට පේනවා ඒ විදියේ ලෝක. අන්න ඒක උපකාර කරගෙන තමයි මුගලන් මහ රහතන් වහන්සේ වගේම බුදුපියාණන් වහන්සේත් බොහොම අවස්ථාවල ලෝකයේ සත්ත්වයා කර්මානුරුපව ඒ ඒ තත්ත්වවලට පත්වන ආකාරය පෙන්නුම් කර වදාළේ. දැන් මෙතන ඊළඟට අපි තව ටිකක් කල්පනා කරල බැලුවොත් මෙන්න මේ ප්‍රේත ආත්මය ගැන, - බොහෝ විට කර්මයට අනුරූපවම ශරීරයක් පහළ වෙන්නෙත් - දැන් මෙතනත් අර හික්ෂුව ගැන හිතල බැලුවහම, අර හික්ෂුව බලාපොරොත්තු වුන මහන්තත්වයට ගැලපෙන ලොකු ශරීරයක් තිබෙනවා. ඒ වගේම තමන් පාවිච්චි කළ අපිරිසිදු වචන නිසා, ඒ හික්ෂුවගෙ හිස ඌරෙකුගෙ හිසක් වගෙයි. ඒ වගේම ඒ ආවාසය ලබා ගැනීමට ගැසූ කපටි ගැටය තමයි අර ඌරු නගුට -ඌරු නගුට, කටේ තිබෙන. ඒ වගේම කටින් වැගිරෙනවා පණුවන්. ඔය විදියේ තත්ත්වයක්. නරක වචන පාවිච්චි කිරීමෙන් - අර අය හේද භින්න කරවීම සදහා - එසේ ප්‍රතිඑලයක් හැටියට මෙන්න මේ විදියේ බොහොම අද්භූත රූප ලබන ප්‍රේත ආත්ම ගැන සඳහන් වෙනව. එපමණක් නොවෙයි. තවත් මේ විදියටම මේ සමාන්තරවම යන තවත් සුත්‍ර රාශියක් සඳහන් වෙනවා. ලක්ඛණ සංයුත්ත කියන ඒ ධම් කොට්ඨාසයේ මුගලන් මහරහතන් වහන්සේත් ලක්ඛණ ස්වාමීන් වහන්සේත් අතර දෙබස් හැටියට - එහෙම නැත්තම් ගිජුකුළු පව්වේදී දුටු දර්ශන වශයෙන් - සඳහන් වෙන තවත් කාරණා රාශියක් දැක්වෙනවා ධම්යේ. නොයෙකුත් විදියේ භයානක ප්‍රේත රූප කීපයක් සඳහන් කරනවා නම් - ඒ හැම එකකදීම, ඒ ප්‍රේත රූප දකින හැම අවස්ථාවකදීම - ඒ දුටු හැම අවස්ථාවකදීම - අර කලින් කියාපු ආකාරයටම බුදු පියාණන් වහන්සේ ලඟදි තමයි ඒ විස්තරේ හෙළි කළේ මුගලන් මහ රහතන් වහන්සේ. ඒ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ - ඒ එක් එක් ප්‍රේතයාගෙ අතීත පුවෘත්තියත් දක්වනවා කෙටියෙන්. ඒ විදියේ සුත්‍ර පෙළක්ම කියනවා. මේකට සමාන නිසා අපි සඳහන් කරනවා. එක අවස්ථාවක දුටුවයි කියල සඳහන් වෙනවා අහසින් යන ඇටසැකිල්ලක්. අහසින් ඇටසැකිල්ලක් ගමන් කරනවා. ඒ ඇටසැකිල්ලෙ ඉල ඇට අතරට උකුස්සන්, ගිජුලිහිණියන්, කපුටන්, විටින් විට අනිනව. අර ඇටසැකිල්ල විලාප කියමින් අහසින් යනවා. අන්න ඒ රූපය රජගහ නුවරම හිටපු ගව ඝාතකයෙක් - ගව ඝාතනය කරපු තැනැත්තෙක්. ඊළඟට ඒ වගේම මස්පිඩක් අහසින් යනවා. ඒ මස්පිඩත් අර විදියට අර ගිජුලිහිණියන් අනිනව. මස්පිඩ කැගහනව - මස්පිඬක ස්වරූපයෙ රූපයක් එතන දක්වන්නෙ. ඒ ස්වරූපය ඇති ප්‍රේත ආත්මයක්. ඒකට කර්මය හැටියට දක්වන්නෙ ඒ රජගහ නුවරම හිටපු කුරුළු වැද්දෙක්. ඊළඟට සඳහන් වෙනව හමක් නැති මනුෂ්‍ය රූපයක්. ඒත් අහසින් යනව. අර විදියටම සතුන් අනිනව. එතන දක්වන්නෙ බැටළු වැද්දෙක්. ඊළඟට දක්වනව - තවත් ප්‍රේත ආත්මයක් දැකල තියෙනව, මුගලන් මහ රහතන් වහන්සෙ, ලෝම හැරියට කඩු වගේ. ඒ කඩු උඩ පැන පැන ආයිත් ශරීරයට වැටිලා ශරීරය කපනව. ඒක දක්වන්නෙ ඌරු වැද්දෙක් හැටියට. රජගහ නුවරම හිටපු ඌරු වැද්දෙක් තමයි ඒ තත්වය ලැබුවේ. ඊළඟට තවත් ආත්ම භාවයක් දක්වනව. ප්‍රේත ආත්මයක් යනව හිසක් නෑ. හිසක් නැති ප්‍රේත රූපයක්. ඇසුත් කටත් පිහිටල කියෙන්න පපුවේ. ඒත් අර විදියටම සතුන් අනිනව. විලාප කිය කිය යනව. ඒකෙදි බුදුපියාණන් වහන්සෙ විග්‍රහ කරනවා. මේ රජගහ නුවරම හිටපු චෝර ඝාතකයෙක්. අළුගෝසුවෙක්. දැන් ඔය වධකයෙක් කියල කියන්නෙ. සොරුන් අල්ලගෙන ආවම මරන මිනිහෙක් හිස කපලා. අන්න ඒ විදියෙ “හාරික” කියන නම ඇති චෝර ඝාතකයෙක් කියල නමත් එක්කම දිල තියනව බුදු පියාණන් වහන්සෙ. ඊලඟට ඒ වගේ තව දක්වනව. තව ප්‍රේතයෙක් හිස දක්වාම අශුචි වළක වැටිල ඉන්නව. ඒ තැනැත්තා පරදාර සේවනය කළ කෙනෙක්. ඊලඟට තවත් අවස්ථාවක මුගලන් මහ රහතන් වහන්සෙ දුටුව හමක් නැති ස්ත්‍රියක් අහසින් යනව - සෘද්ධි බලයෙන් නෙවෙයි. ඒකත් අර ප්‍රේත ආත්මයක්. අර විදියටම සතුන් අනිනව. ඒ තැනැත්ති පරපුරුෂ සේවනය කළ තැනැත්තියක්. ඔන්න ඔය විදියේ ආත්ම භාව රාශියක්. ඊළගට ඊටත් වඩා මේ කාලයේ තවත් මතක් කරගත යුතු දෙයක් තමයි. මුගලන් මහ රහතන් වහන්සේ දුටුවා. භික්ෂු රූපයක් අහසින් යනවා. සෘද්ධියෙන් නෙවෙයි. ඒ භික්ෂු රූපයේ සඟල සිවුරත් (දෙපට සිවුරත්) ගිනි අරගෙන. පටියත් ගිනි අරගෙන. පාත්‍රයත් ගිනි අරගෙන. දැවී දැවී අහසින් යනවා. ඒ කාශ්‍යප බුද්ධ කාලයේ පාප භික්ෂුවක්, ඒ වගේම පාප භික්ෂුණියක්, පාප සාමණේරයෙක්, සාමණේරියක්, ඒ විදියට අහසින් යනව. ගින්නෙන් දැවී දැවී. ඉතින් මෙන්න මේවා අපි සිහියට තබාගත යුතු දේවල්. අපි හිතන්නෙ මේක ලොකු දුකක් හැටියට. මේ හැම එකක්ම වගේ බුදු පියාණන් වහන්සෙ දක්වන්නෙ මුලදීම මේ පාප කර්මයේ බරපතල කොටස නිරයෙම ගෙවල - නිරයේ පැසිල - අවීචි මහ නිරයේ පැසිලා - පාප කර්මයේ ඉතුරු කොටස හැටියටයි ඔන්න ඔය ප්‍රේත ආත්ම ලබල තියෙන්නෙ කියල. ඉතින් ඔන්න ඔය විදියට කර්ම විපාක වශයෙන් බුදු පියාණන් වහන්සෙ දක්වන අවස්ථාවල් බොහොම තියනව සූත්‍ර දේශනාවල. මේක ආශ්‍රයෙන් මේ පින්වතුන්ට අමුතුවෙන් නොකිව්වත් හිතාගන්න පුළුවන් අපි අර කියාපු කාරණය - නව යුගයක් උදාකරගන්නෙ කොහොමද කියන එක. දැන් අපි අර ගාථාව ගැනත් හිත යොදවල බලමු. මේ ගාථාවේ පද තව ටිකක් විස්තර සහිතව ගත්තොත්, “වාචානුරක්ඛී” - “වචනය රැකගන්නේය”. සාමාන්‍යයෙන් මේ පින්වතුන් අහල කියෙනව දස අකුසල් කියල කියන්නෙ ප්‍රාණඝාත, අදින්නාදාන, කාමමිථ්‍යාචාර කියල කියන කයින් කෙරෙන වැරදි තුනයි. ඊළඟට වචනයෙන් - බොරුකීම, කේළාම් කීම, පරුෂ වචන කීම, නිශ්ඵල - හිස් - වචන කීම, දැන් මේ අවස්ථාවේ සමාදන් වූ අජීව අෂ්ටමක ශීලයෙ කියන ආකාරයට ඒව වචනයෙන් කෙරෙන වැරදි. සිතෙන් කෙරෙන වැරදි හැටියට දක්වල තිබෙන්නෙ අභිජ්ඣා කියල කියන විෂම ලෝභය - අවිජ්ජා නොවෙයි - කියල කියන්නෙ අන් සතු දෙය තමන් සතු කරගැනීමේ විෂම ලෝභය. ඊළඟට ව්‍යාපාද කියල කියන ද්වේෂය. ඊළඟට ‘මිච්ඡාදිට්ඨී’ මිථ්‍යාදෘෂ්ටිය. මේවා සිතින් කෙරෙන, මනසින් කෙරෙන අකුසල් හැටියට. මෙතන තියෙනව “වාචානුරක්ඛී” - මෙතන වචනයට මූල් තැන දීල තිබෙන්නෙ. මේ කථාන්තරයේ තිබෙන්නෙ වචනය පිළිබඳ අකුසලයයි. “වාචානුරක්ඛී මනසා සුසංවුතො” - මනසින් හොඳින් සංවර වීම කියල කියන්නෙ අර සිතින් කෙරෙන වැරදිවලින් ඉවත් වීම. “කායෙන ච අකුසලං න කයිරා” කියල කිව්වේ අර කයින් කෙරෙන වැරදි තුනෙන් ඉවත්වීම. ඉතින් ඔන්න ඔය තුන් දොර රැක ගැනීමයි කළයුත්තෙ, මේ මනුෂ්‍ය ලෝකයේ යමෙක් උපන්නා නම්, යමෙක් බලාපොරොත්තු වෙනව නම් අභිවෘද්ධියක්. අර “ධම්මකාමො භවං හොති - ධම්ම දෙස්සී පරාභවො” කියල පරාභව සූත්‍රයේ කියල තියන අකාරයට ධර්මයට කැමති කෙනෙක් තමයි ලෝකයේ ඇත්ත වශයෙන්ම දියුණු වෙන්නෙ. ධර්මයට ද්වේෂ කරන පුද්ගලයා පරාභව කියල කියන විනාශයට පත්වෙනව. පරිහානියට පත්වෙනව. දැන් ලෝකෙ නම් ඒකෙ අනිත් පැත්තටයි බොහෝ විට කෙනෙක් සාධක දක්වන්නෙ. ධර්‍මානුකූලව ජීවත් වෙන කෙනාට “තැනක් නෑ” කියල සමහර කෙනෙක් කියනවා. තැන කියෙන්නෙ අන්න අර ධර්මයට පිටුපාල මිථ්‍යා ආජීව කියල කියන වැරදි ජීවිකා ක්‍රම අනුව, තවත් නොයෙකුත් විදියේ ගැට මගින්, නීති ගැට මඟින්, ජීවත්වන අයටයි. කොයි නීති ගැටයකින් හෝ අන්‍ය සතු දෙයක් තමන් සතු කර ගත්තොත් ඒ ගැටය අර විදියටම කටටම එන්න පුළුවන් - තමන්ගෙ කටටම. අන්න ඒ විදියේ භයානක තත්ත්වයක් තිබෙනවා. එතකොට ඒ අයට තිබෙන “තැන” මොකක්ද කියන එක බුද්ධ වචනය අනුව නම් මේ කියාපු කාරණා අනුව හිතාගන්න පුළුවන්. නිරය, තිරිසන් යෝනිය, ප්‍රේත ලෝකය, අසුර යෝනිය. ඔතන තමයි. එතකොට “එහෙම තැනක්” ඕන කෙනෙකුට අන්න ඒ විදියෙ ප්‍රතිපදාවක් - ප්‍රතිපත්තියක් අනුව තමන්ගෙ ජීවන දර්ශනය හැඩගස්වා ගන්න පුළුවනි. ඉතින් මේක ආශ්‍රයෙන් අපිට හිතාගන්න පුළුවන්, අපි මේ ලබාගත්තු ඉතාමත්ම දුර්ලභ මනුෂ්‍ය ආත්මභාවයෙන් අර විදියෙ භයානක තත්ත්ව වලට පත්නොවන ආකාරයට ජීවත් වෙන්න නම් මෙන්න මේ බුදු පියාණන් වහන්සෙ වදාළ- බුද්ධාදී සෘෂිවරයන් වහන්සේලා දක්වා වදළ - මෙන්න මේ සිත කය වචනය පිළිබඳව, මේක ගැන සැලකිලිමත් වෙන්න ඕන. “වාචානුරක්ඛී” කියල කියන්නෙ වචනය පිළිබඳව රැක්මේ යෙදෙන්න ඕන. දන්නෙම නැතුව සමහරවිට බොරුව පිටවෙනව. කේළම, පරුෂ වචනය. ඊළගට කවත් නොයෙකුත් හිස් වචන. ඒක නිසා වචන පිළිබඳව රැක්මක් ඇතිකරගන්න ඕන. සිත පිළිබඳව සංවරයක් ඇතිවෙන්ට ඕන. එහෙම නැත්තම් දන්නෙම නැතුව මිසදිටු ගන්නව - පාපමිත්‍ර සේවනය නිසා වැරදි දෘෂ්ටි ගන්නව. එහෙමත් නැත්නම් ද්වේෂ සිතිවිලි ඇති කරගන්නව. එහෙම නැත්තම් දැඩි ලෝභ ඇතිකරගන්නව. දැන් මෙතන කියවුනු භික්ෂුවගෙත් “අභිජ්ඣා” කියල කියන, අන්සතු දෙයක් තමන් සතුකර ගැනීමට කියන අභිජ්ඣා කියල කියන දැඩි ලෝභය - විෂම ලෝභය තියනව. කේළමයි, මුසාවාදයයි ඊළඟට හොරකමයි - මේ හැම එකක්ම ඒ භික්ෂුවගෙ ක්‍රියා මාර්ග තුළ තිබෙනව. ඒවාට විපාකයි අර කථාන්තරයේ දැක්වන්නෙ. එතකොට හැමතිස්සෙම අපි එදිනෙදා ජීවිතයේ මේවා පිළිබඳව රැක්මක යෙදෙනව නම් ඒකෙ ප්‍රතිඵලය බුදුපියාණන් වහන්සෙ මෙලොව වශයෙන් දක්වල තිබෙන්නෙ, මේ පින්වතුන් අහල ඇති - දැන් ගිහි පින්වතා ඒ විදියට හොඳට සිල්වන්ත ජීවත් වෙනව නම් ඒ තැනැත්තාට අනිත් අයට නොලැබෙන විදියේ වටිනා සැපයක් ලැබෙනව. ඒකට කියන්නෙ “අනවජ්ජ සුඛය” කියල. වැරදි කළේ නැහැ කියන ඒ හැඟීම කුළින් කෙනෙකුට ලොකු සහනයක් ඇතිවෙනව. ඒකෙ අනිත් පැත්ත තමයි පසුතැවිල්ල. දැන් ධම්යෙත් දක්වනව - බුදුපියාණන් වහන්සෙ එක සූත්‍රයක දක්වනව, බාලයයි පණ්ඩිතයයි අතර වෙනස. දැන් මේ කථාවේ දැක්වෙන භික්ෂුව සමහර විට හිතන්න ඇති තමන් ධර්ම කථික භික්ෂුවක් නිසා අර ස්වාමීන් වහන්සේලා බොහොම ලාමක අය වගේ හැසිරුනු නිසා “මම තමයි පණ්ඩිතයා” කියලා. ඉතින් ඒ පණ්ඩිතකමින් කරගත්තු ඒක තමයි අර ඒ විපාකය. ඉතින් සාමාන්‍ය ලෝකයෙත් ඒ විදියටයි හිතන්නෙ. යම් කිසි කෙනෙක් ධර්මානුකූලව නිහතමානීව ජීවත් වෙනව නම් ඒ අය මෝඩයා. මේ කාලයෙ නම් පණ්ඩිතකම අඳුනගන්නෙ අර නම අගට තියන අකුරු ටිකෙන්, එහෙම නැත්නම් ඉස්සරහට තියන පද මාලාවෙන්. එහෙම නෙවෙයි බුදුපියාණන් වහන්සෙ බාලයාත් පණ්ඩිතයාත් අතර වෙනස දක්වල තිබෙන්නෙ. බාලයා හඳුන්වල තියෙන්නෙ මෙහෙමයි - “දුබ්භීහිත චින්තී, දුබ්භාසිත භාසි, දුක්කත කර්මමකාරී” - යම්කිසි කෙනෙක් වැරදි චින්තාවන්, වැරදි සිතිවිලි සිතනව නම්, වැරදි වචන කථා කරනවා නම්, වැරදි ක්‍රියා මාර්ග ගන්නවා නම්, වැරදි ක්‍රියා කරනවා නම්, අන්න ඒ තැනැත්තා තමයි බාලයා. ඊළඟට පණ්ඩිතයා හඳුන්වල තියෙන්නෙ “සුවීහිත චින්තී, සුභාසිත භාසි, සුකත කර්මකාරී” යම්කිසි කෙනෙක් හොඳ සිතුම් පැතුම් සිතනවා නම්, හොඳ වචන කථා කරනවා නම්, හොඳ ක්‍රියා කරනවා නම්, අන්න ඒ තැනැත්තා තමයි පණ්ඩිතයා. ඔය දෙක අතර වෙනසක් දක්වල, බුදුපියාණන් වහන්සෙ ඒ අවස්ථාවෙදි පෙන්නුම් කරනවා අර බාලයා, ඒ බාල කම නිසා - සමාජයේ කොයි අන්දමින් කැපී පෙනුනත් - ඇතුළතින් විඳින දුක, පසුතැවිල්ල. ඒක නිසා තමයි ධම්යේ හතර ආකාර කරලා දක්වනවා වැරදි ආකාරයට ජීවිත ගෙවන පුද්ගලයාට විඳින්න වන භය. අත්තානුවාද භය, පරානුවාද භය, දණ්ඩ භය, දුගති භය කියල. තමාගේ හිත දොස් කියනව. අනුන්ගෙ දෝෂාරෝපණය අහන්ට ලැබෙනවා. නුවණැති අයගෙ දෝෂාරෝපණය - නිකං අයගෙ නෙවෙයි. ඊළගට නීතියෙ රැහැනට අහුවෙලා දඬුවම් විඳින්න සිද්ධ වෙනවා. ඒ හැම එකකින්ම බේරිලා හිටියත් අන්තිමට දුගතියට යනවා. ඉතින් මෙතන බුදුපියාණන් වහන්සෙ දක්වනව අර “අත්තානුවාද භය” කියල කියන තමන්ගෙ හිත දොස් කියන කාරණයම තවත් විග්‍රහ කරල. අවස්ථා 3ක් හැටියට දක්වනවා. දැන් යම්කිසි අර කියපු බාලයෙක් අර විදියට ප්‍රාණඝාත, අදින්නාදාන, කාමමිථ්‍යාචාර ආදී ඒ වැරදි කරලා, ගමේ ගොඩේ යන අතරෙ, නගරයේ යන අතරේ, එහෙම නැත්තම් සභාවක ඉන්න අතරෙ, මං සන්ධියක ඉන්න අතරේ, ඒ තැනැත්තාට ඇහෙනවා අනිත් අය කථා කරනවා, අර සියලු පාප කර්ම ගැන. මේ පුද්ගලයා ගැන නොවෙන්න පුළුවන්. නමුත් ප්‍රාණසාතය ගැන, හොරකම ගැන - ඕවා කථා කරන කොට අර පුද්ගලයාගෙ හිත යටින් හිතෙනවා, “දැන් මාත් මේ විදියෙ දේවල් කරල තියෙනව නේද” කියල හිත දොස් තියනව. ඒවා හිතට එනව. ඉතින් කණගාටු වෙනව. මේ කියාපු මේ නරක දේවල් මා තුළත් තියෙනවා නේද කියල. ඒ පළවෙනි අවස්ථාව හැටියට. දෙවෙනි අවස්ථාව දක්වනවා. ඔන්න මේ පුද්ගලයාට දඬුවම් ලැබෙනවා. එහෙම නැත්තම් අහන්ට ලැබෙනවා, - ඒ කාලයෙ හැටියට කියවෙන්නෙ - රජකෙනෙක් අර සියලු වැරදි කරපු අය අල්ලල දඬුවම් පමුණුවනවා. ඒක දුටුවම, එහෙම නැත්තම් ඒක ගැන අහන්ට ලැබුනහම, මේ තැනැත්තාත් හිතේ තැති ගැන්මක් ඇති කර ගන්නවා. “අපොයි. මාත් මේව කරල කියෙනවා නේද? රජ්ජුරුවන්ට අහුවුනොත් මටත් මේ විදියෙ හිංසා විඳින්න වෙනව නේද” කියල. හිතින් කණගාටු වෙනව. දුක් වෙනව. පසුතැවෙනව. ඊළගට මේ පසුතැවිල්ලම තමයි තුන්වෙනුව දක්වල තිබෙනව - ඔන්න මේ තැනැත්තා එක්කෝ පුටුවක ඉඳගෙන ඉන්නව. එහෙම නැත්නම් ඇඳක හාන්සි වෙලා ඉන්නව. එක්කො බිම හාන්සි වෙලා ඉන්නව. ඔහොම ඉන්න අතරෙ මේ තැනැත්තාට හිතට එනවා අර අතීත කර්මයෙ ඡායාව. සෙවනැල්ල. බුදුපියාණන් වහන්සෙ ඒක දැක්වීමට උපමාවකුත් දක්වල තිබෙනවා. හරියට හැන්දෑ යාමයේ පර්වතයක ඡායාව දික්වෙනවා ක්‍රම ක්‍රමයෙන් - අන්න ඒ ඡායාව පර්වතයක එල්ලෙනවා වගේ පේනව හරියට. ඡායාව පර්වතයක එල්ලෙන්නෙ යම් සේද, එසේම අර තමන් අතීතයේ කළ පාප කර්මයේ ඡායාව, සෙවනැල්ල, තමාගේ - මේ කියපු බාලයාගේ - මෝඩයාගේ සිත මැඩගෙන, හිතේ එල්ලෙනවයි කියල. සමහර කෙනෙක් මේ උපමාව ආශ්‍රයෙන් කල්පනා කරනව - පාප කර්ම කියන ජාතිය අහසේ පාවි පාවි යනවයි, ඒකට දීපු උපමාවක් කියල. එහෙම එකක් නෙවෙයි මෙතන මේ කියන්නෙ. දැන් මේ පින්වතුන් දන්නවා කුසල් අකුසල් ධම් පිළිබඳව දක්වන කොට අර සෙවනැල්ල පිළිබඳ උපමාව දෙනවා ධම්යෙ. ඒවගේ මෙතන කියන්නෙ මේ හෙවනැල්ල. මේ හෙවනැල්ල තමන්ට කණගාටු ගෙන දෙන දෙයක්. සතුට ගෙන දෙන දෙයක් නොවෙයි. මේක තමන්ගෙ පසුතැවීමට. දැන් පසුතැවීල්ල කියන එකේමත් කියනවා - දැන් හෑන්දෑ යාමෙ කියල කියන කොට අපි දන්නවා ඉර අවරට යන අවස්ථාවෙ ඒ හෙවනැල්ල දික්වෙනව. අන්න ඒ වගේ මේ තැනැත්තාගෙ සිතට බලපානවා අතීතයෙ කළ පාපකර්ම. මේවා මෙලොව වශයෙන් - දිටුදැමියෙහිදිම- කෙනෙකුට විඳින්න වෙනව. පාප කර්මය කළ වේලාවෙ ඉඳලම මේ විපාක ගලාගෙන එනවා කියල කියනව. “විපාක” කියල කියන්නෙ පැසීමක් නම් මේක හිටිගමන් පැසෙන එකක් නෙවෙයි. මැරුණට පස්සෙ හිටිගමන් අපායට වැටෙන එකක් නෙවෙයි. මේක හිත තුළ “පැසවනව”. හිත තුළ පැසවනව අර කියපු ආකාරයට. පසුතැවිලි වශයෙන්. එහෙම පැසවල, පැසවල, ඇතැම් කෙනෙක් - අපිට නිතර අසන්ට ලැබෙන දෙයක් තමයි - මරණ අවස්ථාවෙ තැවෙනවා. මේ කාලයෙත් නිතර අසන්ට ලැබෙනව, බුද්ධ කාලයෙ පමණක් නොවෙයි. බුද්ධ කාලයෙ හොඳ සිද්ධි නම් මේ පින්වතුන් අහල ඇති කොතෙකුත්. අර චුන්ද නමැති සූකරිකයෙක් වේළුවනාරාමයෙ පිටිපස්සෙම හිටියෙ. ඉතාම දක්ෂයි. ඔය දැන් මේ කාලයෙ රජයෙන් එහෙම ආධාර ලබාගෙන කරන වැඩේම තමයි - ඒ චුන්ද සූකරියත් තනියම කළේ. ඌරන් අල්ල අල්ල, මර මරා, ඒ ජීවිකාව ගෙනිච්ච. නමුත් මැරෙන අවස්ථාවෙදි ඌරෙක් හැටියටම එහාට මෙහාට දුවමින්, මහා විලාප කියමින්, මහා දුක් කන්දරාවක් විඳල, අවීචියේ උපන්න. ඉතින් ඊට සමාන යම් යම් සිද්ධි ඉදිරියටත් අපට අසන්ට ලැබෙනව. තව ඉදිරියට ඔයිටත් වැඩිය අසන්ට ලැබෙන්න පුළුවන්, අපේ ආර්ථිකය දියුණු වෙනකොට - අර කියාපු මිථ්‍යා ආජීවය උඩින්. එතකොට ඒවාට පොතෙන්ම සාධක දීම වැඩිය අවශය නෑ. ඒවා ඒදිනෙදා ජීවිතයෙන් දකින්ට පුළුවන් කාලයක් ඉදිරියට එයි. මනුෂ්‍ය ප්‍රේතයින් හැටියට - මනුෂ්‍ය යක්ෂයින් හැටියට - ජීවිතය ගෙවීමේ විපාක මෙලොවදීම ප්‍රදර්ශනය කරනවා. ඒක ඉතාම වටිනවා. දැන් ඔන්න එතකොට හුඟක් වැඩ හිටීවි අර කියාපු අධි මානසික පර්යේෂකයින්ට, බටහිර විද්‍යාඥයින්ට, ඇවිල්ලා පර්යේෂණ පවත්වලා, උපායි ලබාගන්න. නමුත් ඒ අය අනුව යන බොහෝ දෙනා කරන්නෙ මේක බුද්ධිවාදයක් කරගෙන, මේවා හැමදාම “හදාර හදාරා“, පොත් ලිය ලියා උපායි ලබ ලබා ඉන්නවා. මිසක් මේවා තුළින් පාඩම ඉගෙනගෙන තම තමන්ගේ ජීවිත - ජීවිත දර්ශනය - සකස් කරගන්න උනන්දු වෙන්නෙ නෑ. ඒ විදියෙ දෙයකට නෙවෙයි, මේ අපි නිදර්ශන ආදිය දැක්වුවෙ. මේ පින්වතුන්ට පොත් ලියලා උපාධි ලබාගන්න නොවෙයි. තම තමන්ගේ ජීවිත සකස් කරගෙන අන්න අර කියාපු අළුත් ශත වර්ෂය - අළුත් අවුරුද්ද ඇත්ත වශයෙන්ම නවෝදයක් නව යුගයක් කරගන්ටයි. එතකොට අපි කල්පනා කරගන්ට ඕන - මේ ලෝකයේ - අර බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ අන්දමට අපි බාලයෙක් වෙනවද, පණ්ඩිතයෙක් වෙනවද කියල. පණ්ඩිතයෙක් වෙන්න වැඩිය විභාග පාස් කරන්න මොකක්වත් ඕන නෑ, බුදු පියාණන් වහන්සෙගෙ වචනය අනුව නම්. දැන් නම් පණ්ඩිතයා කියන වචනයෙම තියෙන්නෙ ඉගෙනීම හා සම්බන්ධ අර්ථයක්. නමුත් බුදු පියාණන් වහන්සෙ දෙන්නෙ ඊට වඩා වෙනස් අර්ථයක්. මොකද, පණ්ඩිතකම කියන්නෙ, දූරදර්ශී බව උඩයි. අදුරදර්ශී ක්‍රියා මාර්ගයක් නම් කොයි තරම් උපාධි තිබුනත්, ඒ තැනැත්තා පණ්ඩිතයෙක් නෙවෙයි. ඒක හිතනකොට, කල්පනා කරන කොට, පේනවා. බුදු පියාණන් වහන්සෙ කියලා කියන්නෙ - ලෝකවිදූ කියල කියන්නෙ - මේ ලෝකය පිළිබඳ දැනගතයුතු හැම දෙයක්ම දැනගත්තු ශ්‍රේෂ්ඨ පුද්ගලයා. බුදුපියාණන් වහන්සේට අමුතු උපාධි අවශ්‍ය නෑ. ඒ කියපු නවගුණය තුළ තිබෙනව බුදුපියාණන් වහන්සේගේ වටිනාකම. එතකොට බුදුපියාණන් වහන්සෙ ඒ බුද්ධ ඥාණයෙන් දැන වදාරලා ලෝකයේ පණ්ඩිතයෙක් වෙන්නෙ කොහොමද, බාලයෙක් වෙන්නෙ කොහොමද, කියල ඉතාම සරල අන්දමින් මේ විදියට දක්වල තියෙනව - එහි ආදීනව ආනිසංසත් එක්ක. ඉතින් අපි කල්පනා කරගන්ට ඕන, අපගෙ ජීවිතය සකස් කරගන්ට නම් වැඩි දෙයක් නෑ. මේ අපට තියෙන තුන් දොර - මේ දොරවල් තුන ඇරිල තියෙන්නෙ සමාජයට. බාහිර සමාජයට. එතකොට, මේ දෙරවල් තුන හරියාකාරව අපි අරින්න - වහන්න ඕන. තුන්දොර රැකගන්නවා කියල කියන්නෙ, අපි හිතමු අපට අඟහිඟකමක් ආව. ඒ වෙලාව අසල්වාසියගෙ කෙසෙල් කැන ළඟ තියෙනව නම්, එහෙම නැත්තම් වත්තට එල්ලිල තියනව නම්, එහෙම නැත්තම් තවත් කෙනෙක් බලාගන්න නැති, අයිතිකාරයෙක් පේන්න නැති, යම්කිසි වස්තුවක් තියනව නම්, අන්න හොර හිතින් ගන්නවා. ඊළඟට තමන්ට ආහාර පිළිබඳව - රස ආහාරයක් ඕන නම්, සතෙක් මරා ගන්නව. ඔය විදියට අපේ සිත කියනවා යම් යම් දේවල් කරන්න. ඒවා අනුව අන්න ඒ පැත්තට දොර ඇරියොත් අනුන්ට හිංසාවක් වෙන්නෙ. දැන් ධම්යෙ දක්වල තිබෙනව, කුසල් - අකුසල් විග්‍රහයෙදි, “කුසල” කියන එක ඇත්ත වශයෙන්ම කල්පනා කරල බලනවා නම්, - දැන් මේ කාලයේත් “කුසලතාව” කියල කියන්නෙ “දක්ෂතාව”. - කුසලතාව දක්ෂතාව නම් කුසල් කියල කියන්නෙ ඇත්ත වශයෙන්ම දක්ෂ වීමයි. මේ දක්ෂ - අදක්ෂ බව ගැන මේ කාලෙ කෙරෙන විග්‍රහය නෙවෙයි බුදුපියාණන් වහන්සෙ දක්වල තියෙන්නෙ, නියම දක්ෂයා කවුද? නියම කුසලය හැටියට තෝරන්නෙ අලෝභ අදෝස, අමෝහ. ඉස්සෙල්ලා අකුසලය ගැන කියමු. අකුසලයට මූල් හැටියට දක්වන්නෙ ලෝභ, ද්වේෂ, මෝහ කියල කියන සත්ත්ව සන්තානයේ දිගු කාලයක් සිට පවතින, කෙලෙස් මුල් තුන. මේ මුල් තුන හේතු කොට ගෙන, කයින් වචනයෙන් සිතින් පැන නඟින ක්‍රියා දාමයන් තමයි අකුසල් හැටියට දක්වන්නෙ, එක් පැත්තකින් පෙන්නුම් කරනව නම් - මුල් හැටියට අරගෙන. ඊළඟට ඒ ලෝභයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ඉවත්වීමට උපකාරි වන සිතුවිල්ලම තමයි - අලෝභ අදෝස අමෝහ කියන ඒ විදියෙ සංකල්පයන් ඇති කරගෙන ඒ අනුව කෙරෙන ක්‍රියා, පාවිච්චි කරන වචන, සිතන සිතිවිලි තමයි, - කුසල් හැටියට දක්වන්න පුළුවන් වෙන්නෙ. තවත් විදියකින් කියනව නම්, මේ මනුෂ්‍යයා ජීවත් වෙන්නෙ මනුෂ්‍යයින් එක්ක පමණක් නොවෙයි. අනිත් සත්ත්වයිනුත් සාංසාරිකව තමන්ගේ මවුපියන් හැටියට, දූදරුවන් හැටියට, සැළකුවට කමක් නෑ, මේ ධම්යෙ තිබෙන නැකම අනුව බලන කොට, මේ දීර්ඝ සංසාරයෙ ඒ සත්ත්ව ආත්ම වල පවා අපි උත්පත්තිය ලබල තියෙනව. තමන්ගේ මවුපියන් සමහර විට මිය පරලොව ගිහිල්ල තමන්ගේ ගෙදර බල්ලන් බළලුන් වෙලා උපදින්න පුළුවන්. එතකොට අන්න ඒ විදියට කල්පනා කරල බලනකොට මේ මුළු මහත් විශ්වයම සමාජයක්. ඒ සමාජය පැත්තට ඇරිලායි තියෙන්නෙ තුන්දොර. ඉතින් මේකෙදි අන්න අර කියාපු අකුසල් මුල් වලට යටවෙලා යම්කිසි කෙනෙක් ප්‍රාණඝාත, අදින්නාදාන, කාමමිථ්‍යාචාර ආදී ඒ කියපු කයින් කෙරෙන වැරදි කලොත්, බොරු කීම්, කේළාම් කීම්, පරුෂ වචන කීම්, නිශ්ඵල වචන දෙඩීම් කියන ඒ වචන පාවිච්චි කළොත් - වචන දොර පිළිබඳව, ඊළඟට සිත පිළිබඳවත් අර විදියට දැඩි විෂම ලෝභය හිතේ ඇතිකර ගත්තොත්, ද්වේෂය ඇතිකර ගත්තොත්, මිථ්‍යාදෘෂ්ටි කියල කියන වැරදි දෘෂ්ටි සිතට දාගත්තොත්, අන්න ඒ තැනැත්තා අර කියාපු බාල තත්ත්වයට වැටෙනවා වගේම ඒවායේ විපාකත් ඒ අවස්ථාවේදී ඒ තැනැත්තාට විඳින්න සිද්ධ වෙනවා. එතකොට එහෙම කල්පනා කරන්න ඕන. ඒක තමයි අර අකුසලය කියල කියන්නෙ. අදක්ෂ වීම. මොකක්ද ඒ අදක්ෂ වීම? මොන හේතුවකින්ද බුදු පියාණන් වහන්සෙ අදක්ෂයි කියල කියන්නෙ? මේ සංසාර ගමන බොහොම භයානක ගමනක්. පරිස්සමින් නොගියොත් අමාරුවේ වැටෙනවා. මහා ප්‍රපාත වලට වැටෙනවා. ඒ ප්‍රපාතයම තමයි දක්වන්නෙ ඔය පද වලින් - ‘අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති’ කියල. ‘අපායං’ කියල කියන්නෙ, වාහනයක් ගමන් කරන කොට ඒ මාර්ගයෙන් ඉවත් වීම. වාහනයක් පාරෙන් පිටට පැන්නයි කියල හිතමු. ඊළඟට ‘දුග්ගතිං’ කියල කියන්නෙ කාණුව දිගේ යන්නා වගේ. ඊළඟට පැනල කාණුව දිගේ දුවනවා ටික වෙලාවක්. ‘විනිපාතං’ කියල කියන්නෙ ඊළඟට වැටෙනවා පල්ලමකට, ‘නිරයං’ කියල කියන්නෙ සුණු විසුණු වෙනවා. අන්න එහෙම හිතාගන්න. මේක මේ පොතේ නැති උපමාවක් වෙන්න පුළුවන්. නමුත් හිත යොදවන්න උපකාර වන නිසයි කියන්නෙ. මේ වචන හතර යෙදෙනව - ‘අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති’ කියලා. පව් කළ පුද්ගලයා පිළිබඳව ඔය වචන හතර යෙදෙනවා. අර විදියට නරක පැත්තට පාරෙන් පිටට පැන්න. ඊළඟට අර කාණුව දිගේ ගිහිල්ල අන්තිමට පල්ලමට වැටිලා විනාශ වෙනවා. ඔන්න ඔය විදියට ඒ නිරය තත්ත්වයට වැටෙනව. එතකොට එහෙම නොවන ආකාරයට ජීවත්වීමයි දක්ෂකම. කුසලකම. ඒ වගේම ඒ අපාය ආදී නරක තැන්වලට යාමෙන් වැළකීම වගේම - ඒ නරක පැත්ත - ඊළඟට නිවනට ළංවෙනවා. නිවන කියල කියන්නෙ මොකක්ද? දැන් ඇතැම් කෙනෙක් මේ කාලෙ කථා කරනවා අහෙනව. “පින් දහම් අරව මේව කළොත් සසර වැඩෙනවා. ඒක නිසා ඒව මුකුත් ඕන නෑ” කියල තර්කකාරයින් ප්‍රකාශ කරනව. භාවනාව ඕන නැතෙයි කියල මතයකුත් තව පැත්තකින් එනවා. ඉතින් මේ කොයි ආකාරයකින් කිව්වත් මෙතන අපිට හිතාගන්න කියෙන්නෙ, මෙන්න මේ බුදුපියාණන් වහන්සෙ දක්වන දක්ෂකම නම් අර අපාය මාර්ගයෙන් බේරිලා හැකිතාක් ඉක්මනින් නිවනට ළං වීම. “නිවන” කියල කියන්නෙ මොකක්ද? නිවන කියල කියන්නෙ ලෝභයෙන් ද්වේෂයෙන් මෝහයෙන් සිත මුදවාගත් සැනසිලිදායක ශාන්තියයි. පරම ශාන්තියයි. සිසිල්භාවයයි. ලෝභ ද්වේෂ මෝහ කියල කියන්නෙ ගිනි තුනක් නම් ඒ ගිනි තුන නිවීමෙන් තමන්ගේ චිත්ත සන්තානයේ ඇතිකරගන්න එක්තරා ‘සීතිභාව’ කියල කියන සිසිල් භාවයක්.ඉතාම පුදුම සැනසිලිදායක ශාන්තියක්. ඒකට තමයි නිවන කියල කියන්නෙ. පරම ශාන්තිය කියල කියන්නෙ. වෙන ලෝකෙක එල්ලෙන දෙයක්, අර විදියෙ අහසෙ පාවෙන දෙයක් නොවෙයි. ඔය බොහෝ විට විද්‍යාඥයින් අනුව යන බෞද්ධ චින්තකයින් පවා මේ හැම එකක්ම තමන්ගෙන් ඈත් කරලා හිතන්න පුරුදු වෙලා තිබෙනව. දැන් ඔය පොතපතේ බොහෝ විට දකින්න ලැබෙනවා ඇති මේ පින්වතුන්ට, මේ කර්මය ගැන, පුනරුත්පත්තිය ගැන ඔය හැම එකක් ගැනම කථා කරන්නෙ තමන්ට අයිති දෙයක් නොවෙයි හැටියට. මේවා මේ ලෝකෙ තියන විද්‍යාත්මක පර්යේෂණ කරලා දැනගන්න ඕන දේවල් හැටියට. ඒවා තමන්ට බලපානවද නැද්ද කියන එක මරණ මොහොතෙයි තේරෙන්නෙ. මරණ මංචකයෙදියි තේරෙන්නෙ. අන්න ඒක නිසා මේ හැම දැනුමක්ම තමන් ප්‍රයෝජනයට ගත්තෙ නැත්තම් ඒක නිෂ්ඵලයි. එතන දැනුමක් නෑ. ඒ තැනැත්ත මෝඩයෙක්. බාලයෙක්. පණ්ඩිතයෙක් නම් අන්න අර කියාපු විදියට “සුවීහිත චින්තී, සුභාසිත භාසි, සුකත කර්මමකාරී” වෙන්න ඕන. තමන්ගේ චින්තාවන්, තමන්ගේ වචන, තමන්ගේ ක්‍රියා පටිපාටිය ධම්‍යානුකූලව සකස් වෙන්න ඕන. අර කියාපු විදියට ලෝභයෙන් ඉවත්වෙලා අලෝභ පැත්තට. අලෝභ පැත්තට ළං වෙනවා කියල කියන්නෙ නිවනට ළංවීම. අදෝස පැත්තට ළං වෙනවා කියල කියන්නෙ නිවනට ළංවීම. අමෝහ පැත්තට ළං වෙනවා කියල කියන්නෙ නිවනට ළංවීම. මොකද, නිවන හඳුන්වන්නෙ අලෝභ අදෝස අමෝහ ගමනේ කෙළවර හැටියටයි. දැන් අපි ටිකකට මේක ගමනක් හැටියට හිතාගත්තොත් සංසාර ගමන කෙරෙන්නෙ ලෝභ ද්වේෂ මෝහ මුල් කරගෙන බව මේ පින්වතුන් කවුරුත් අහල තිබෙනව. අපි හිතමු දැන් ධාවන තරඟයක් හරි - එහෙම නැත්තම් ගමනක් ගැන හිතුවත් - ඒක තැනක ඉඳල තව තැනකට යනව. එතකොට සාංසාරික සත්ත්වයා තුළ තිබෙන මේ ලෝභ ද්වේෂ මෝහ කියන ඒ සාංසාරික ඉලක්ක තුන අතඇරල - ඒකට පිටුපාල - “නිවන” කියල කියන ඒ ශාන්තිය සොයාගෙන, අර ගිනි තුනෙන් ඉවත් වෙලා, නිවන කරා යන ගමන තමයි අලෝභ අදෝස අමෝහ කියල කියන්නෙ. ඒ සඳහා උපකාරී වන හැම සිතුවිල්ලක්ම නිවනට උපකාරයක්. නිවනට උපකාර වන දෙයක්. එතකොට දන් පින් කිරීම් ආදියේදී ඒ තැනැත්තාගෙ සිතේ පහළ වෙනවා යම් කිසි කුසල චේතනා රාශියක්. දානයක් දෙන කොට එතන ඒ පරිත්‍යාග චේතනාව තුළ අලෝභ චෛතසිකය තියෙනව. කරුණාව තියනවා. ශ්‍රද්ධාව තියනවා. ඊළඟට මමය මගේය කියන හැඟීම නැතිවෙන අවස්ථාවක් තිබෙනවා - තමන් සතු දේකින් වෙන් වෙන කොට. ඒක වෙන කෙනෙකුගෙ අතට දෙනකොට. එතකොට ඒක නිවනට උපකාර නොවෙන්නෙ මොකද? ඒවා නිවනට උපකාර වෙනවා. ඒ විදියට එකතු වෙච්ච ඒවම තමයි අන්තිමේදි යම්කිසි අවස්ථාවක අර චිත්ත සන්තානයේ එල ලබා දෙන්නෙ. නිවන් එලය. ඒ නිවන ප්‍රාර්ථනා කළොත් නිවන් එලය ලබා දෙනවා. ඊට අමතරව අර කියාපු විදියට අපායට ගෙනයන අකුසල් මර්දනය කරල, සුගති තත්ත්ව වලට - දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ආදී වශයෙන් කියන්නෙ අන්න අර කුසල් පැත්තෙන් - ඒවායේ ආනිසංස වශයෙන් උපදින තැන්. ඒවත් අර කියාපු දිවැසට පේනව. ඒව පිළිබඳව අධි මානසික පර්යේෂණ වලින් වැඩිපුර සොයා ගන්න බැරි වෙන්න පුළුවන්. වැඩිපුර හම්බවෙන්නෙ - අර කියාපු විදියට ඉදිරියටත් ඒ පර්යේෂකයින්ට වැඩිපුර ලැබෙන්ට පුළුවන් වෙන්නෙ - ඕනෑවටත් වැඩිය නිදර්ශන, අන්න අර කියාපු ප්‍රේත ලෝක පිළිබඳවයි, භූත ලෝක පිළිබඳවයි. මොකද ඒ පැත්තට යන අය තමයි වැඩි. ඉතින් ඒ කෙසේ වෙතත් මේ පින්වත් පිරිස කල්පනා කරන්න ඕන, අපි ඇත්ත වශයෙන්ම අර කියාපු විදියට ශත වර්ෂයක ආරම්භයක් කරනව නම්, මේ ශත වර්ෂය කියල කියන්නෙ මොකක්ද? අර කස්සප බුදුරජාණන් වහන්සේගෙ - ඊටත් වඩා කකුසඳ, කෝණාගම ආදී බුද්ධවරුන්ගෙ දීර්ඝ ආයුෂ ඇති කාල ගැන කල්පනා කරන කොට අපට, මේ අවුරුද්දක් කියන එක මේ ඇස්පිය හෙළන්නා වගෙයි. කාලය ගෙවෙනහැටි කල්පනා කරලා බලන්ට මේ පින්වතුන්. ගිය අවුරුද්දෙ ආරම්භය කියල හිතූ අවස්ථාව ගැන හිත යොදවල බලනකොට - මේ අද ඊයේ වගෙ වෙන්න පුළුවන්. නමුත් මේක තුළයි මේ ලෝකයා ලොකුවට විනෝද වෙන්නෙ. මේ අතරතුර මොකක්ද වෙන්නෙ? අපේ ජීවිත ගෙවිල යනව. ජීවිත ගෙවිලා යනව. වටිනා ජීවිත කියල කියන්නෙ මොකද? බුද්ධෝත්පාද කාලෙක ලබා ගත්තු, ධම්යට යොමු කරන්න පුළුවන්, ධම්‍යානුකූලව හැසිරෙන්ට පුළුවන් ශරීරයක්, අංග විකලයක් නැතිව. දැන් අර කියාපු විදියට අර ප්‍රේත ආත්ම භාව ලැබූ අය තමයි අන්තිමේදි මනුෂ්‍ය ආත්ම භාව ලබන කොට නොයෙකුත් විදියේ අංග විකල තත්ත්වවලට පත්වෙලා විපාක විඳින්නෙ. දැන් එහෙම අංග විකලත්වයක් නැතිව, ධම්ය තේරුම් ගන්න පුළුවන් අවබෝධ ශක්තියකුත් ඇතිව මේ පින්වත් පිරිස සිටිනවා නම් තමයි, මේ ජීවිත කාලය වටිනා එකක් වෙන්නෙ. කෙටි නමුත් වටිනා දෙයක්. මැණිකක් වගේ වටිනා දෙයක් කියල හිතන්න ඕන. මොකද, තමන්ට කළ යුතු දේවල් තව තිබෙන නිසා. මේ සංසාර ගමන කෙළවර කරන්න ඉතාමත්ම වටිනා අවස්ථාවක්. එතකොට අන්න ඒ සඳහා උපකාර වෙන්නෙ ගුණධම් රැස කිරීමයි. ඉතින් මෙතන මේ සිත, කය, වචනය හසුරුවා ගැනීම කියලා, ඒවා පිරිසිදු කර ගැනීම කියලා කෙටියෙන් කියාපු එක නොයෙකුත් ආකාරයෙන් දක්වන්ට පුළුවන්. දාන ශීල භාවනා කියල දක්වන්ට පුළුවන්. ත්‍රිවිධ පුණ්‍ය ස්කන්ධයටම අදාලයි. ඊළඟට තවත් විදියකට බලනවා නම්, නිවනට කෙලින්ම උපකාර වන ආකාරයට, ශීල සමාධි ප්‍රඥා. ශීලය ගැන තමයි මෙතන මේ කියවුනේ විශේෂයෙන්ම. ශීලය - ඊළඟට ශීලය තුළින් තමයි යම්කිසි කෙනෙක් සමාධිය ඇතිකර ගන්නෙ. ඇතැම් කෙනෙක් ශීලය අනවශ්‍ය දෙයක් හැටියටත් කල්පනා කරනවා. බුදුපියාණන් වහන්සෙ ප්‍රකාශ කරල තිබෙනවා, යම්කිසි කෙනෙක් ශක්තිය අවශ්‍ය වන “බරවැඩ” කරනව නම්, යම්කිසි කෙනෙක් බරවැඩ කරනව නම්, කරන්නෙ ඕන ඊට ප්‍රමානවත් ශක්තිමත් පොළවක ඉඳගෙනය. මඩ ගොඩක ඉඳගෙන බරක් ඔසවන්න බෑ. මේ පින්වතුන් දන්නවා. ඔය ලොකු බර ගෝනියක් එහෙම උස්සන්ට පුළුවන්ද මඩ ගොඩක ඉඳගෙන? එතකොට තමනුත් එරෙනව. ඒක තමයි මේ පංච ශීලය, ආජීව අෂ්ටමක ශීලය, පොහෝය අටසිල්, දසසිල් ආදී වශයෙන් ශීලය මේ පින්වතුන් සමාදන් වන්නෙ. ඒ ශීලය පදනම් කරගෙන තමයි යම්කිසි කෙනෙක් සිත සමාධිමත් කරගන්නෙ. මොකද සිත සමාධිමත් කරගන්න අපහසු වෙනවා අන්න අර කලින් කියාපු බාල - පණ්ඩිත කථාන්තරේ කියාපු, අර පසුතැවිලි එනවනම් - හිතට ගලා ගෙන එනවනම් පසුතැවිලි - ඒ පසුතැවිලි නොඑන ආකාරයට කය වචනය පළමුවෙන් හික්මවා ගන්න ඕන. ඒකයි ශීලය කියල කියන්නෙ. සංසාරයේ කොතෙකුත් පව්කම් කරල තියෙන්න පුළුවන් - නමුත් අද මේ අවස්ථාවෙ, දැන් මේ පින්වතුන්ට හිතාගන්න පුළුවන්, මේ සිල් සමාදන් වෙච්ච අයට, අනිත් දවසේ කෙසේ වෙතත් අද මේ දවසෙ - අද මං මේ ශීලයේ ප්‍රතිපත්ති උඩයි ඉන්නෙ. එතකොට ඒ ශීල ප්‍රතිපත්ති උඩ ඉඳීම, ඒ ශක්තිය පිහිට කරගෙනයි යම්කිසි කෙනෙකුට සිත තැන්පත් කරගෙන සමාධියක් ලබාගන්න පුළුවන් වන්නෙ. සමාධිය කියල කියන්නෙ හිතේ ඇතිවන ඒ නීවරණ ධම් කියල කියන, හිතේ එකඟත්වයට බාධාකරන කාම සිතිවිලි, ද්වේෂ සිතිවිලි, නිදිමත අලස ගති, නොසන්සුන් බව, කුකුස් දෙගිඩියා ආදී ඒවා ඉවත් කරලා සිත යම්කිසි කුසල අරමුණක තැන්පත් කර ගැනීමයි. එහෙම තැන්පත් කරලා ඊළඟට අර බුදුපියාණන් වහන්සේලා දක්වා වදාළ යථා තත්ත්වය - අනිත්‍ය දුඃඛ අනාත්ම ස්වභාවය - වටහා ගැනීමට අර සමාධිමත් සිත යොමු කරනව. ඒ වටහාගැනීමට තමයි විදර්ශනාව උපකාර වන්නෙ. විදර්ශනා වශයෙන් ඒක තමන්ගේ චිත්ත සන්තානය තුළින්ම දැකිය යුත්තක්. ඒක අර පොතපතින් ලබා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. අර විදියට “පර්යේෂණ” කරලා, ලබාගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ පර්යේෂණය ඇතුළතින්ම කරන්න ඕන. ඒකට කියන්නෙ “ආර්ය පර්යේෂණය” කියල. බුදුපියාණන් වහන්සෙ කළෙත් ඒ ආර්ය පර්යේෂණයයි. එතකොට අන්න ඒ ආර්ය පර්යේෂණය කරන්න මේ පින්වතුනුත් අද වැනි වටිනා දවසක අධිෂ්ඨාන කරන්න ඕන. එහෙම අධිෂ්ඨාන කරගැනීමේ ආරම්භය තමයි, අර මෙතන ප්‍රකාශ කලේ - සිත, කය, වචනය කියන තුන්දොර රැක ගැනීමට හැකිතාක් උනන්දුවීම. ඒදිනෙදා ජීවිතයේ කොයි විදියෙ ප්‍රශ්න ආවත්, කොයි විදියෙ ගැටළු ආවත්, තමන්ගේ මේ තුන්දොර රැකගත්තෙ නැත්තම් තමන්ට වන දේ ඒ බුදු පියාණන් වහන්සෙ දක්වල තිබෙනවා. “කම්මස්සකා කම්ම දායාදා” කියල ප්‍රකාශ කරල තිබෙන්නෙ, තමන් අරගෙන යන්නෙ, තමන්ට අයිති දේ නියම වශයෙන් තමා කළ හොඳ හෝ නරක. ඊළඟට ඒක තමයි තමන්ගේ දායාදය සංසාරයේ. අන්න ඒක කල්පනා කරගෙන එතකොට මේ පින්වතුත් මේ වටිනා පෝය දවසෙ තමන්ගේ ජීවිතයට උපකාරී වන, හැබෑ ජීවන දර්ශනයක් ඇතිකර ගැනීමට උපකාර වන, සැබෑ නවෝදයක් ඇතිකර ගැනීමට උපකාර වන, බුදු පියාණන් වහන්සේලාගේ ඒ ධම් කාරණා රාශියකට කන් දුන්නා. ඒ දේශනා කළ බුදුපියාණන් වහන්සේ සිහියට නඟාගෙන - මේ අපි දේශනා කළ එකක් හැටියට නොවෙයි, බුදු පියාණන් වහන්සේගේ දේශනාව ආශ්‍රයෙන් තමයි අපි මේ කාරණා ටික කිව්වේ - තුණුරුවන් කෙරෙහි ශ්‍රද්ධා භක්තිය ඇති කරගෙන, තමන්ගේ නිත්‍ය ශීලයක් - පංච ශීලය හෝ ආජීව අෂ්ටමක ශීලය හෝ - දැඩිව අධිෂ්ඨාන කරගෙන, ඊට අමතරව එයින් ප්‍රයෝජන ගැනීම් වශයෙන් භාවනාවට යොමුවෙලා මේ වර්ෂය ගතකරන්ට හොඳට අධිෂ්ඨාන කරගන්ට ඕන. මෙතෙක් මේ වේලාව තුළ, සිත කය වචනය සංවර කරගෙන, යම්කිසි ශීලයක් සමාදන් වෙලා හොඳට ශ්‍රද්ධාව වීර්යය සතිය සමාධිය ප්‍රඥාව වැඩෙන ආකාරයට ධම් ශ්‍රවණය කළා. මේයින් මේ රැස් කරගත්තු කුසල සම්භාරයත්, අපි ධම් දේශනා වශයෙන් ඇති කරගත්තු කුශල සම්භාරයත් -, අපි කල්පනා කරන්නට ඕන අපේ මේ ශාසනයට කොයි තරම් උපද්‍රව තිබුනත්, මේ පරිහානි වේගය මර්දනය කරගැනීමට, බුදුපියාණන් වහන්සේලා ඇසුරු කළ ඒ දිව්‍ය බ්‍රහ්ම රාජයන් වහන්සේලා ඇතුළු සම්‍යග්දෘෂ්ටික යම්කිසි ශාසනාරක්ෂක දිව්‍ය මණ්ඩලයක් සිටිනවා. මේ පින්වතුන් දැක්කා හෝ නොදැක්කා හෝ - අන්න ඒ උන්වහන්සේලාත් අනුමෝදන් වෙත්වා! තවදුරටත් මේ ශාසනයට ආරක්ෂාව සලසත්වා! එසේම අපගේ මියගිය ඥාතීන්ටත් මෙන්න මේ පින් අනුමෝදන් කරන්න ඕන. අපගේ ජීවිතත් මේ විදියට ශීල සමාධි ප්‍රඥා මාර්ගයෙන්, නිර්වාණ ධම්ය කරා යොමු කරවමින්, සෝවාන් සකදාගාමී අනාගාමී අර්හත් කියන මාර්ග ඵල ප්‍රතිවේධයෙන් උතුම් අමාමහ නිවන් සාක්ෂාත් කරගැනීමට ලැබේවා කියල ප්‍රාර්ථනා කරගෙන දැන් මේ විදියට ගාථා කියල පින් පමුණුවන්න. එත්තාවතා ච අම්හේහි . . . .